‘ෆැක්ට් චෙක් කොල්ලන්’ දේශපාලන සෙල්ලමකද?

සමාජ මාධ්‍ය හරහා කාලීන, දේශපාලනික මෙන්ම සමාජයීය තොරතුරුද ඇතුළත්ව මිලියන ගණනක් තොරතුරු දෛනිකව හුවමාරු වෙමින් තිබේ. එසේ හුවමාරු වන තොරතුරු යම් යම් පුද්ගලයන්ට, සමාජ කණ්ඩායම්වලට පමණක් නොව රටක දේශපාලනයට පවා සෘජුවම බලපෑම් කිරීමට තරම් ප්‍රබල ඒවා බවට අද වන විට පත්ව තිබේ. ඒ නිසාම එසේ හුවමාරු වන තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය ලෝක පරිමාණයෙන් තීරණාත්මක සාධකයක් බවට පත් වී ඇත.

ෆේස්බුක් ස්ථාවරය

මෙම තොරතුරු වැඩි වශයෙන් හුවමාරු වන සමාජ මාධ්‍ය කිහිපයක් වන ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන ෆේස්බුක් සමාගම විසින් මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.

“ෆේස්බුක් වැනි පුද්ගලික සමාගමක් සත්‍යයේ බේරුම්කරුවන් විය යුතු යැයි අප විශ්වාස නොකරන හෙයින්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හරහා ඇති විය හැකි වැරදි තොරතුරු හඳුනා ගැනීම, සමාලෝචනය කිරීම සහ ඇගයීම සඳහා අපි සත්‍ය පරීක්ෂකයින් මත විශ්වාසය තබමු. වැරදි තොරතුරු පැතිරවීමට එරෙහිව සටන් කිරීම සහ වඩාත් විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබා දීම, පක්ෂග්‍රාහී නොවන ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ ජාලය (IFCN) හරහා සහතික කර ඇති ස්වාධීන තෙවන පාර්ශවීය කරුණු-පරීක්ෂකයන් සමඟ ෆේස්බුක් හවුල්කරුවන් සම්බන්ධ වී ඇත්තේ ඒ නිසාය. ඔවුන් තහවුරු කරන තොරතුරු මත පදනම්ව අපගේ යෙදුම් හරහා ක්‍රියාමාර්ග ගැනීමට සහ ගැටලු සහගත අන්තර්ගතයන් පැතිරීම අඩු කිරීමට අපට හැකියාව ලැබේ.”

මෙය සාපේක්ෂව ඉතා සාධාරණ ක්‍රියාමාගර්යකි. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන තොරතුරුවල නිරවද්‍යතාවය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ තෙවන පාර්ශ්වීය නිරීක්ෂකයන් මතය.

තෙවන පාර්ශ්වීය නිරීක්ෂකයන්

බොහෝ රටවල් සහ කලාපවල, සමාජ මාධ්‍ය තුළ ඇති අන්තර්ගතය හඳුනා ගැනීම, සමාලෝචනය කිරීම සහ ක්‍රියා කිරීම සඳහා පක්ෂග්‍රාහී නොවන ජාත්‍යන්තර කරුණු පිරික්සුම් ජාලය (IFCN) හරහා සහතික කරන ලද ස්වාධීන, තෙවන පාර්ශ්වීය කරුණු පරීක්ෂා කිරීමේ සංවිධාන මේ යටතට ඇතුළත් වේ. පොදු ව්‍යවහාරය අනුව මෙම කණ්ඩායම් හඳුන්වනු ලබන්නේ ‘ෆැක්ට් චෙකර්ස්ලා’ යනුවෙනි. මෙම කණ්ඩායම්වලට සමාජ මාධ්‍ය තුළ පලවන දැන්වීම්, ලිපි, ඡායාරූප, වීඩියෝ සහ වචන පමණක් පෝස්ට් ඇතුළු පොදු සටහන් සමාලෝචනය කර ඇගයීමට ලක් කළ හැකිය.

