“කෝ අර දෙමළ සිංදු කියන සිංහල එකා” ඉන්ද්‍රජිත් සහ අරුණ්‍යාගේ ආදරය

යාපන සරසවියේ සිංහල ඉන්ද්‍රජිත් ගේ සහ දෙමළ අරුණ්‍යාගේ ආදර කතාව මිශ්‍ර විවාහයන් හී අපූර්වත්ය සහ අභියෝගය.
මේ 2015 වර්ශයයි. දැන් ඉන්ද්‍රජිත් සිටින්නේ යාපනයේ කෝපායි ගම්මානයේ නිවසකය. ඔහු සමග යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිංහල සිසුන් නව දෙනෙක් ද ඒ නිවසේ බෝඩිංකාරයෝ සේ ලැගුම්‍ ගෙන සිටිති. ආදර සම්භන්ධයක් ආරම්භ කළ හැක්කේ කෙසේ ද යන්න ගැන ‍ඔවුන් දෙන අවවාද උ‍පදේශ වලින් ඉන්ද්‍රජිත් ගේ දෙසවන් පිරී ඇත. ඔවුන් හැසිරෙන්නේ ගැහැණු සිත කියවිය හැකි විශේෂඥයින් ලෙස ය.
“ මේ උඹේ ඔය දාර්ශනික ටෝක්ස් හරියන්නෙ නෑ.. අරුණ්‍යාට ඕවා තේරෙන්නෙ නෑ .. කෙලින්ම ගහපං ..I love you කියලා. ඒක තමයි පාස්වර්ඩ් එක. නැතිනම් උඹට වෙන්නෙ සුරේෂ්ට අරුණ්‍යාව පූජා කරලා.. බලාගෙන ඉන්න”

