‘ඇමෙරිකානු’ මුදල් ඇමති වැඩ අල්ලයි කෙරවළපිටිය ‘යුගදනවි’ විදුලි බලාගාරය ඇමෙරිකාවට

පසුගිය සඳුදා අපේ රටේ ආරක්ෂාවටත්, ආර්ථිකයටත් අතිශය අහිතකර ලෙස බලපාන කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කෙරිණි. එම කැබිනට් පත්‍රිකාවට අනුරූපී වන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල New Fortress Energy (NFE) නම් වූ ඇමෙරිකානු සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළේය. මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය බවට පත් වී තිබෙන්නේ විටෙක චීනයට, තවත් අවස්ථාවක ඉන්දියාවට, තවත් විටෙක ඇමෙරිකාවට රටේ ජාතික සම්පත් අලෙවි කිරීමයි. පසුගිය දා පෝර්ට් සිටි පනත මගින් ලංකාව සම්බන්ධයෙන් වන විශාල බලයක් චීන සමාගම වෙත පවරා දෙන ලදී. මේ මොහොත වන විටත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඇතුළු ත්‍රිකුණාමලය වරාය ඉන්දියානු වුවමනාවන් සඳහා පවරා දීම පිළිබඳව සාකච්ඡාවක් සිදුවෙමින් තිබේ.

මොකක්ද මේ ‘යුගදනවි’?

ඉහත ගනුදෙනුවට හිලව්වක් ලෙස බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටුවා තිබෙන යුගදනවි විදුලි බලාගාරයත්, නළ පද්ධතියත්, එයටම අදාළ වන ගෑස් සැපයුමත්, ගබඩා සංකීර්ණයත් මුළුමනින්ම ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් වෙත පවරා දීම සඳහා උත්සාහයක ආණ්ඩුව නිරතව සිටී. හරියටම කියනවා නම්, වත්තල, හැඳල, මුතුරාජවෙල කර්මාන්තපුරයේ, අංක 90 දරන තැන පිහිටි යුගදනවි බලාගාර සංකීර්ණය පැවරීම සඳහා අභිනව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා New Fortress Energy (NFE) නම් ඇමෙරිකානු සමාගම සමඟ මීට අදාළ වන ගිවිසුම අත්සන් කළේය. අප වැනි භූමියෙන් කුඩා රටක විශාල බලශක්ති වෙළෙඳපොළක් නැති බව අපි දනිමු. ඒ නිසා අපි වැනි රටවල බලශක්තියේ පාලනය සහ හිමිකම අත්පත් කර ගන්නා තැනැත්තා රට පාලනය කිරීමේ බලය හිමි වෙයි. විදුලි බලය, ඒ බලශක්ති පාලන බලයේ වැදගත් ක්‍ෂේත්‍රයකි.
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය යනු මෙගා වොට් 300ක බලාගාරයකි. එය ඉදිකළේ ස්වාභාවික ගෑස් බලාගාරයක් සඳහා පරිවර්තනය කළ හැකි ආකාරයටය. යුගදනවි මුළුමනින්ම රාජ්‍ය සමාගමකි. එහි 50%කට අධික කොටස් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය සතුය. තවත් කොටස් ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලටත් තවත් ප්‍රමාණයක් රජය සතු ‘ලෙකෝ’ සමාගමටත් ඇත. තවත් ප්‍රමාණයක් රජය සතු Lanka Transformers Limited (LTL) සමාගම සතුය.

