ගිතාරුව ගිනි අවියක් සේ සැලකුව ඇමෙරිකානු ජන සංගීතකරුවා

වුඩ්රෝ විල්සන් ගත්‍රි හෙවත් වූඩි ගත්‍රි ඉපදුනේ ඇමෙරිකාවේ ඔක්ලොහෝමා හි ඔකෙමා ප්‍රදේශයේ. ඒ 1912 ජූලි මාසේ 14 දා දවසක. ඔහුගේ පියා චාල්ස් ගත්‍රි ඔහුට මේ නම තැබුවේ එවකට නිව් ජර්සි හි ආණ්ඩුකාරය වූ සහ 1912 දී ඇමෙරිකාවේ ජනාධිපති වූ වුඩ්රෝ විල්සන් නමින්. ඇමෙරිකානු ගායක ගායිකාවන් අතර ඇමෙරිකානු ජන සංගීතය ඉදිරියට අරගෙන ගිය චරිතයක් ලෙස් ඔහු කැපී පෙනෙනවා. ඔහුගේ නිර්මාණ පැසිස්ට් හා සමාජවාදයට පක්ෂ තේමාවන් රැගත් ඒවා. ඔහු රචනා කර ගැයූ ” This land is your land” වැනි ගීතයක් “God bless America” වැනි චිරප්‍රසිද්ධ ගීතයකට විකල්ප වූ ගීතයක්.

ගත්‍රි ගැමි, ජන හා ළමා ගී සිය ගණනක් රචනා කර තිබෙනවා. බොබ් ඩිලන්, ෆිල් ඕක්ස්, ජොනී කෑෂ්, බෲස් ස්ප්‍රිංස්ටීන්, රොබට් හන්ටර්, හැරී චැපින්, ජෝන් මෙලන්කැම්ප්, පීට් සීගර්, ඇන්ඩි ඉර්වින්, ජෝ ස්ට්‍රම්මර්, බිලී බ්‍රැග්, ජෙරී ගාර්ෂියා, බොබ් වීර්, ජෙෆ් ට්වීඩි, ටොම් පැක්ස්ටන්, බ්‍රයන් ෆැලන් , සහ සික්ස්ටෝ රොඩ්රිගුස් ඔවුන්ගේ වැඩවලට ගත්‍රි ගේ කලා භාවිතා විශාල බලපෑමක් කල බව පිළිගන්නවා. ඔහුගේ ගිටාරයේ ප්‍රදර්ශනය කර ඇති “මෙම යන්ත්‍රය ෆැසිස්ට්වාදීන් මරා දමයි” (This machine kills fascists) යන සටන් පාඨය සමගයි ඔහු සැමවිටම ප්‍රාසාංගිකව ඉදිරිපත් වුණේ.

මව රෝගී වීම හා පියා ගේ ව්‍යාපාර අසාර්ථක වීම නිසා ඔහු වඩාත් හැදුනේ වැඩුනේ මිතුරන් සමග. වයස අවුරුදු 19 දී විවාහවන ගත්‍රි පසුව එය අසාර්ථක වීමෙන් අනතුරුව බිරිඳ හා දරුවන් තිදෙනාගෙන් වෙන්වී රැකියාවක් සොයා කැලිෆෝනියාවට සංක්‍රමණය වෙනවා. ඔහු ලොස් ඇන්ජලීස් හි KFVD ගුවන්විදුලි නාලිකාවේ සේවය කරන අතර එහිදී හිල්බිලි සංගීතය (Mix of country & western music) වාදනය කිරීමෙන් කිසියම් ජනප්‍රියත්වයක් ලබා ගන්නවා. කාලයක් Peoples world නම් වූ වාමවාදී පුවත්පතට ඔහු තීරු ලිපියක් පවා රචනා කරනවා.

සිය ජීවිත කාලය පුරාම ඇමෙරිකාවේ වාමවාදී කොමියුනිස්ට් කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ ගත්‍රි ඒ කිසිවකට ගැති නොවී ස්වාධීන කලාකරුවෙක් ලෙස කටයුතු කල බවයි විචාරකයන් පවසන්නේ. 1930 ගණන් වල තමන් ලැබූ අත්දැකීම් පදනම් කරගෙන “Dust Bowl Troubadour” ගීත ඇල්බමය ලියා ගායනා කලා.

තුන් වතාවක් විවාහ වූ වූඩි ගත්‍රිට දාව දරුවන් 8දෙනෙක් සිටි අතර ඔහුගේ පුත් ආර්ලෝ ගත්‍රි ඇමෙරිකාවේ ප්‍රකට සංගීතඥයෙක්. ජානගතව එන රෝගයක් වන Huntington’s Disease හෙවත් මොළයේ කොටස් ක්‍රමයෙන් අක්‍රීය වීමෙන් 1967 දී ගත්‍රි මිය යනවා. (ඔහුගේ මව මියයන්නේ ද මේ රෝගයෙන්)

ඇමෙරිකාව තුල අදටත් වූඩි ගත්‍රි ව සලකන්නේ සංගීතය, සංස්කෘතිය හා දේශපාලනය පිලිබඳ කල්පවත්නා සංකේතයක් ලෙසයි. එයට හේතුව ගත්‍රි ලියා ගැයුවේ මහා අවපාත සමයේ ඇමෙරිකාවේ එදිනෙදා ජීවිතය ගැටගසාගත් කම්කරුවන් ගැන වීමයි.

– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

9 + eight =