එමගින් ඇතැම් විට ව්‍යාජ තොරතුරු ලෙස හැඳින්වෙන පෝස්ට් වාරණය කරනු ලබයි. නැතහොත් අන් අයට පෙනෙන ප්‍රමාණය (Reaches) සීමා කිරීම සිදු වේ. එසේ ඔවුන් විසින් නිරීක්ෂණ ඉදිරිපත් කර ෆේස්බුක් සමාගම වෙත නිර්දේශයන් ඉදිරිපත් කර ඇති පෝස්ට් සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ෆේස්බුක් සමාගම විසින් එම පෝස්ට් ප්‍රදර්ශනය වන සෑම ස්ථානයකම පහතින් ප්‍රදර්ශනය කරනු ලබයි.

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යයන්හි හිමිකාරීත්වය පෞද්ගලික සමාගම් සතු වූවද මේ වන විට ඒවා භාවිතය සහ සිදු කරන ලබන සමාජ බලපෑම පොදු සමාජයක් මතම ක්‍රියාත්මක වන්නක් නිසා ෆැක්ට් චෙකර්ස්ලාගේ ක්‍රියාකාරීත්වය ද පෞද්ගලික නොව පොදු සමාජයට සත්‍ය අනාවරණය කරන ස්වාධීන ක්‍රියාකාරීත්වයක් දැක්වීම ඉතාමත් වැදගත්ය.

ලංකාවේ තත්ත්වය

ලංකාවේද ෆේස්බුක්, වට්ස්ඇප් වැනි සමාජ ජාලවල පළ කරන සමහර පෝස්ට් ‘ෆැක්ට් චෙක්’ කිරීම සිදු කරනු ලබයි. ඒ සඳහා ෆේස්බුක් සමාගම විසින් නිල වශයෙන් පිළිගැනීම ලැබූ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් සිටිති. එහෙත් මෑත කාලීනව ඔවුන් විසින් සිදු කරනු ලැබූ ඇතැම් නිර්දේශයන් මෙන්ම නිර්දේශ නිකුත් කළ යුතුව තිබියදී මග හැර සිටීම් දෙස බැලූ විට ඔවුන් ඉහත කී පරිදි ෆේස්බුක් සමාගම විසින් නිකුත් කර ඇති නිර්ණායකයන් නොසලකා හරිමින් සිටින්නේද යන ගැටලුකාරී තත්ත්වය මතු වෙමින් තිබේ. එසේ නොමැතිනම් ඔවුන් ස්වාධීන නොවන, යම් දේශපාලනය න්‍යායපත්‍රයක් අනුව කටයුතු කරමින් සිටින්නේද යන සැකය මතු වේ.
ලංකාවේ සිටින බොහෝ ෆැක්ට් චෙකර්ස්ලා ජනතාවට සමීප, ජනතාවට පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි පරිදි ප්‍රසිද්ධියේ පෙනී සිටින්නන් නොවේ. ලෝකයේ බොහෝ රට වල මෙසේ ෆැක්ට් චෙක් කරන්නන් නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ තොරතුරු පරීක්ෂා කරන්නන් කවුරුන්ද, ඔවුන්ගේ කාර්යාලය පිහිටා ඇත්තේ කොතැනද යන්න සහ ඔවුන් සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයන් පවා සිය වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කරමිනි. එහෙත් ලංකාවේ ෆැක්ට් චෙකර්ස්ලා බොහොමයක් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නන් නොවේ. ඇතැම් කණ්ඩායම් විදේශීය සංවිධානයක නියෝජිතයන් බව සඳහන් කර ඇති අතර ඔවුන්ගේ දේශීය කාර්යාලයක් හෝ ලිපිනයක් දක්වා නැත.

