හෙමිංවේ ගැන හෙමින් කියවන්න

මේ කවුද ? මම දවසක් සාහිත්‍ය ගැන සංවාද කරන මගේ හිතවතියකට මේ පින්තූරේ පෙන්නලා ඇහුව. ටොම් කෘස් වගේ…. ඈ කිව්වා. හැබෑටම ඔව්. ටිකක් ඒ වගේත් තමයි. මටත් මේ රූපය ඒ වගේ පේන්න ගත්තා. හැබැයි මේ ඉන්නේ ටොම් කෘස් නම් නෙමෙයි. ටොම්ට කලියෙන් ලෝකේ මිනිස්සු දැන හිටි ප්‍රකට ඇමෙරිකානුවෙක්. ඔහු අර්නස්ට් හෙමිංවේ. සාහිත්‍ය කියවන ඔබට ඔහුගේ නම අරුමයක් වෙන්න බෑ. ඔහුගේ නම අමතක වුණත් ‘ මහල්ලා සහ මුහුද’ කියන කෘතිය ගැන හරි ඔබ දන්නවා ඇති. අද අහම්බෙන් අන්තර්ජාලේ පැරණි ලිපියක් කියවද්දී මේ සේයාරුව මගේ ඇහැ ගැටුණා.
හෙමිංවේගේ ජීවිත කතාවේ කියන විදිහට ඔහුගේ ජීවිතේ හොඳම මාස හයේ ප්‍රීතිමත්ම සාක්ෂිය තමා මේ දීප්තිමත් සිනහව. ” Hemingway In Love And War” කෘතිය ලියූ හෙන්රි එස්.විලාඩ් වරෙක පවසනවා ” ඒ තරම් දීප්තිමත් සිනහවක් එයින් මතු ඔහුගේ මුහුණු ඇඳුනේ නෑ” කියා.
මේ සේයාරුව ගන්නේ 1918 අවුරුද්දේ. ඒ ස්පාඤ්ඤ උණ වසංගතය පැතිර යෑම ආරම්භ වූ කාල වකවානුව. ඒ වගේම පළමු ලෝක යුද්ධයේත් උග්‍රම අවස්ථාව. 19 හැවිරිදි වියේ ඉඳපු අර්නස්ට් හෙමිංවේ ඉතාලි යුද පෙරමුණට ආවේ රතු කුරුස සංවිධානයේ ගිලන්රථ රියදුරෙක් විදිහට. හමුදාවට බැඳෙන්න වුවමනා වුණත් ඔහුගේ එක් ඇසක තිබූ දෘෂ්ටි දෝෂයක් නිසා ඒ අවස්ථාව ඔහුට මඟ හැරුණා. නමුත් ඔහු යුධ පෙරමුණට යන වුවමනාව අත් හැරියේ නෑ. ඔහු තෝරාගත්ත මාර්ගය තමා රතු කුරුස සංවිධානය. කොහොමින් හරි ඔහු යුරෝපා යුද පෙරමුණට සම්බන්ධ වුණේ ගලවාගැනීමේ මෙහෙයුම්වලට සහාය දෙන රියැදුරුවරයෙක් විදිහට.
ජූලි මාසේ දිනයක ඔහුට තිබුණ එක ආසාවක් සංසිඳුනා. හැබැයි ඒක ටිකක් වේදනාබරයි. හැබැයි ඔහුට ඕන වුණෙත් ඒක. අපේ වචනෙන් කිව්වොත් අසනීපෙ හොඳ වුණා වගේ දෙයක්. හෙමිංවේගේ පාද දෙකටම මෝටාර් ප්‍රහාරයකින් තුවාල වුණා. මාස හයක් ඔහුට ඉතාලියේ මිලාන් නුවර රෝහලක ගිලන් ඇඳේ තපින්නත් වුණා. හැබැයි හමුදා සොල්දාදුවෙක් වී යුද පෙරමුණට ආවා වගේ අත්දැකීමක් ඔහු ලැබුවා. ලෙඩ ඇඳට වැටුණත් ඔහුගේ ආසාවක් ඉෂ්ට වුණා.
කොහොමින් හෝ ඔහුගේ ජීවිතයේ ඔහුට මුහුණ දෙන්න සිද්ද වුණු අපහසුම යුද්ධය ඇරඹුණේ ඒ ගිලන්වෙච්ච මාස හයේදී බව කීවොත් ඒක වැරදි නෑ. ඇග්නස් වොන් කුරෝව්ස්කි නම් හෙදිය ඒ හැඟීම් යුද්ධයක පළමු ගිනි සිළුව ඇවිලෙව්වේ ඔහුගේ හදවතේ ඈ පිළිබඳව ප්‍රේමයේ බීජයක් පැල කරමින්. දහනම හැවිරිදි වියේ සිටි තරුණ හෙමිංවේ තමාට වඩා සත් වසක් වැඩිමල් ඒ හෙදියට ප්‍රේම කරන්න ගත්තා. ගිලන් ඇඳේ හුදෙකලාව වැතිරී සිටි ඔහුට තිබුණු ලොකුම සහනය වුණේ ඇග්නස්. කාලය ගෙවුණා. ඔවුන් දෙදෙනාම දෙදෙනාට එක සේ ප්‍රේම කළා. ඔහු දෙපයින් සිටවීමේ කාර්යය ඇයගේ ආදරය මුසු සාත්තුවෙන් ඉක්මන් වුණා.