බාලසිංහම් නේවාසිකාගරයේ සිට තමන් ලියා යැවූ ඒ දීර්ඝ සටහන

යුද්දය නිමාවීමෙන් පසු යාපනය සරසවියේ විද්‍යා පීඨයට දකුණෙන් තේරී පත්වුණු දෙවන සිංහල ශිෂ්‍ය කණ්ඩායමට ඉන්ද්‍රජිත් අයත් වෙයි. කුරුණෑගලින් ගිය ඉන්ද්‍රජිත් ට ත්‍රිකුණාමලයෙන් පැමිණි රූමත් අරුණ්‍යා හමුවන්නෙ යාපනය විශ්ව විද්‍යාලයේදීය. දෙදෙනාම එකම පීඨයේ එකම වසරේය. වසරක් පමණ අරුණ්‍යා සමග ඇදී ගිය මිත්‍රත්වය තුළ හුදු මිත්‍රත්වයක් පමණක් නොව ඉන් එහාට ගිය ප්‍රේමණීය හැඟීමක් ද ඇති බව ඉන්ද්‍රජිත් ට පසක් වී ඇත. 2014 වර්ශයේ වැලැන්ටයින් දිනයේ මුහුණු පොත හරහා බාලසිංහම් නේවාසිකාගරයේ සිට තමන් ලියා යැවූ ඒ දීර්ඝ සටහන අරුණ්‍යා තේරුම් ගත්තේ නැති ද ? නැති නම් තේරුම් ගත්තත් තමන් සමග මිත්‍රත්වයෙන් එහාට ගිය බැඳීමක් ඇති කරගන්නට ඇය අකමැත්තෙන් පසුවන්නේ ද යන්න ඉන්ද්‍රජිත් ට තේරුම් ගත නොහැක. ව්‍යංගයෙන් තමන් එහි ලියා යැවුයේ තමන් ගේ සිතේ ඇයට ඇති කැමැත්තයි. සියුම් ලෙස නිරීක්ෂණය කර බලන්නේ නම් එහි ඇත්තේ අන් කිසිවක් නොව තාරුණ්‍යයේ සුන්දර ආදරයයි. එතැන් සිට අරුණ්‍යාගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන පසුගිය වසරක පමණ කාලයක් ඉන්ද්‍රජිත් ගත කළේ සිතින් දුක් විඳිමිනි. සරසවියේ දී අරුණ්‍යා සමග කතා බහ කළත්, දුරකථන ඔස්සේ, මුහුණු පොත ඔස්සේ කොතරම් කතා බහ කළත් තමන්ගේ සිතේ ඇය ගැන වූ ප්‍රේමණීය හැඟීම හදවත පතුලේ සඟවා ගෙන සිටින්නට ඔහුට සිදුවිය. දෙදෙනා සිංහල සහ දෙමළ වශයෙන් විරසක ජාතින් දෙකකට අයත් නිසා ආදරය කළත් කිසි දිනක එක් වන්නට ලැබේවිද ? ඔහු සිත හදාගන්නට වෙහෙස වූයේය. එ‍හෙත් අරුණ්‍යා පිළිබඳ ඇති ප්‍රේමණීය හැඟීම මුළුමනින්ම අත් හැරීම ද කළ නොහැකිය. ඒ මදිවාට දෙමළ කොල්ලන් තිදෙනෙක් අරුණ්‍යා පසු පස එයි. ඒ අතරින් යාපනයේ ම දෙමළ කොල්ලෙකු වූ සුරේෂ් සුවිශේෂය. සරසවියේ සිංහල මිත්‍ර සමාගමේ උපදෙස් වලට අනුව නම් තවත් ප්‍රමාද වීම පසුතැවිල්ලට හේතු විය හැකිය.
“ මම කැම්පස් එකට ආපු කාලයේ සුරේෂ් මගේ හොඳ යාලුවෙක්. කුරුණෑගල පැත්තෙ එහෙම කැම්පස් එකේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් ගේ මළ ගෙදරටත් සුරේෂ් ආවා. ඒ වෙනකොට මම තේරුම් ගත්තා සුරේෂ් අරුණ්‍යා ගැන කැමැත්තෙන් ඉන්න බවත් එයා පස්සෙන් යන බවත්. ඒත් සුරේෂ් දැනගෙන හිටියේ නෑ අප්‍රසිද්ධියේ මමත් අරුණ්‍යත් අතර සමීප මිත්‍රත්වයක් තියෙනවා කියලා. මගේ හිතෙත් ආදරයක් අරුණ්‍යා ගැන තියෙනවා කියලා සුරේෂ් දන්නෙ නෑ. ඒත් සුරේෂ් කෙලින්ම පෙන්නුවා එයාට අරුණ්‍යා ගැන උනන්දුවක් තියෙන බව”
ඉන්ද්‍රජිත් දකුණෙන් පැමිණි සිංහල සිසුන් අතර කැපීපෙනෙන අයෙකු වූයේය. ඔහු ඔහුගේ කණ්ඩායමේ දක්ෂතම පරිගණක විශේෂඥයා වූයේය.

මේ අරගලය කොතනින් කෙළවර වෙයිද? තවත් වාර්ගික ගැටුමට මුළ පුරයි ද?

