මාර්ගගත (Online) අධ්‍යාපනයේ අර්බුදය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ සම අධ්‍යාපන අවස්ථා (Equal Educational Opportunities) ගිලිහී යාමේ ඛේදවාචකයට නිදහසින් පසු කිසිදු ආණ්ඩුවක් තිරසර විසැඳුමක් නොදුන් බව නොරහසකි. මානව සහ භෞතික සම්පත් අතින් නගර කේන්ද්‍රයෙන් පරිධියට යත්ම වර්ධනය වූ බරපතළ විෂමතා දරුවන් හට හිරු එළිය මෙන් වර්ෂාව මෙන් ලැබිය යුතු වූ එම අධ්‍යාපන අවස්ථා සාහසික ලෙස උදුරා ගනු ලැබූ අතර, දරිද්‍රතාවට බද්ධව වාර්ෂිකව ගිලිහුණ (Dropout) ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ නිසි අවධානයක් මෙතෙක් යොමු වී නැත.
සම්පත් බහුල නාගරික පාසල් උදෙසා අධික ඉල්ලුමක් ඇති වීමත්, ඒවාට ඇතුළත් කිරීමේ 5 වසර ශිෂ්‍යත්වය ඇති කළ උග්‍ර තරගය දරුවන් මානසික රෝගීන් බවට පත් කරවනසුලු දරුණු ව්‍යසනයක් බවට පත් වීම ද මේ විෂමතා විසින් බිහි කරන ලද ප්‍රතිඵල ය. විටින් විට ‘ළඟ ම පාසල හොඳ ම පාසල’ වැනි විකට ප්‍රචාරක වැඩ වෙනුවට අධ්‍යාපනයේ ගැටලු හරියාකාර අවබෝධයකින් සැකැසුණු විධිමත් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වී නැත.
තත්ත්වය මෙසේ පවතිද්දී, කොවිඩ්-19 ඇසුරින් පාසල් යා නොහැකි වූ දරුවන් හට අධ්‍යාපනය උදෙසා එක ම විසැඳුම මාර්ගගත (Online) අධ්‍යාපනය බවට පත් කොට ඒ ඔස්සේ මතු වන ගැටලු කෙරෙහි මෙතෙක් කිසිදු සාධනීය අවධානයක් අධ්‍යාපන බලධාරීන්ගෙන් යොමු නොවීමෙන් තත්ත්වය තවත් භයානක හායනයක් කරා තල්ලු කෙරෙමින් තිබේ.
1. බහුතරයක් සිසු සිසුවියන්ට මාර්ගගත (Online) අධ්‍යාපනය සඳහා ලැප්ටොප් හෝ ජංගම දුරකථන නොමැති වීම.
2. ඒ පහසුකම් සපයා ගැනීම සඳහා මුදල් නොමැතිකම.
3. අසීරුවෙන් ඉහත කරුණු දෙක සපයා ගත්ත ද සංඥා (Signal) නොමැති වීම.
4. දරුවන් හට මුහුණ දීමට සිදු වන කායික සහ මානසික සෞඛ්‍ය ගැටලු මෙන් ම ගුරු වෘත්තිකයන් මුහුණ දෙන ගැටලු ද නිසි අවධානයට යොමු නොවීම.
වසංගතය පාලනය උදෙසා ප්‍රමුඛතාව නොදීමෙන් උග්‍ර වූ තත්ත්වය හමුවේ දෛනික ආදායම අහිමි වූ දෙමවුපියන් හට මේවාට මුදල් සපයා ගැනීම කවර තරමේ අභියෝගයක් ද යන්න බලධාරීන්ගේ අවධානයේ නැත.
සංඥා (Signal) නොමැති වීම නිසා කිලෝමීටර් ගණන් රාත්‍රියේ පවා දුරබැහැර යාමට සිදු වීම. (අලි ගම් වැදෙන ප්‍රදේශවල පවා) ඇතැම් විට ගස්වල අට්ටාලවලට
නැඟීමට සිදු වීම ආදී දැවෙන ප්‍රශ්න කෙරෙහි බලධාරීහු අන්ධව සිටිති.
නාගරික ප්‍රදේශවල පවා සිසු සිසුවියන්ගේ ‘ඔන්ලයින්’ සහභාගීත්වය සියයට 30-40ක් ඉක්මවන්නේ කලාතුරකින් බව ගුරුවරු කියති. අතිශය දුෂ්කර ප්‍රදේශවල තත්ත්වය සිතා ගත නොහැකි තරම් ය. ගිලිහෙන්නන්ගේ (Dropouts) තත්ත්වය ගැන බලධාරීන්ගේ අවධානයක් නැත. මේ යටතේ විභාග පැවැත්වීම කවර තරමේ අසාධාරණයක් උද්ගත කරනු ඇද්ද?
මාර්ගගත (Online) අධ්‍යාපනයේ දී සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදු වන කායික හා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙන් ම අධ්‍යාපනඥයන්ගේ ද මත නිසි ලෙස අවධානයට මෙතෙක් යොමු කොට ඇත් ද? දෘෂ්ටි ආබාධවල සිට ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැටලු රාශියක් ‘ඔන්ලයින්’ හරහා උද්ගත විය හැකි බව වෛද්‍ය මතය වුවත්, ඒ ගැන ද බලධාරීන්ගේ තැකීමක් නැත.
ඔන්ලයින් වෙනුවට පෙරවරුවේ රූපවාහිනී චැනල කිහිපයක් ඒ ඒ මාධ්‍ය උදෙසා වෙන් කොට සැමට අධ්‍යාපනය උදෙසා පොදු විසැඳුමකට ඒමට දැන්වත් අධ්‍යාපන බලධාරීන් සූදානම් විය යුතු වන්නේ අවිධිමත් පාලනය වසංගතය තව දිගු කලක් ඉදිරියට ද පවත්වා ගනු ඇති බැවිනි.
ඔන්ලයින් වෙනුවට රූපවාහිනී චැනල මඟින් අධ්‍යාපනය ලබා දීම ගැටලුවට පූර්ණ විසැඳුමක් නොවූව ද, යම් තාක් දුරකට සහනයක් හා ඵලදායීතාවක් ශිෂ්‍ය ප්‍රජාවට අත්පත් වනු ඇත.
– කීර්ති වැලිසරගේ

Leave A Reply

Your email address will not be published.

17 − five =