බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මියයාම පොලිස් කණ්ඩායම් දෙකක් පත් කරලා ලු

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ඊයේ එම දැරිය ඉගෙනගත් අවිස්සාවේල්ල – පුවක්පිටිය – කිරිවන්දල ප්‍රදේශයේ පාසලට ගොස් පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, අද දිනයේදී මවගෙන් යළි ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද පවසයි.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ මෙහෙකරුවෙකුගේ ජංගම දුරකථනය ඊයේ බොරැල්ල පොලිසිය භාරයට ගැනීමෙන් පසු යම් දත්ත මකාදැමීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් දැරියගේ මව වන රාජමානික්කම් රංජනී පැවසුවේ, රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බවයි.

එම නිවසේ දී විවිධ හිරිහැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ මරණය සැක සහිත බවත් ඇය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.

අවසාන වශයෙන් හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.

තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මියගිය දැරියගේ මව්පියන් මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කළ අතර එම කාර්යාලයට පැමිණිල්ලක් ද කර තිබේ.

රජුන් තනන්නන් මිස ජනතාවගේ සැබෑ නායකයන් නොවේ

මෙවැනි සිදුවීමකින් පසු පමණක් මෙලෙස කුඩා දරුවන් මෙහෙකාර සේවයේ යොදා ගැනීම පිලිබඳ රටේ කතා බහක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ඉතිහාසයේ සිටම මෙලෙස වතුකරයේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට රැගෙන යාම සිදු වෙයි. ඇතැම් විට එකම පවුලේ ළමුන් හතර පහ එකවර මෙහෙකාර සේවයට යොදාගෙන තිබෙන අතර එම ළමුන් ගෙන් කිහිපදෙනෙක් හෝ මෙම සිදුවීමට මුහුණ දුන් දැරිය මෙන් කුඩා දරුවන්ය. බොහෝ විට තෛපොංගල්, දීපවාලි දිනයට මෙම දරුවන් සිය ගම් බිම් වලට යවයි. බොහෝ විට ඔවුන් අවුරුද්දට නිවෙස් වලට යන්නේ එම දින වලට පමණි. තෛපොංගල්, දීපවාලි දිනට පෙර හෝ දින දෙකකට පෙර කොටුව දුම්රිය පළට වාහන වලින් ගෙනත් හැරලවන කුඩා දරුවන් තම සහෝදර පිරිස එක්වී ගම්බිම් බලා යන්නට දුම්රිය පැමිණෙන තුරු බලා සිටින දර්ශනය සුලබය. වතු ආශ්‍රිත දේශපාලන නායකයින් සෑම රජයකම ඇමතිකම් දරමින් රටේ පාලනයට එක් වී සිටියද වතුකරයේ දරුවන් ගේ ජිවිත තවමත් අනාරක්ෂිතය. ඔවුන් රජුන් තනන්නන් මිස සිය ජනතාවට සිටින තැනින් පියවරක් හෝ ඉදිරියට ගෙන ඒමට උවමනාවක් ඇති නායකයන් හෝ දේශපාලන පක්‍ෂ නොවේ.

මියගිය දැරියගේ මව ඊයේ මාධ්‍යට පැවසුවේ
“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කයල දුව කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.” යනුවෙනි

Leave A Reply

Your email address will not be published.

eighteen − one =