“මුල් දවස්වල අපි ඉතිං කැම්පස් එකේ ඉන්නකොට දෙමළ කෙල්ලො දිහා බලනවා. අරුණ්‍යාගේ නම ටිකක් ජනප්‍රියයි. මට ඒ නම ඇහිලා තිබුණා. අරුණ්‍යත් දැකලා තිබුණට මේ එයාමයි කියලා දැනගෙන හිටියේ නෑ. දවසක් කොම්පියුටර් ලැබ් එකේ අපි වැඩ කරනකොට මම ජවා ප්‍රෝග්‍රෑමින් කලින් ඉවර කලා. මට පේනවා දෙමළ කෙල්ලෙක් ඉන්නවා කොම්පියුටර් එක ඉස්සර හා මට තේරුණා පාඩම තේරිලා නෑ කියලා. මම මගේ ලඟට ගිහින් ඇහුවා ඉංග්‍රීසියෙන් උදව් කරන්න ද? කියලා.. එයා ඒක තේරුම් ගත්තෙ නෑ. එයා හිතුවෙ එයාගේ පෙන් ඩ්‍රයිව් එක ඉල්ලනවා කියලා.. මම ඉතිං එලියට ආව.. දෙමළ කෙල්ලො දැක්කා මේක.. එළියට එනකොටම උන් හිනාවෙන්න ගත්තා.. ආ ඉන්ද්‍රජිත් අරුණ්‍යා එක්ක කතා කරන්න ගිහිං නෝන්ඩි වුණා නේද? කියලා… ඔන්න එතකොට තමයි මම මේ අරුණ්‍යා කියලා දැනගත්තෙ. එදා මම අරුණ්‍යා වැඩේ ඉවරවෙලා එළියට එනකම් හිටියා එයාගේ මුහුණු බලාගන්න. එයා ආවා. එදා සල්වාර් එකක් ඇඳලා හිටියෙ. ඇවිල්ලා පැත්තක නවත්තලා තිබුනු ෆුට් සයිකලේ නැගලා යන්න ගියා. ”
එතැන් සිට ක්‍රමයෙන් අරුණ්‍යා සමග මිත්‍ර වන ඉන්ද්‍රජිත් ට සිය හදවතේ ඔහුටත් නොදැනිම දළුලන ආදරය ඇයට කියාගන්නට බැරිය. ඇයට තමන්ට මෙන් ප්‍රේමණීය හැඟීමක් තිබේ ද? නැතිනම් ඇය තමන් ආශ්‍රය කරන්නෙ මිත්‍රයකු ලෙස පමණක් සලකා ද? ක්‍රමයෙන් කාලය ගෙවී යයි.
“ මුල් අවුරුද්දෙ අපේ සන්නිවේදනය කවුරුත් දැනගෙන හිටියෙ නෑ. යාලු කම වුණත් ඇදිලා ගියේ රහසින්.
ඒ අතරේ අරුණ්‍යාගේ සිත දිනා ගැනීමට සුරේෂ් ද දිවා රෑ මහන් සි වෙයි. ඇය පසු පස යයි. වරෙක ඉන්ද්‍රජිත් සහ සුරේෂ් අතර බහින් බස් වීමක් ද සිදුවිණි. දකුණෙන් පැමිණි සිංහල කොල්ලෙකු වූ තමන් දෙමළ කෙල්ලෙකු දිනා ගැනීම ගැන යාපන විශ්ව විද්‍යාලයේ ඇතැම් දෙමළ කොල්ලන් පමණක් නොව දෙමළ කෙල්ලන් ද කැමැත්තක් දක්වන්නේ නැති බව ඉන්ද්‍රජිත්ට තේරුණේය. මේ අරගලය කොතනින් කෙළවර වෙයිද? තවත් වාර්ගික ගැටුමට මුළ පුරයි ද? ඉන්ද්‍රජිත්ට ජය ගැනීමට අභියෝග රැසක් තිබුණේය.
“ මේ ඔක්කොම අස්සෙ මට හිතුණා දෙමළ මිනිස්සු දිනාගන්න නම් ඒ අයට සමීප වෙන්න ඕන කියලා. මුල් අවුරුද්දෙ රෑට බීගත්ත දෙමළ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයෝ අපේ නෙවාසිකාගාර වලට පනිනවා. උන් එක එක දේවල් කරන්න කියනවා. නොකරොත් ගුටි තමයි. දවසක් උන් කිව්වා සිංදු කියන්න කියලා. මං කිව්වා දෙමළ සිංදුවක් කියන්නම් කියලා. කියපං කිව්වා. මං කිව්වා කෝක්කරක්කො කියන ඒ දවස් වල ජනප්‍රිය දෙමළ චිත්‍රපට සිංදුව. උන් ඔන්න ඔක්කොම මං දිහා අමුතු විදිහට බලන්න පටන් ගත්තා. මට ටිකක් සැර-වැර කරණ එක අඩුවුණා. අනිත් දවසේ හොයාගෙන ඇවිත් මාව හෙව්වෙ.. කෝ අර දෙමළ සිංදු කියන සිංහල එකා කියල.ඔය විදිහට යනකොට මං දෙමළ ඉගෙන ගන්න පටන් ගත්තා උවමනාවෙන්. කෝවිල් වලට යන්න, මාර්කට් එකට යන්න ගිහිල්ලා තනියම වැඩේ කරගෙන එන්න දෙමළ ඉගෙන ගන්නට පටන් ගත්තා. මේකෙන් මුළු කැම්පස් එකේම දෙමළ කොල්ලෙ කෙල්ලො අතරේ මාව ජනප්‍රිය වුණා. එත් අරුණ්‍යා එක්ක තියෙන අමුතු යාලුකම හරියටම කවුරුත් දැනගෙන හිටියෙ නෑ.