ජීවිතය ගැන සැහැල්ලුවෙන් සිතා යුද පෙරමුණට ආ හෙමිංවේට ජීවත් වීමට බලාපොරොත්තු ලැබුණා. ඔහුට උවමනා වුණේ නැවතත් ඇමෙරිකාවට ගොස් ඇය සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. පූර්ණ සුවය ලැබූ හෙමිංවේ 1919දී නැවතත් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් වුණා. ඔහු අපේක්ෂා කළා ඈ ඔහු වෙත පැමිණෙයි කියා. අන්තර්ජාල පහසුකම් නැති, සමාජ මාධ්‍ය නැති ඒ කාලයක වුණත් ඔවුන්ගේ හැඟීම් ගනුදෙනු නැවතුණේ නෑ. ඔවුනට තිබුණු එකම සන්නිවේදන විකල්පය වුණේ සති ගණන් කල් ගතවෙන ලියුම් කඩදාසි හුවමාරුව විතරයි.
නමුත් වැඩි කලක් ගතවීමට මත්තෙන් ඇග්නස්ගෙන් ඔහුට සමුගැනීමේ ලිපියක් ලැබුණා. එය ඔහු අපේක්ෂා කළ දෙයක් නෙමෙයි. ඒ ලිපිය ඈ ආරම්භ කර තිබුණේ මෙලෙසින්
” Ernie, dear boy,
I am writing this late at night after a long think by myself, & I am afraid it is going to hurt you, but, I’m sure it won’t harm you permanently………….
වෙන්වීමේ අරමුණ පැහැදිලි කළ ඈ එම ලිපියේ නැවතීමේ තිත තැබූ තැනින්ම ප්‍රේමය අවසන් කළා.
මම හිතනවා අර්නස්ට් හෙමිංවේ නම් ලේඛකයා ඉපදුනේ ඒ ලිපිය ලැබුණට පස්සේ කියලා. ලෝකයේ ජීවත්වුණු විශිෂ්ට ලේඛකයන්ගේ ඇතුල්ජී ජීවිත බැලුවොත් ඔවුන් ලේඛකයන් වෙන්නෙම වේදනාවන් සමනය කරගන්න දරණ උත්සාහයකදී. හෙමිංවේ කියන්නේ ඒ ලේඛක සනුහරේ එක චරිතයක් විතරයි.
වෙන්වීමේ වේදනාව සදාකාලික රිදවීමක් නොවේවි යැයි ඇග්නස් කීවත් කුළුඳුල් බැඳීමේ කඩාවැටීම ඔහුගේ මරණය තෙක් දිගු වුණා. ඒ වගේම ඒ කාලය පුරාම ඔහු ලියූ කෘති ගණනාවකට ඔහු ඒ ප්‍රේමය වස්තු බීජයක් කරගත්තා. ඒ අතරිනුත් ඔහු ලියූ ” Farewell to Arms” කෘතිය සුවිශේෂයි. එහි එන කැතරින් බාක්ලි නම් හෙදියගේ චරිතය ඔහු රචනා කළේ ඇග්නස් වොන් කුරෝව්ස්කිගේ චරිතය පාදක කරගෙන. ඇයව සිතේ මවාගෙන.
එතැන් පටන් ඔහුගේ පෞද්ගලික ජීවිතය ගෙවුණේ බොහෝ උස් පහත්වීම් සහ මානසික කඩාවැටීම් එක්ක. ප්‍රේම සබඳතා බොහොමයක පැටලුණු ඔහු විවාහ ජීවිතයටත් ඇතුළු වුණා. නමුත් ඒ විවාහ කිහිපයක්ම දික්කසාදයෙන් කෙළවර වුණා.
කොහොම නමුත් ඔහුගේ ජීවිතය කඩා වැටුණු බැඳීම්වලට පමණක් ලඝු වෙන්නේ නෑ. 1954 දී ඔහු සාහිත්‍ය සඳහා වූ නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබීම, ඔහුගේ දේශාටනය, කියුබාව සහ ෆිදෙල් කැස්ත්‍රෝ වැනි දේශපාලන චරිත සමඟ තිබූ ආන්දෝලනාත්මක මිත්‍රත්ව බැඳීම් සහ දේශපාලන මතවාද ඔහුගේ ජීවිතයේ අනෙක් පැතිකඩ නිරූපනය කළා. ඔහුගේ ජීවිත කතාව බොහෝ ලේඛකයන් අතින් ලියවුණා. කාලෝස් බාකර් සහ ජෙෆ්රි මේයර් වැනි ලේඛකයෝ ලියූ කෘති ඔබ පරිශීලනය කළොත් ඔහුගේ ජීවිතයේ විවිධ පැතිකඩ කෝණ කිහිපයකින්ම ලියැවී ඇති බව පෙනේවි.
ඔහු ගැන බොහෝ දේ ලියන්න ඇතත් මට ඕන වුණේ 1918 අවුරුද්දේ ඇඳුණු ඒ දීප්තිමත් සිනහවේ කතාව ගැන සටහනක් ලියන්න විතරයි.
1961 අවුරුද්දේ ජූලි 2 වැනිදා ඔහු තමන්ගේ ප්‍රියතම ගිනි අවියේ උදව්වෙන් සියදිවි තොරකරගත්තා. 1918 වසරේ තුවාල ලැබු , ඇග්නස්ගේ මුණ ගැසුණු ජූලි මාසයේම ඔහු ජීවිතය හැර යෑමත් දෛවෝපගතයි. මියගිය මොහොතේත් ඔහු අසල ඇග්නස් එවූ හසුන්පත් තිබූ බව කියැවෙනවා.
– අයේෂ් ලියනගේ

Leave A Reply

Your email address will not be published.

9 + 7 =