රහසේ කළ ගනුදෙනුවේ රඟ

මුලින් සඳහන් කළ කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන්නේ මහා භාණ්ඩාගාරය ඇතුළු රාජ්‍ය ආයතන 04කට අයිතිව තිබෙන මෙම යුගදනවි බලාගාරයේ භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40%ක ප්‍රමාණයක් ඇමෙරිකානු සමාගමට පැවරීම සඳහාය. යුගදනවි ආසන්නයේ එහිම දිගුවක් ලෙස තවත් මෙගා වොට් 300ක LNG (Liquefied Natural Gas) බලාගාරයක් ඉදි කෙරෙමින් පවතී. එයත් යුගදනවි බලාගාරයටම අයත් කොටසකි. ඒ දෙකේ ධාරිතාවල එකතුව මෙගාවොට් 600කි.
2025 වන විට මෙම බලාගාර පද්ධතිය මෙ.වො. 1000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සැලසුම් අනුව කෙරවලපිටිය යුගදනවි බලාගාරය
ලංකාවේ විශාලතම බලාගාරය වනු ඇත. ඇමෙරිකානු සමාගමට පවරා දීමට සැලසුම් කරන්නේ එවැනි විශාලතම බලාගාරයක අයිතියෙන් 40%කි. විදුලිබල මණ්ඩලය සමඟ ඇති ගිවිසුම් අනුව 2035 වර්ෂය වන විට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන යුගදනවි බලාගාරය මුළුමනින්ම විදුලිබල මණ්ඩලයට අයිති වීමට නියමිතව තිබුණි. දැන් සිදුවීමට යන්නේ දේශප්‍රේමීන් නමින් තමන් විසින් තමන්වම නම් කරගත් ඇමෙරිකානුවන්ගෙන්
සමන්විත ආණ්ඩුවක ද්විත්ව පුරවැසි ඇමතිවරයා මෙරට සුවිශාලම බලාගාරය ඇමෙරිකානුවන් අතට පත් කිරීමයි.

ටෙන්ඩර් නැතිවම තව ‘බෝනස්’

මේ බලාගාරය සඳහා ගෑස් නළ පද්ධතියක් ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදු කරනු ලැබ තිබුණි. මේ සඳහා වන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණයක් (Floating Gas Storage Complex) වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබුණි. ඒ මේ වසරේ මුල් භාගයේදීය. එම ටෙන්ඩරය අවසන් කළේ පසුගිය ජුනි 25වැනිදාය. ඒ ටෙන්ඩරය වෙනුවෙන් වෙනම කාර්යාලයක් ආරම්භ කර වෙනම කාර්ය මණ්ඩලයක් පවා බඳවා ගනු ලැබිණි. මෙය ජාත්‍යන්තර ටෙන්ඩරයක් මෙන්ම අපේ රටේ වැදගත් ඉදිකිරීමක් බව පැවසිණි.
යෝජිත ටෙන්ඩර් කැඳවූ ව්‍යාපෘතිය කෙරවලපිටිය බලාගාරය මෙන්ම මෙරට සියලු ගෑස් බලාගාර වෙනුවෙන් ගෑස් සැපයීම භාරවෙන ව්‍යාපෘතියයි. ආණ්ඩුව සියලු ඩීසල් බලාගාර, LNG ස්වාභාවික ගෑස් බලාගාර බවට පරිවර්තනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි. ජාත්‍යන්තර ටෙන්ඩරය කැඳවා තිබුණේ ඒ සඳහා අවශ්‍ය වන නළ පද්ධතිය ඉදිකිරීම වෙනුවෙනි. එම ටෙන්ඩරය අවසන් කර තිබියදී කෙරවලපිටිය ඉදිකිරීම් ලබා දෙන ඇමෙරිකානු ෆෝට්ට්‍රස් සමාගමටම එම ඉදිකිරීම් දෙකද ලබා දීමට ඉහත කැබිනට් පත්‍රිකාව මඟින් කටයුතු කර තිබේ.
මේ සඳහා අවශ්‍ය වන ගෑස් මාසිකව හෝ වාර්ෂිකව ටෙන්ඩර් මඟින් ලබා ගත යුතුව තිබුණත්, එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05ක කාලයකට මෙම ඇමෙරිකානු සමාගම වෙතට ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබේ. ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධති ඉදිකිරීම ද මෙම සමාගමටම ලබා දී තිබේ. ඒ සියල්ලත් සමඟම කෙරවලපිටිය බලාගාරයේ 40%ක කොටස් ද ඊට ලබා දී ඇත.

විදුලි ඇමතිත් අඳුරේ!

