විවාහයට ඇත්ත හේතුව කළුවරට බයවීමද? කසුන් සමරතුංගගේ කෙටිකතා

දැන් දැන් කෙටිකතා ලියන තරුණ අය තමන්ගෙ ජීවිතවල සහ පරම්පරාවේ පැවැත්ම පිළිබඳ ක්ෂුද්‍ර ගැටලු හරිම ආකර්ෂණීය විධියට අල්ලන අවස්ථා තියෙනවා. විශේෂයෙන් ක්ෂුද්‍ර ප්‍රබන්ධමය ලක්ෂණ සහිත කෙටිම කෙටිකතාවලදි මේ දක්ෂකම නිතර දකින්න පුළුවන්. තමන්ගෙ පරම්පරාවෙ පැවැත්ම පිළිබඳ ඒ ගැටලු අවංකව අල්ලගන්න තැත් කරන එක ලේඛකයො කරන්න ඕනෙ. ඒක තමයි දැන් සම්භාව්‍ය කෙටිකතා (වෙනත් සාහිත්‍ය කෘති) හැටියට සැලකෙන ලේඛකයො කරල තියෙන්නෙ. ඉබ්සන් සෙල්ලම් ගෙයින් කළේ ඒ කාලෙ යුරෝපයෙ මිනිස්සු විවාහ ජීවිත ගත කරපු හැටි හරිද වැරදිද කියන ප්‍රශ්නෙ ගවේෂණය කරපු එක. චෙකෝෆ්ගෙ කතාවල තියෙන්නෙ ඒ කාලෙ මිනිස්සු ජීවත්වුණු විධියෙ තිබුණු සුවිශේෂ ප්‍රශ්න පරිස්සමට ගවේෂණය කිරීම. එතනින් පටන් අරන් තමයි එව්වට සාපේක්ෂ සර්වකාලීනත්වයක් එන්නෙ. සාපේක්ෂ සර්වකාලීනත්වයක්. ඒකයි මගෙ යෙදුම. චෙකොෆ්ගෙ ඇතැම් කතා ඒ සාපේක්ෂ සර්වකාලීනත්වයත් ඇති කරගන්න අසමත් වුණා. ඒකට එක හේතුව අදාළ සමකාලීනත්වය ඒ කතාවලට හරියට අහුනොවීමද කියන හොයල බලන්න වටිනවා.

“කළුවරට බය කාමරේ ඇතුළෙ ” කසුන් සමරතුංගගෙ පළමු කෙටිකතා පොත. මේ ඊයෙ පෙරේදා පළ වුණේ. උණු උණුවෙම කියෙව්වා. ගොඩගේ අත්පිටපත් තරගෙ අවසන් වටේට ආපු එකක්. දිනපු එක නෙමේ. මේක මෙහෙම නම් දිනපු එක කොච්චර ඉහළ ඇද්ද කියල හිතෙනවා, කතා ටික කියවද්දි.

ඔහු අර මම කියපු විදියට තමන්ගෙ පරම්පරාවෙ ජීවිතේ බය නැතුව ගවේෂණය කරනවා. ඒ වැඩේ අපූරු කතා රිද්මයක්, කතා විලාසයක් අල්ල ගන්නවා.

“ඉස්සර ගියපු පස්සෙ සීට් එක” කියන කතාවෙදි අල්ලන්නෙ අමුතු අත්දැකීමක්. පෙම්වතියද යෙහෙළියකද කියල හරියටම කියන්න බැරි ආදරසම්බන්ධයක්ද නොවන ස්ත්‍රී– පුරුෂ සම්බන්ධයක් මේ කතාවෙ තියෙනවා. එවැනි සම්බන්ධ ගැන කතා අඩුයි. කෙල්ලෙක් කොල්ලෙක් යාළුවුණ ගමන් විවාහෙක, වෙඩින් එකක, රස්සාවක, මහගෙවල් දෙකක, හදන්නට නියමිත ගේක, ළමයි යවන ඉස්කෝලවල බරින් හා පීඩනයෙන්අර මනුෂ්‍ය සම්බන්ධයේ ක්ෂණභංගුර මිහිර පවා නැති වෙනවා. මේ කතාවෙ එහෙම සම්බන්ධයක් නෙමෙයි තියෙන්නෙ. ඒක අපේ භාෂාවෙ නමක් නැති බැඳීමක්. විවාහයක් නෙමෙයි. ප්‍රේම සම්බන්ධයක් නෙමෙයි. යාළුකමක් නෙමෙයි. ඒත් ආදරයත්, ලිංගික කටයුතුත්, භාවික බැඳීමකුත් තියෙන, ඒත් නැතිව ගියාට පස්සෙ දුකකුත් සම්බන්ධයක්.

මේ පොතේ කතාවල ඒ වගේ සම්බන්ධතා පිළිබඳ තේමාව ප්‍රබලයි. ඒක එක්තරා පරම්පරාවක ජීවන රිද්මය අල්ල ගන්නවා වගේ පේන්නෙ ඒකයි.

“කළුවරට බය කාමරේ ඇතුළෙ” කියන්නෙ අපූරු කතාවක්. ඒකෙ කොල්ලෙක් ඉන්නවා. මිනිහ කසාද බඳින්නෙ තනියම කළුවරේ නිදාගන්න බය හින්දා විතරයි. එයා බඳින්නෙ දෙමාපියන්ට ඕනෙ නිසා බඳින්න වුණ කෙල්ලක්ව.

