අල්තාරය මත ඈ තනි නොකළ හදවත

මේ සේයාරුව බැලූ බැල්මට ඔබට මොකද්ද හිතෙන්නේ ? විවාහය දවසේ තමන්ගේ දියණියව අල්තාරයට කැඳවාගෙන යන පියෙක්? ඔව්. ඒත් මේක තරමක් වෙනස් කතාවක්.
ඇයගේ නම ජෙනී ස්ටේපියන්. 2006 වසරේ දිනයක ඇයගේ පියා අවාසනාවන්ත විදිහට ඝාතනයට ලක්වෙනවා. අවන්හලක කෝකියකු වුණු මයිකල් ස්ටේපියන් වැඩ ඇරී නිවසට පැමිණෙන අතරතුරේදී මංකොල්ලකරුවකුගේ වෙඩි උණ්ඩයකට බිලි වුණේ අනපේක්ෂිත විදිහට. වෙඩි උණ්ඩය වැදී තිබුණේ ඔහුගේ හිසට. ඔහු රෝහල්ගත කළත් මියයමින් හිටියා.
නිරෝගිමත් පුද්ගලයකු වූ ඔහුගේ ශරීර අවයව දන් දෙන්න පවුලේ අය අවසානයේ තීරණය කළා. Center for Organ Recovery and Education නම් ආයතනය හරහා ඔවුන් ඒ අවයව අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් පරිත්‍යාග කරන්න කටයුතු කළා.
මයිකල් ස්ටේපියන්ගේ හදවත ලැබුණේ ආතර් තෝමස් නම් පුද්ගලයකුට. හදවත් බද්ධය සාර්ථක වුණා. මයිකල් සදහටම දෙනෙත් පියාගනිද්දී ආතර් ජීවත් වෙන්නට වරම් ලැබුවා.
කාලය ගතවුණා. ඔබ මේ දකින විවාහ දිනය එළඹෙන්නේ 2016 වසරේදී. මියගිය මයිකල්ගේ දියණිය ජෙනී විවාහයට ඇතුළු වෙන්නට සැරසී සිටියා. නමුත් ඇයව සහකරු වෙත ගෙනගොස් බාරදෙන්න ඇයගේ පියා ඈ ළඟ හිටියේ නෑ. නමුත් අල්තාරයට යන මග ඈ තනි නොකරන්න ආතර් තීරණය කළා. ඇමෙරිකාවේ නිව් ජර්සිහි ජීවත් වුණු ආතර් තෝමස් මයිකල්ගේ හදවත දරාගෙන පෙන්සිල්වේනියාවට ආවේ ජෙනීගේ විවාහය වෙනුවෙන්. ඒක තමන්ගේ යුතුකමක්, වගකීමක් බව ඔහුට දැනුණා.
දෙව්මැදුරේ දොරකඩ අසලදී ඇගේ දෑත ගත් ඔහු ඇයව අල්තාරය තෙක් ගෙනැවිත් නව සහකරුට බාර දුන්නා. ඒ මොහොතේදී පියෙකුගේ හදවතේ බර ඔහු නිදහස් කරගන්නට ඇති කියා මට හිතෙනවා. මේ ජායාරූපය කියන්නේ ඒ කතාව.
ඒ අවස්ථාවේ තමන්ට දැනුණු හැඟීම ගැන ජෙනී කියලා තිබුණේ මෙහෙමයි… ” මගේ පියා මා ළඟම ඉන්නවා කියන හැඟීම මට දැනෙන්න වුණා”
ආතර් තෝමස් ඒ ගැන මෙසේ කියා තිබුණා ” මම හිතනවා ඒක තමයි හොඳම විදිහ..ජෙනීගේ පියා ඈ ළඟ ඉන්නවා කියලා ඈට දැනෙන්න ඇති. පියාගේ හදවතේ හඬ ඈට දැනෙන්න ඇති ”
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ අපූරු ලිපිය පළවී තිබුණා. ඒ නිසා මට මේ සංවේදී සිදුවීම කෙටියෙන් හෝ ලියන්න හිතුණා.
– අයේෂ් ලියනගේ(fb)

Leave A Reply

Your email address will not be published.

18 − 7 =