“මම හිතන්නෙ මම ඔයත් එක්ක ආදරෙන් බැඳිලා කියලා”

තවත් ප්‍රමාද වීම කනගාටුවට හේතුවක් වනු ඇත. අරුණ්‍යා සමග මිත්‍රත්වයක් ගොඩ නගාගෙන වසරකට පසු පෙර කී දාර්ශනික වචන සහිත පණිවුඩය ඉන්ද්‍රජිත් පියවර ගන්නේ ඒ නිසාය. එහෙත් යහළු විශේෂඥයින්ට අනුව නම් ඇය එය තේරුම් ගෙන නැත. දැන් තීරණාත්මක මොහොත උදාවී ඇත. වසර දෙකක් කල් ගත කළා හොඳටම ඇතිය. දැන් තිබෙන්නේ යහළුවන් කී ලෙස වචන තුනෙන් ආදරය ප්‍රකාශ කිරීමය. ඉන්ද්‍රජිත් සිය ස්මාට් දුරකථනය අතට ගත්තේය. අරුණ්‍යාගේ අංකය තෝරා එහි නාන් උංගල ලව් පන්රන් එන්ඩු නිනෛක්කිරන් ( මම හිතන්නෙ මම ඔයත් එක්ක ආදරෙන් බැඳිලා කියලා) යන පණිවුඩය සටහන් කොට යැව්වේය. එහෙත් පිළිතුරක් නැත. මුළු ලොවම අහිමි වූවා යන හැඟිමක් ඉන්ද්‍රජිත් තුළ ඇතිවිය. දින-සති ගෙවුණි.
“ මම හිතුවා ..අරුණ්‍යාට මේ ගැන අදහසක් නෑ කියලා.. මම කියලා යැව්වා .. අපි ඉස්සර වගේ යාලුවෝ වගේ ඉමු කියලා..මට බය හිතුනා මෙයා යාලු කමත් නවත්වයි. කියලා. හැබැයි අන්තිමට මගේ ආදරය විවාහයකින් කෙළවරවෙනවා කියලා එයාට ඒත්තු ගියාට පස්සෙ තමයි එයා මට කැමැත්ත දුන්නෙ. අරුණ්‍යා කිව්වෙ ඉන්ද්‍රජිත් මම ඔයාට කැමතියි -ඒත් මට බයයි – මගේ අනාගතය තියෙන්නෙ මගේ දෙමව්පියන්ගේ අතේ කියලා. ඉදා මට මුළු ලෝකෙම ලැබුණා වගේ සන්තෝශයක් දැණුනා”

“ඒකට ඒ අයට අයිතියක් තියෙන්න ඕන”

