ක්‍රිෂ්ණා, අප යළි කිසිදින හමුනොවන බැවින්…!

ක්‍රිෂ්ණාගේ සහ මගේ මිත්‍රකම, මගේ පත්තර ජීවිතය තරම්ම පරණ ය.
නාහෙට නාහන කොලුගැටයෙක් ලෙස ලංකාදීපයට ගිය මගේත්, මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු සාන්ත දාන්තයෙක් වූ ක්‍රිෂ්ණාගේත් මිතුරුකම ලංකාදීප වහල යට උසට ද, මහතට ද වැඩුණේ වේගයෙනි.
ඒ මිතුදමේ සලකුණු ලෙස මට ඉතිරිව ඇති එක් සුන්දර සැමරුමක් වන්නේ මා ක්‍රිෂ්ණාගේ මංගල්ලයේ යාළු මනමාලයාට ඇන්ද විදිය ය.
ජීවිතය ගැන මෙලෝ බරක් පතලක් නොවූ මා වැනි නහරකාරයෙක්, සාමාන්‍යයෙන් නිවුණු ගතිසොබා ඇති ක්‍රිෂ්ණයා මොන මගුලකට තෝරාගත්තාදැයි අදටත් මම නොදනිමි. කෙසේ වෙතත්, මට ක්‍රිෂ්ණාගේ අත ගත් මනමාලියගේ මුහුණවත් එදා මතක තියාගන්නට බැරිවිය!
උමතුවෙන් සැරු එ සමයේ මම හුදෙකලා සැරිසරන්නකු වීමේ පිස්සුවෙන් පෙළුණෙමි. එ වූ පිස්සුවේ පළමු උන්මාදාවේශය ලෙස, උක්ගල් කල්තොට නම් වළවේ ගංඇලයක වැතිරි ගම්පළාතක වරුණ කියා, එහි යාමට ඇවැසි මූලික සම්බන්ධතා කිහිපය මා වෙනුවෙන් ජාලගතකරදුන්නේ ද ක්‍රිෂ්ණා ය.
ක්‍රිෂ්ණා ලංකාදීපය වෙනුවෙන් එකල ඇද්ද බර නිමක් නැත.
පත්තර පිටු එලා මේස මත බුදියාගෙන සති ගණන් එක දිගට කන්තෝරුවේ වැඩ ඇද්ද ඔහු, සති ගණන් කැලේ කොලේ කරක්ගසමින් ඒ කන්තෝරු වැඩ පොහොණි කළේ ය.
ඔහුත් මාත් ලංකාදීපයෙන් යන්නට ගිය පසු අපට අපේ පෙර ඇසුර එසේම ගෙනයන්නට ඉඩ නොලැබිණි. රෑ දවල් නොබලා පත්තර කන්තෝරුවේ බර ඇදීමත්, කැලේ කොලේ කරක්ගැසීමත් ක්‍රිෂ්ණ ලීලා වනවිට කන්තෝරුවල රැඳෙන නොව, පොදු සටන්බිම්වලට ඇදෙන ජනමාධ්‍යකාරයන් වැඩිපුර සම්මුඛ වීම එකල අපේ ලීලාව විය. ක්‍රිෂ්ණා ඒ තැන්වලට ආවේ අඩුවෙනි.
එය ද ක්‍රිෂ්ණමය පිළිවෙතක් හෙවත් ක්‍රිෂ්ණ ලීලාවකි.
මේ අකල් වියෝගය ආරංචි වූ විගස පෝද්දල ජයන්ත සොයුරා මට කළ හිසිකැඳවීමක් අනවසරයෙන් මෙහි බහාලමි.
“ක්‍රිෂ්ණා කවදාවත් අපේ (ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ) සංගමේ සාමාජික වෙලා නෑ. අපි සංගමේට පත්වුණාට පස්සෙ ඌ සාමාජිකත්වය අරන් කිව්වා ‘හරියට කරපල්ලා මචං, මං සාමාජිකත්වය ගත්තේ සනායි උඹයි හින්දා’ කියලා.”
ඒ ද පොදු සටන් ගැන එහෙමකට විශ්වාස නොකළ ක්‍රිෂ්ණ ලීලාව යි.
ඊට ඔහුට ඔහුගේ ම හේතු ද තිබෙන්නට ඇත. එහෙත් අපි කිසිදා ඒ ගැන මහලොකුවට වාදකර නැත්තෙමු.
මෙබඳු ඇතැම් වෙනස්කම් අපේ බැඳීමට කිසිදා බාධා කළේ නැත‍.
ඒ කොයිහැටි වෙතත් ක්‍රිෂ්ණාගේ සාරය අන්තිම බින්දුව තෙක් උරාගත් මොන පත්තර කන්තෝරුව විසින් ක්‍රිෂ්ණාට ඇත්ත සාධාරණයක් ඉටුකළේදැ’යි මම අවංකවම නොදනිමි‍.
ක්‍රිෂ්ණ විජේබණ්ඩාර නම් විසල් මාධ්‍ය සගයා ක්‍රිෂ්ණමය පා සටහන් තබා ක්‍රිෂ්ණ ලීලාවැති පත්තර සැරිසරක යෙදුණේ ය‍‍.
මෙතැනින් ඔබ්බට ඒ පා සටහන් විසිරෙනු ඇත්තේ අනන්ත අවකාශයේ ය.
ක්‍රිෂ්ණා, උඹ කාගේ අවතාරයක්දැයි මට කියාදීමට තතනන තැනෙහි දී, සියලු දේවවාදීහු අසමත් වන්නාහු ය.
මොන දේවවාදියාටත් වඩා හොඳින්, ක්‍රිෂ්ණා! මම උඹ හඳුනමි.
එසේම අප යළි හමු නොවන බව ද සහසුද්දෙන් දනිමි‍!
මා උඹට සුවබර වූ සදාකාලීක නින්දක් පතන්නේ එබැවිනි!!!
-සනත් බාලසුරිය (fb)

Leave A Reply

Your email address will not be published.

twenty − 10 =