සඳුදා කැබිනට් මණ්ඩලය රැස්වන්නේ නම්, අවම වශයෙන් සිකුරාදා වන විටවත් ඇමතිවරුන් අතට කැබිනට් පත්‍රිකා ලැබීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් මේ කැබිනට් පත්‍රිකාව එසේ ලැබුණේ නැත. ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයට යන විට මේ කැබිනට් පත්‍රිකාව අතිරේක පත්‍රිකාවක් ලෙස ඒ අයගේ මේසය මත තබා තිබුණි. මේ ව්‍යාපෘතිය අයත් වන්නේ විදුලිබල විෂයයටය. ඩලස් අලහප්පෙරුම ඒ විෂයභාර අමාත්‍යවරයාය. ඒත් බොහෝ දෙනා විශ්වාසයෙන් යුතුව කියන්නේ, මෙවැනි කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත් වන බව ඔහු දැන නොසිටි බවයි. ඕනෑම කැබිනට් පත්‍රිකාවකට, විශේෂයෙන් ඒ විෂයයට අදාළ අමාත්‍යවරුන්ට ඊට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබේ. මෙය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ කැබිනට් පත්‍රිකාවක් නිසා විදුලිබල අමාත්‍යවරයාටත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාටත් නිරීක්ෂණ ලබා දීම සඳහා කාලයක් ඉල්ලා තිබුණි. එහෙත්, ඒ මොහොතේම ඔවුන්ට නිරීක්ෂණ ලබා දෙන ලෙස කියා තිබෙන බව වාර්තා විය. ඔවුන් නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබුවත්, ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවම සංශෝධනයකින් තොරවම අනුමත කරනු ලැබ තිබේ.

‘අයියා මල්ලී වාගේ’

මෙම ‘විකිණීමේ කැබිනට් පත්‍රිකාව’ සකස් කරන අවස්ථාවේ මෙරට මුදල් ඇමැතිවරයා වූයේ මහින්ද රාජපක්ෂය. එහෙත්, එය ඉදිරිපත් කරන අවස්ථාවේ මෙරට මුදල් ඇමැතිවරයා ඇමෙරිකානු පුරවසිභාවයත් සහිත ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂය. මේ විකුණා දමන්නේ මෙරට ආර්ථිකයේ ශක්තිමත්ම කොටසකි. මෙරට බලශක්ති ආරක්ෂාවේ කොටසකි. ඒවා පුළුල් විධිමත් පර්යේෂණාත්මක සාකච්ඡාවකින් තොරව ඇමෙරිකානු සමාගමට ලබා දී තිබේ.
2025 වන විට මෙරට විශාලතම බලාගාරය, වසර 05ක් යන තුරු ගෑස් සැපයුම, ගබඩා සංකීර්ණය හා නළ පද්ධතිය ඇමෙරිකානු සමාගම සතු වෙයි. රටේ මුළු බලශක්තිය මෙරට තාවකාලිකව පදිංචි වී සිටින ද්විත්ව පුරවැසි- ඇමෙරිකානු රටවැසි අමාත්‍යවරයෙකු විසින් ඇමෙරිකාවට පාවා දී තිබේ. මේ ඇමෙරිකානු පුරවැසියන් ජනාධිපති පුටුවල වාඩි වූයේත්, දැන් කඩිමුඩියේ පැමිණ මුදල් අමාත්‍ය ධුර භාර ගන්නේත් රටේ ජාතික සම්පත් ඇමෙරිකානු සමාගම් වෙත පවරා දීමට තිබූ යටි සැලසුම් අනුවද යන සාධාරණ සැකය බැහැර කළ නොහැක්කකි.
රටක බලශක්ති ක්ෂේත්‍රය කවර හෝ වෙනත් රටකට හිමි වනවා යන්නෙහි තේරුම ඒ රටේ ආර්ථිකයත්, ආරක්ෂාවත් බලශක්තිය අයත් රටට හිමි වන බවයි. එය ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන්නකි.

දේශප්‍රේමීන් කෝ?

