බැසිල් ගෙනා පගා බද්ද – හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි

බැසිල් රාජපක්ෂ මහතාගේ නව මුදල් පනත හරහා කළු සල්ලි සුදු කිරීමට ඉඩ සැලසෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

ඊයේ (21) දින බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළකළේය.
මෙහිදී ‘ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද’ හරහා සොරකම් කළ මුදල් වලින් රජයට හිමිවිය යුතු 10%ක මුදල 1%ක් දක්වා පහත හෙළා ඇති බවත් එය ආණ්ඩුවට දෙන පගා බද්දක් බවත් පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති පැවසුවේ,

”හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි. මෙකේ තියෙන බරපතල තත්වය දැනට අයකරගෙන තිබෙන වැට් බදු නොගෙවා පැහැර හැර තියෙන අයට ලැබෙන විශාල වරදානයයි. ආණ්ඩුවට ලැබෙන්න ඕනෑ වැට් බද්ද හැටියට 8%ක් සහ දඩ මුදල් හැටියට අවම වශයෙන් 2%ක් අහිමිවෙනවා. ඒ කියන්නේ 10%ක් ආණ්ඩුවට ලැබෙන්න ඕන මුදලින් ලැබෙන්නේ 1%යි. ආදායම් මත, තමන් අත්පත් කරගත්ත දේපළ මත නීතිය හමුවට ගෙනගොස් දඬුවම් ලබන්න ඕනෑ අය ආණ්ඩුවට 1%ක පගාවක් දීලා බේරෙන්න නීතියක් මේ ගෙනත් තියෙන්නේ. මේකට අපූරු නාමයක් හදනවා. “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද” කියලා. ඇත්තටම මේක ගැන කෙටියෙන් කිව්වොත් ආණ්ඩුවට දෙන පගා බද්දක්.

මේකේ තියෙන බරපතළ තත්වය පැහැදිළි වෙන්නේ අර්ථ නිරූපනයන් තුළින්. වත්කම් හැටියට අර්ථ නිරූපනවල දක්වා තිබෙන්නේ “ශ්‍රී ලංකාව තුළින් යම් චංචල, නිශ්චල දේපළක්” කියලා. මේ මුදල් යොදවලා අර්ථකතනය කර තිබෙන දේපළක් මිලදී ගන්න අවසර තියෙනවා. අනික් පැත්තෙන් නිශ්චල දේපළ යන්න අර්ථ නිරූපනය කර තියෙන්නේ “ඉදි කරන ලද හෝ ඉදිකරමින් පවතින ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ඇති යම් ගොඩනැගිල්ලක් වේ” කියලා. චංචල දේපළ ගැන තියෙන්නේ “රත්තරං ඇතුලුව ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පවතින සියලුම ආකාරවල චංචල දේපළ ඇතුළත් වේ නමුත් මුදල් ඇතුළත් නොවේ.” කියලා. මුදල් යනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්ගේ භාවිතා වන මුදල් නම්කර තිබෙනවා.”

මේ රටේ සුළු ව්‍යාපාරිකයන්ට විදේශවල නිශ්චල හෝ චංචල වත්කම් තියෙනවාද? මේ කාවද නිදහස් කරන්න හදන්නේ? අපේ රටේ වත්කම් එළියට ගෙනියලා පිටරටවල්වල පුරවැසිකම් ගත්, ඒ රටවල ගොඩනැගිලි ඇතුළු වත්කම් තියෙන අයගේ දේවල් ලංකාවට ගෙනල්ලා ආයෝජන හැටියට යොදවන්න සුජාතභාවය ලබා දෙනවා. කළු සල්ලි සුදු කර ගන්න ගෙනත් තියෙන පනත මේ ආකාරයට විවිධ උපක්‍රමවලින් හංගලා තියෙන්නේ. පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු දේවල් පාර්ලිමේන්තු මේ පනත් මගින් වහනවා නම් ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ වටේ යන්න ඕනෑ නැහැ. ඩේසි ආච්චිටම පුළුවන්, මැණික් මල්ල දීලා ආණ්ඩුවට 1%ක් පගාව දීමෙන් නිදහස් වෙන්න. ඇලෝෂියස්ලාටත් මහ බැංකුවෙන් වංචා කළ මුදල් පෙන්වලා 1%ක් පගාව දීලා ගැලවෙන්න පුළුවන්. අර්ජුන් මහේන්ද්‍රන්ටත් එහෙම බේරෙන්න පුළුවන්. ආණ්ඩුවේ සෞභාග්‍යයේ ක්‍රමය මේක. මේ විදිහට ආයෝජන දිරිමත් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. කළු සල්ලි සුදු කිරීම විතරයි වෙන්නේ. අර්ථ නිරූපනවලදී ශ්‍රී ලංකාවේ යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගන්න කියලා නැවත විදේශවල තිබෙන චංචල හෝ නිශ්චල දේපළක් අයිති බව සඳහන් කරනවා.

මේකෙන් දිරි ගන්වන්නේ හොරකම. මේ හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපයීම දිරි ගන්වන්නේ. මේකෙන් කරන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙවෙයි. රාජපක්‍ෂ සමාගමේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ අයථා මුදල් ඉපයීම් දිරි ගන්වන එක. එක කැබිනට් මණ්ඩලයේ එකම පවුලේ ඉන්න වැඩිම පිරිසක් හැටියට ලෝකයෙන්ම මුල් තැනට ඇවිත් තිබෙනවා. මේ තත්වය තුළ ගෙනත් තිබෙන මුදල් කෙටුම්පත ඉතාම බරපතළ බව කාටත් පැහැදිලියි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිම තැනක යොදවයි කියලා අපි හිතන්නේ නැහැ. කොටස් වෙළඳපොළට සහ බැඳුම්කර මිලදී ගැනීම්වලට වගේ තැන්වලට යන්නේ ක්‍ෂණික ලාභ ලබාගන්න. මේ හොර සල්ලිවලට ආණ්ඩුවට ණයවීමේ හැකියාව දක්වා බලයක් හැදෙනවා. බැංකු ණයවත් ගෙවාගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයින් ගැන ආණ්ඩුව කථා කරන්නේ නැහැ. ආණ්ඩුවට ණය දෙන්න ඒ අයට හැකියාවක් නැහැ. අලුතින් දේපළ අත්පත් කරගන්නත් ඔවුන්ට හැකියාවක් නැහැ.”

Leave A Reply

Your email address will not be published.

8 − 8 =