පාර්ශ්වීය නිරීක්ෂණ

පසුගිය දිනවල මේ කියන දේශීය නිරීක්ෂකයන් විසින් ෆේස්බුක් සමාගම වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ මේ පාර්ශ්වීය හැසිරීම ඉතාමත් පැහැදිලිව හඳුනා ගත හැකි විය. එහිදී පැහැදිලිව පෙණුන කරුණක් වූයේ ආණ්ඩුවට අවාසි සහගතව පැතිරෙන තොරතුරු ඉතාම ඉක්මණින් පරීක්ෂා කර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට ඔවුන් යුහුසුළු වීමයි. බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙන දවසේ පෑන සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තිය, ගිනි ගත් නැවේ වන්දි සම්බන්ධව පළ වූ ප්‍රවෘත්ති මේ සඳහා උදාහරණයන්ය. එසේම සමාජ මාධ්‍ය තුළ තවත් සංසරණය වූ ආණ්ඩු පක්ෂයට වාසි සහගත ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ ඉතාමත් ප්‍රමාදය. නැතහොත් නිරීක්ෂණයන් ඇත්තේම නැත.

මෙවැනි පාර්ශ්වීය මැදිහත්වීමකට ආසන්නම උදාහරණය වන්නේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පලවන තොරතුරු සම්බන්ධ ඇතැම් ෆැක්ට් චෙකර්ස්ලාගේ නිරීක්ෂණයන්ය. එහිදී මුලින් සංසරණය වූ එක් තොරතුරක් වූයේ ඉහත කී දැරිය අපයෝජනයට කොටුවේ හිමි නම ද සම්බන්ධ වී ඇති බවයි. එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ක්ෂණික මැදිහත්වීමක් සිදු කළ එක් නිරීක්ෂණ කණ්ඩායමක් ඒ පිළිබඳ කාන්තා හා ළමා කාර්යාංශයෙන් විමසීමක් කළ බවත්, එහි අධ්‍යක්ෂිකාව එය අසත්‍යයක් බව පැවසූ බවත් සඳහන් කර තිබේ. ඉන් පසුව ඉහත කී හිමිනමගෙන් ද විමසීමක් කර ඇති අතර ඔහු විසින් ද එය ප්‍රතික්ෂේප කර ඇති බව පවසයි. ඉන් පසුව ඔවුන් සිය අවසාන නිගමනය වශයෙන් දක්වා ඇත්තේ “අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ 15 හැවිරිදි දැරිය ලිංගිකව අපයෝජනයට ලක්කිරීම හා සම්බන්ධව කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ නම ද සඳහන් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය තහවුරු කර සිටිනවා.” යනුවෙනි. ඒ අනුව එය වැරදි ප්‍රවෘත්තියක් බව ඔවුන් විසින් ෆේස්බුක් සමාගමට නිර්දේශ කර තිබේ.

ඊටම අදාළව තවත් සංසරණය වූ තොරතුරක් වූයේ එම අපයෝජනයට සම්බන්ධ යැයි කියන මහජන නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරිකයන් පිරිසකගේ නම් ලැයිස්තුවක තොරතුරකි. ඒ සම්බන්ධයෙන් මෙම කණ්ඩායමම සිදු කළ නිරීක්ෂණ වලදී “පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෝ පොලිසියේ නිල නිවේදන මගින් හෝ සැකකරුවන්ගේ ලැයිස්තුවක් සම්බන්ධයෙන් මෙතෙක් මාධ්‍යට නිවේදනයක් ලබා දී තිබුණේ නැහැ” යනුවෙන් දක්වා තිබේ. කොටුවේ හිමියන් චූදිතයෙකු නොවන බවට නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ යයි කියන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය මේ සඳහා පවසා ඇත්තේ “මෙම සිදුවීමට අදාළ විමර්ශන තවමත් සිදු කෙරෙමින් පවතින හෙයින් ඒ කවුරුන්ද යන වග හෙළි කළ නොහැකි බවත් සෙසු පුද්ගලයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් නොවන බව” සඳහන් කළ බවයි.