මේ ආණ්ඩුව බිහි කිරීමේ දී තරමට දේශප්‍රේමීත්වය, ජාතික ආරක්ෂාව තොරොම්බල් කළ ආකාරයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් වෙන කවදාවකවත් තිබුණේ නැත. ඒ බොහෝ තොරොම්බල්කරුවන් දැන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුය. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකානු සමාගම් වෙත පවරා දීම සඳහා ඇමෙරිකානු පුරවැසි මුදල් ඇමැතිවරයා ගන්නා මේ උත්සාහය පිළිබඳව ඔවුන් සම්පූර්ණයෙන්ම නිහඬය.
මේ ‘දේශප්‍රේමී’ පාලකයන් කණ්ඩායම මේ මොහොත වන විට මේ රට ලෝක භූ දේශපාලන පොරපිටියේ ගැටුම්වලට මුහුණ දෙන මධ්‍යස්ථානයක් බවට පත් කර හමාරය. කොළඹ වරායේ බටහිර පර්යන්තය සහමුලින්ම ඉන්දියාවට පවරා දෙන ලදී. ඒ මදිවාට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සහ වරාය ඉන්දියාවටම දෙන්න දතකති. පලාලි ගුවන්තොටුපළත් ඊටම අමුණන්න මාන බලති. අනාගත පාලන බලය අයත් වන්නේ බලශක්ති පාලනය කරන්නා හට බව දැන දැනම කෙරවලපිටිය හරහා බලශක්ති පාලනය ඇමෙරිකාව අතට පත් කරති. හම්බන්තොට වරායේ සිට කොළඹ පෝර්ට් සිටි දක්වාත් තව බොහෝ දේත් චීනය අතට පත් කරති. චීන පිරිපහදුවක් ඉදිකිරීම වෙනුවෙන්, තෙල් ගෙන්වීම, පිරිපහදුව, බෙදාහැරීම පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාව සතු ඒකාධිකාරය අහෝසි කිරීම සඳහා ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීමට පිඹුරුපත් සකසති. මුතුරාජවෙල අක්කර 109ක් ගොඩ කර චීන ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලැසුම් කරමින් සිටිති. මෙය නම් එසේ මෙසේ දේශප්‍රේමයක් නොවේ.

ඇරඹුණා පමණයි!

යුගදනවි බලාගාරය පිළිබඳ මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කර ගත් දිනට දෙදිනකට පසු gasworld නම් වූ වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් New Fortress Energy හි ප්‍රධාන විධායක නිලධාරී Wes Edens පවසා තිබුණේ “ශ්‍රී ලංකාවේ පළමු LNG පර්යන්තය සඳහා කරන මෙම ආයෝජනය මඟින් රටේ පිරිසිදු බලශක්ති නිපැයුම ඉදිරියට ගෙන යන අතර මෙම ශක්තිමත් ආර්ථිකය සඳහා තිරසාර සංවර්ධනයට සහාය වෙනවා. රටේ විදුලිය හා යටිතල පහසුකම් සඳහා කෙරෙන ආයෝජන ගණනාවක් ඇති වන බවට අප සිතන පළමු අවස්ථාව මෙයයි” යනුවෙනි.
මේ විකුණා දැමීම්, පවරා දීම්, උකස් කිරීම් සඳහා වන එක් ගිවිසුමක් හෝ විධිමත්ව විවෘතව පාර්ලිමේන්තුවට ගෙනාවේ නැත. මේ ජාතික සම්පත් විකිණීම ගැන කිසිදු සාකච්ඡාවක් සිදු වූයේද නැත. කැබිනට් මණ්ඩලයෙන් පසුව පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී මෙවැනි කැබිනට් පත්‍රිකාවක් අනුමත කරන ලද බව ප්‍රකාශ වූයේද නැත. එවැනි ගිවිසුමක් අත්සන් කරන ලද බව කිසිවෙක් නොදනිති. ඒ අර්ථයෙන් මේ අය නොකියා කියන්නේ, මේ රට සතු දේපළ එක පවුලක බූදලයක් බව ද?.

Leave A Reply

Your email address will not be published.

4 × two =