“යාපනේ කැම්පස් එකේ අවුරුද්දකට සැරයක් තියෙන මුල්ලෙවයික්කාල් සැමරුමට පක්ෂව මම දවසක් පෝස්ට් එකක් දැම්මා . ඇත්තටම සිංහල සමාජය වගේ නෙමෙයි දෙමළ සමාජය ඇතුලේ ඒ අයගේ මිය ගිය සමරණ පුරුද්දක් මම දැක්කා. මම ලිව්වේ ඒක ඒ අයගෙ අහිංසක වැඩක්. ඒකට ඒ අයට අයිතියක් තියෙන්න ඕන කියන එක. ඒක එහේ හිටපු දෙමළ කැම්පස් කොල්ලෙක් දෙමළට පරිවර්ථනය කරලා ෆේස් බුක් එකට දැම්මා. ඒක පස්සෙ යාපනේ උදයන් පත්තරේ පළ වුණා. ඒකෙ සඳහන් වුණේ කවදා හෝ දිනක දෙමළ ජනතාවට තම අරමුණට යනු ඇති බව සිංහල සිසුවෙක් කියයි කියලා. ඒක දෙමළ ඩයස්පෝරාව අතරත් පැතිරුණා. ඒකෙන් යාපනේ දෙමළ සමාජය තුළ මට පුදුම පිළිගැනීමක් ඇති වුණා.
ඉන්ද්‍රජිත් ගේ පවුලෙන් අම්මාගෙන් සුළු බාදාවක් හැර තාත්තාගෙන් අකමැත්තක් නොතිබිණි. එහෙත් අරුණ්‍යාගේ මුළු පවුලම දෙදෙනාගේ එක් වීමට විරුද්ධය. දෙමළ පවුල් සංස්කෘතිය තුළ මාමාගේ බලපෑම ප්‍රභලය. ඔහුගේ අනුමැතියෙන් තොරව ගැහැණු දරුවන්ගේ කසාද තීරණය කළ නොහැක. යාපනය සරසවියේම පරිපාලන අංශයේ සේවය කළ අරුණ්‍යායාගේ මාමා දිනක් ප්‍රශ්නය විසඳීමට ත්‍රිකුණාමලයේ සිට යාපනයට ආවේ “ මම ඌට ගහනවා” යයි කියමිණි. අන්තිමේ සාමකාමී හමුවකින් මාමාගේ සිත දිනා ගැනීමට ඉන්ද්‍රජිත් සමත් විය. ඔහු ගමට ගොස් සිය නැගනියට කීවේ “ මම ඔයාගේ දුවගෙ හැටි නම් දන්නනෙ නෑ ඒත් .. කොල්ලගෙ කියන්න වැරැද්දක් නෑ” යනුවෙනි. පවුලට උදව් කරන කැනඩාවේ සිටින අරුණ්‍යාගේ නැන්දා හදිසියේ ලංකාවට ආවේ මේ ගැන තීරණයක් ගැනීමටය. ඇය ද ඉන්ද්‍රජිත් හමුවූවාය. ඇයගේ කැමැත්ත ද අරුණ්‍යාට සහ ඉන්ද්‍රජිත් ට ලැබුණි.
අවසානයේ සියළු බාදා වන් මග හරවා ගත් ඉන්ද්‍රජිත් සහ අරුණ්‍යා 2019 වසරේ දී විවාහ දිවියට ඇතුලත් විය. දැන් අරුණ්‍යා කුරුණෑගල රිදීගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස සේවය කරයි. ඇය සිංහල ඉගෙන ගන්නට පටන්ගෙන ඇත. ඉන්ද්‍රජිත් මේ වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවය සමත් වී අධුනික පරිපාලන සේවා නිළධාරියෙක් ලෙස කටයුතු කරයි.