දෙන්නා බඳිනවා. ඇඳ මැදින් කොට්ට පේළියත් තියලා නිදාගන්නවා. කෙල්ල රෑ තිස්සෙ පොත් කියවනවා. කොල්ල බය නැතුව නිදාගන්නවා. මෙහෙම කාලෙයක් යද්දි අහම්බෙන් වගේ දෙන්නට කායික උණුසුම, ලිංගිකත්වය ආදිය හම්බ වෙනවා. කොච්චර පරිස්සම් වුණත් දරුවෙකුත් හම්බ වෙනවා. මේක ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ගැන එක්තරා උපමා කතාවක් වගේ. කසාද බඳින්න අකමැති කුස, ලිංගික ප්‍රීතිය තමන්ටම පමණක් ලැබිය යුතු ධනයක් කියල හිතපු අසනග, නාඳුනන ප්‍රීති වස්තුවක් සේ ස්ත්‍රී නිමිත්ත හඳුනා ගන්න නලිනි ජාතිකයේ තාපස තරුණයා ආදීන් අපිට ඈතින් මතක් වෙනවා. කෙළින්ම නෙමේ. ඈතින් දෝංකාරයකින් වගේ. මේ කතාව ඉතා සිත්ගන්නා උපමා කතාමය ලක්ෂණයක් තියෙනවා.

මේ කතාවල ඇතැම් තැන්වල සියුම් පරිකල්පන ශක්තියක ලක්ෂණ තියෙනවා. කළුපාට දේදුන්න උඩ වාඩි වෙච්චි ‘ආදර වස්තු’ කෙල්ල විචිත්‍ර පරිකල්පනයක ලක්ෂණයක් . රුවන් බන්දුජීවමය පරිකල්පනයක් කෙටිකතාවට ගෙනාව වගේ.

අලුත් කෙටිකතාකාරයො තමන්ගෙ පරම්පරාවෙ අර කියපු පැවැත්මේ ගැටලු ඇල්ලුවත්. කෙටිකතාව කියන පඨිතය ගොඩනගද්දි ඒ තුළ සිට අදාළ විෂය පිළිබඳ කරන භාවනාවට තවත් දේවල් ගෙන්න පුළුවන්. එතකොට ඒක කෙටිකතාවක් වුණත් පෘථුල පඨිතයක් වෙනවා. අනික අලුත් රචකයො හුඟක් කෙටි ක්ෂුද්‍ර ප්‍රබන්ධමය කෙටිකතාවට වැඩි කැමැත්තක් දක්වනවා. මේ පොතේ කතා අටක් තියෙනවා. පිටු 64යි.

එහෙම ලියන අය ඉන්න එක හොඳයි. නමුත් කෙටිකතාව නමැති ශානරය තුළ විශාල සමාජ-මනෝමය කලාපයක් ගවේෂණය කරන, තරමක් දිගට කතාවක් කියන කතාවක් ඇුතුළ පාඨකයාව අල්ලගෙන ඉන්න කතා විශේෂයක් ගැන තරුණ රචකයො හිතන්න ඕනෙ.

මේ කතා පොතේ එන්නාක් වැනි අත්දැකීම් තරමක් දීර්ඝ කතා කලාවක් ඇතුළෙ ගවේෂණය කරන කතා විධියක් වෙඩිවර්ධනගේ දුස්ටකමේ සෞන්දර්ය පොතේ සමස්තයක් වශයෙනුත්, සුදර්ශන සමරවීරගේ සුනෙත්කාන්තගේ ශෝකාන්තය පොතේ ඇතැම් කතාවලත් තිබුණා මතකයි.

කසුන්ගෙ කෙටිකතා මං ආසාවෙන් කියෙව්වා. සමහර කතා අපූරුයි. ඒත් මේ වගේ දක්ෂ ලේඛකයො තව ටිකක් වෙලාව අරන් කතාව ඇතුළෙ කරන පඨිතමය භාවනාව තව ටිකක් බරට කරනවා දකින්න මම ආසයි. මේ පොතට පෙරවදනක් ලියන මංජුල වෙඩිවර්ධන කුන්දේරාගෙ හිච් හයිකිං ගේම් ගැන ලියනවා. ඒ කතාව වුණත් පිටු විස්සකට වැඩිය දිගයි.

ආදරේ නිසා කළ යුතු දේවල් නොකරන, ආදරේ සහිතව කළ යුතු දේවල් ආදරේ රහිතව කරන, ආදරේ තිබිය යුත්තෙ මේ මේ තැන්වල යැයි සම්මත රාමුවලම පමණක් ආදරේ හොයන, ආදරේ රකින සමාජයක ජීවත්වීම යනු ක-ුමක්ද කියා ගවේෂණ කරන ස්වභාවයක් මේ කතාවල තියෙනවා. ඒක තව හුඟක් ගැඹුරට සහ හරහට කැණිය යුතු තේමාත්මක නිධියක්.
– ලියනගේ අමරකීර්ති (amarakeerthi.blogspot.com)

Leave A Reply

Your email address will not be published.

8 + 1 =