මෙතෙක් අත් අඩංගුවට ගෙන නොතිබීමත්, චූදිතයන් නොවීමත් දෙකකි. සිදු වීමට අදාළ පරීක්ෂණ ද තවම අවසන් නැත.
කොටුවේ හිමියන්ගේ නම නිශ්චිතවම සඳහන්ව නැති බව කියන්නට හැකි අධ්‍යක්ෂවරිය මේ නාමලේඛණය සම්බන්ධයෙන් පවසන්නේ එහි සිටින පිරිස් තවම අත් අඩංගුවට ගත් පිරිස අතර නොමැති බවද? නැතහොත් මේ නිරීක්ෂණ ඉදිරිපත් කළ ෆැක්ට් චෙකර්ස්ලා ඉහත නාමලේඛණයේ සිටින පිරිස්, ඉහත ලැයිස්තුවේ පුද්ගලයන් අපයෝජකයන් විය හැකි බවට ද සැකයක් ඉතිරි වන පරිදි වචන සෙල්ලමක යෙදුනාද?

මෙම ‘ෆැක්ට් චෙක්ස්ලා’ විසින් පාර්ශ්වීය ලෙස කටයුතු කරන බවට හොඳම උදාහරණයක් වන්නේ ඉහත කොටුවේ හිමියන්ගේ සිද්ධියේදී පාර්ශ්වකරුවෙක් ලෙස එම හිමියන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබාදුන්නද, ඉහත කී අපයෝජකයන්ගේ යැයි ප්‍රසිද්ධ කර ඇති නම් ලැයිස්තුව සම්බන්ධ සිද්ධියේදී එහි නම් සඳහන් අයවලුන්ගේ පාර්ශ්වයන් අමතා තහවුරු කර ගැනීමට කටයුතු නොකිරීමයි.

කෙසේ වෙතත් ඔවුන් මේ සම්බන්ධයෙන් සිය අවසාන නිගමනය ෆේස්බුක් සමාගම වෙත දන්වා ඇති අතර එහි සඳහන් වන්නේ ද මෙම කණ්ඩායම තවම අත් අඩංගුවට ගත් පිරිස අතර නොමැති බව පමණකි.

අනතුර

මෙහිදී මතු වන තවත් ගැටලුවක් වන්නේ පරීක්ෂණ අවසන් නැති සිදුවීමක නිරීක්ෂණ සහ ඒවායේ සත්‍ය අසත්‍යතා මෙම ඊනියා ෆැක්ට් චෙකර්ස්ලා විසින් ඉදිරිපත් කිරීමට යාමෙන් තොරතුරු අනාවරණය වීම වැලැක්වීම හෝ වැරදි තොරතුරු සමාජගත වීම සිදු නොවන්නේද යන්නයි.

එසේම ෆැක්ට් චෙකර්ස්ලා ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් සිය නිකරී්ෂණ වල සැකයක් ඉතිරි කර, එහෙත් සිය අවසාන නිගමන වාර්තා කිරීමෙන් තොරතුරු අනාවරණය කිරීමට මෙන්ම තොරතුරු දැන ගැනිමට ද ඇති අයිතිය උල්ලංඝනය වීමක් ද සිදු වන බව පැහැදිලිය. යම් කිසි මාධ්‍යයක් හෝ පුද්ගලයෙකු කිසියම් තොරතුරක් ඉදිරිපත් කරන්නේ ඊට අදාළ මූලාශ්‍ර සහිතව විය හැකිය. එහෙත් ඉදිරිපත් කර ඇති තොරතුර සම්බන්ධයෙන් චූදිත පාර්ශ්වයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් පමණක් තොරතුරු විමසා එම තොරතුර වැරදි බවට නිර්දේශ කිරීමට ඔවුන් කටයුතු කරයිනම් ඔවුන් සිදු කරමින් සිටින්නේ සත්‍ය අනාවරණය කිරීමක් නොව, තොරතුරු සංසරණයට බාධා කිරීමකි. තොරතුරු දැන ගැනීමේ අයිතිය අභියෝගයට ලක් කිරීමකි. ස්වාධීන තොරතුරු නිරීක්ෂකයන්ගේ ලේබලයට මුවා වී ස්වාධීනත්වය අවමානයට ලක් කිරීමකි.

– චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

eight + 16 =