ආයුබොවන්ඩ ජොනී,

ආණ්ඩු පක්සයේ ප්‍රධාන සංවිධායකයා හැටියට මුන්නැහැගේ කරට අලුත් රාජකාරි ගොන්නක්ම පැටවිලා තියෙන බව පේනවා. ඕනෑවට වැඩි බරක් කරට වැටුණහම ගව පෝතකයෙක් වුණත් වියගහෙන් පිට පනින්න ට්‍රයි කරන හැටි අපි දැකල තියෙනවා. මේ දවස්වල ජොනී ලොක්කා තැන් තැන්වල කොරන ප්‍රකාසොනවලට සවන් දෙන කොට අපිට ඔහේ ගැන අනේ අපොයි කියලත් හිතෙනවා. ඇත්තටම පරම්පරාවෙන් උරුම වෙච්ච බිස්නොස් එක වැඩිදියුණු කොරගෙන වතු-පිටි, හරකබාන රැක බලාගෙන උන්න නං ජොනී ගොයියගෙ මොළේ මෙහෙම කචල් වෙන්නෙ නැහැ කියලයි ඔහෙලගේ පැටිකිරිය දන්න ඇත්තන් නං කියන්නෙ.

තමුන්නැහැ ඔය වගේ පුල් කිට්ටෙකක්  ගහගෙන රාජ සබාවෙ නානාපොරකාර කස්තිරං අල්ලන්නේ කැබිනෙට්ටුවේ  ඉන්න ටයිකෝට් සඟිස්කුරුතියේ ඒජන්තලා වෙන ජීඇල්ලා, අලි සබ්රිලා බාල්දු කොරන්ඩය කියල පැතිරෙන කතාවේ ඇත්තක් තියෙනව ද ආයිබොවන්ඩ ? එහෙම බැලුවොත්, කුරුණෑගල පුරාණ රාජ සබා මණ්ඩපේ ෆ්ලැට් කොරල දාපු නගරාදිපතියගේ මයිල් ගහේ කතාව ඔහේ දොඩන්ඩ ඇත්තෙත් අනවසර බූමියක ඒ කාලේ ඕක හැදුවය කියන බුවනෙකබා රජ්ජුරුවන්ට හොඳ පාඩමක් උගන්නන්ඩ වෙන්ඩැති නේද ජොනී?

තමුන්නැහැට විසේස ඉස්තූතියක් කොරන්ඩත් එක්කයි ආයිබොවන්ඩ මේ වංගියෙ ලියුං පයිංඩයක් එවන්ඩ කල්පනා කොළේ. ඔහේගේ මසුරං කියුං-කෙරුං වගේම නැටුම්-ගැයුම් දියවන්නා මන්දිරේට විතරක් සීමා නොකර හුදි ජන පාන් සංවේගය පිණිස මහා මාර්ග දිගට ප්‍රොදරස්නේ කොරන්ඩ ඉදිරිපත් වීම ගැන අපි හරිම තන්සෝසයි. පහුණු දොහක කියපු කාක් පිහාටුවේ කතාවට නං ඔහේගේ කටට එතනෝල් නැවක්ම වුණත් රිංගවන්ඩ වටිනවා ජොනී. හැබැයි පුංචි පලහිලව්වකට තියෙන්නේ මුන්නැහැට මේ දවස්වල බය කොරගන්ඩ අවස්සිය කාවද කියලා තේරුං-බේරුං ඇතිව නොකියපු එකයි. බාගෙ වෙලාවට මේ දවස්වල වලි ඇදගෙන ඉන්න විමලෙලා, ගම්මන්ලා ඉලක්ක කොරගෙන කිව්වා වෙන්ඩත් බැරි නැහැ නේ ද? එහෙමත් නැත්නං අද යනවා, හෙට යනවා කිය කියා වැල් බයිලා කිය කියා ඉන්න සිරිලංකාකාරයන්ව මට්ටු කොරන්ඩ හිතාගෙන ගහපු පුස් බෝම්බයක් ද කියලත් හිතන්ඩ ඇහැකියි.

ඊයෙ පෙරේදා කැලණි ආකාස පාලම පූට්ටු කොරන්ඩ ගිය වෙලාවෙත් ජොනී තවත් ටොප් ලෙවෙල් ටෝකක් දෙසාබාලා තිබුණා මතකයි. උද්ගෝසනවලට පාරට එන්නේ බුද්දිමත් එවුන් නෙමේ ය කියන ඒ රත්තරං වාක්කිය නං ටක්කෙටම බැසිල් ලොක්කා පුම්බන්ඩ පාරවල්වලට බැහැලා දඟලපු කස්ටියට දිපු කනේ ෂොට් එකක්ම තමා. අනිත් අතට මහාමාර්ග බාර මහා ඇමතියා හැටියට එහෙම කතාවක් කියන්ඩ ඔහේට සම්පූර්ණ අයිතියකුත් තියෙනවා නොවැ. අපිත් බලාගෙනයි හිටියේ ජොනී ඒ කස්ටිය පාරවල් හරස් කොරගෙන අලිඩොං පත්තු කොර කොර කැවුං-කිරිබත් කාපු හැටි. පෝර ටිකක් ඉල්ලලා පාරට ආපු ගොයියොයි, කොතලාවල හදන්ඩ යන හමුදා විස්ස විද්දියාලෙට විරුද්දව කෑකෝ ගහපු කම්කරු-සිසු නායකයොයි ඇදගෙන ගිහින් කොරොන්ටයින් කොළ විදිහටම බැසිල්ට හුළං ගහන්ඩ ආපු කස්ටියටත් අච්චු කොරපියව් කියලා කියා ගන්ඩ ජොනීට ඇහැක් නොවුණ එක තමා පොඩි පලහිලව්වකට තියෙන්නෙ.

ආයෙ දෙකක් නැහැ ජොනී තමුන්නැහැ සීන් එකට ඇන්ටර් වෙලා තියෙන්නෙ නං ටොපේ-ටොප් නැකතකටම තමා. ඔක්කොටම වඩා හොඳට කොරන්ඩ ආපු සෑර් වගේම සෑර්ගේ පිති හරඹකාරයෝ සැට්ටෙකම පේල් වේගෙන යන හැටි පේනවනෙ. අන්තිම පිතිකරුවා හැටියට ඇවිත් ඉන්න බැසිල්වත් දුස්රා පන්දුවක් දාලා අවුට් කොර ගත්ත නං ජොනීගෙ හතර වරිගෙත් එක්කම ජොනිත් ගොඩේ-ගොඩ●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

sixteen − 1 =