සුරේෂ් හරි ජෙනුයින්, සුරේෂ් අරුණ්‍යාට සුබ පැතුවා

“ මුලදි කොච්චර කරදර කරත් සුරේෂ් හරියටම අපි දෙන්නා යාලුයි කියලා දැනගත්තම කරදර කරන එක නැවැත්තුවා. සුරේෂ් හරි ජෙනුයින්. කිව්වා වගේම ඊට පස්සෙ අරුණ්‍යාට කරදර කරේ නෑ. සුරේෂ් අරුණ්‍යාට සුබ පැතුවා. අපි වෙඩින් එකට එන්න කියලා ආරාධනා කළා. එන්නම් කිව්වා ඒත් ආවෙ නෑ.”
සිංහල- දෙමළ වේවා, සිංහල – මුස්ලිම් වේවා, බෞද්ධ – ක්‍රිස්තියානි වේවා, බර්ගර්-සිංහල වේවා, වෙනත් අන්තර් වාර්ගික විවාහ වේවා, මිශ්‍ර විවාහ යනු මට නම් ආශ්චර්යකි. ජනවර්ගික වෙනස්කම්, බහු සංස්කෘතික වෙනස්කම් නොඉවසන සමාජයක, අන්තර්වාර්ගික විසංවාදයන් සහ ගැටුම් ඇති රටක ප්‍රේමය නිසා වඩාත් අභියෝග වලට මුහුණ දෙන්නෙ ඔවුන්ය. රටක ජනවාර්ගික ආතතියක් ඇති මොහොතක සැකයෙන්, භියෙන් අනියත හැඟීම් වලින් වෙලී කල්ගෙවන්නට මිශ්‍ර විවාහයකට එක් වන පෙම්වතුන් පෙම්වතියන්ට සිදුවේ. ජනවර්ග අතර මිශ්‍ර විවාහයන් බොහෝමයක් ම සිදුවන්නේ ප්‍රේම සබඳතාවල ප්‍රතිපලයක් වශයෙනි. අන්තර් වාර්ගික කොටස් අතර යෝජිත විවාහයන් ඇත්තේම නැති තරම් යයි මම සිතමි. උතුරු නැගෙනහිර යුද්ධය පැවැති කාලයේ සිංහල – දෙමළ වශයෙන් මිශ්‍ර විවාහ වලට එක් වූ පවුල් වල බිරිඳට සහ ස්වාමියාට අනාරක්ෂිත බව නිසා වෙන්ව ජීවත් වන්නට සිදුවූ කතා මා අසා ඇත. අප කොතරම් අප අයත් සංස්කෘතීන්, ජනවර්ග හෝ ආගම් උත්කර්ශයට නංවනු ලැබුවත් ඒ නිසාම ජන වර්ග අතර එකිනෙකා බෙදන මායිම් නිර්මාණය කරගත්තත් ස්ත්‍රී-පුරුෂ ආදරයට ඒ කිසිවක් මායිම් නොවන බවට ඇති හොඳම නිදසුන් ජනවර්ග අතර සිදුවන මෙවන් මිශ්‍ර විවාහයි. අරුණ්‍යා – ඉන්ද්‍රජිත් අන්තර්වාර්ගික ප්‍රේමය තුළ අපට සියුම් ස්ත්‍රී-පුරුෂ මානව සබඳතා ද, සමාජ සබඳතා ද සහ ලංකාවේ දේශපාලනය ද හමුවෙයි.
කාලයක් තිස්සේ ලංකාවේ මිශ්‍ර විවාහ ගැන වාර්තා වැඩසටහනක් කිරීමට මම සිතාගෙන සිටිමි. අරුණ්‍යා සහ ඉන්ද්‍රජිත් ගේ දෙමළ සිංහල ප්‍රේම කතාව ඊට උත්තේජනයක් ලබා දුන්නේය. ඒ ඇසුරෙන් සිනමා නිර්මාණයක් කිරීමට ද කැමැත්තෙන් පසුවෙමි. ලංකාවේ මිශ්‍ර විවාහයන් ගැන ගැන ඔබ දන්නා තොරතුරු, කතන්දර සංකේත නම් වලින් හෝ මෙහි සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි. නැතිනම් මගේ facebook ගිණුමට ඉන්බොක්ස් එකට පැමිණ තොරතුරු දන්වන මෙන් ඉල්ලා සිටිමි.
– අතුල දිසානායක (සමාජ කතා)

https://www.facebook.com/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-Social-Conversation-106281890853397
Leave A Reply

Your email address will not be published.

11 − 7 =