ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී එන පැරැණි රැවටිල්ල…

පවතින ආණ්ඩුවේ මධුසමය මඟුලටත් කලින්ම අවසන් විය. දැන් දැන් කිරිබත් කන්නේ ගමේ මන්ත්‍රීලා සහ හෙන්චයියන් පමණි. කොරෝනාවලින් ආණ්ඩුවේ සියලු බැරිකම් වසාගන්නට ගිය ද, සියලු සළු ලිහී යමින් තිබේ. ජනතාව අතුරින් පැනනඟින අරගල අපමණ ය. ආණ්ඩුවේ අමනකම් විසින් කැඳවා ගන්නා ලද වර්ජන සහ උද්ඝෝෂණ ද නිමක් නැත. ජනතාව සහ සැබෑ ජනතා අරගල එසේ වර්ධනය වෙද්දී ‘සිස්ටම් චේන්ජ්’ නම් ජනප්‍රිය වචනය කණපිට හරවමින්, මුහුණු මාරු කරමින් ජනතාව එපා කියා ප්‍රතික්ෂේප කළ ඇත්තෝම යළි බලයට එන්නට බොරදියේ මාළු බාන්නට කැස කවති.

රාජපක්ෂ පාලනය රටට විනයක් නම් එයට පාර කැපුණේ සජිත්, රනිල්, මෛත්‍රී එක්ව පාලනය ගෙන ගිය එජාපය සහ ශ්‍රීලනිප එක් වූ ඊනියා යහපාලනයේ අදූරදර්ශී, කුහක, බෙලි කපා ගන්නා භාවිතය නිසා ය. එම කැබිනෙට්ටුවේ, එම ආණ්ඩුවේ, පාර්ලිමේන්තු කණ්ඩායමේ වාඩි වූ සජිත් ඒ සියල්ලේ වගකිවයුත්තෙකි.

සජබ හෝ සජිත් යළි තිරිහන් කොට පවතින පාලනයට ආදේශකයක් ලෙස ගෙනෙන්නට දරන උත්සාහයන් දක්නට ලැබේ. මේ අවුරුදු හැත්තෑතුනක් අත්විඳි දේශපාලන තක්කඩිකමකි. එය රටට අලුත් දෙයක් නොවේ. සජබ එහි නායකයා ඇතුළුව යහපාලනයේ යහපත් දෙයක් වී නම්, එයට හිමි මුළු ලකුණම ඔවුන්ට ය. එහෙත්, මහ බැංකු කොල්ලය, අධ්‍යාපන පෞද්ගලිකකරණය වැනි එම පාලනයේ ජනතා ද්‍රෝහී ක්‍රියාවලට හිමි සෘණ ලකුණු ඔවුනට අයත් නැත. එය රනිල්ට ය. මේ දෙබිඩි පිළිවෙත රකිමින් ඔවුන් කැරැකවෙන්නේ නැවතත් බලය ගන්නට ය. නමින් වෙනස්, මුහුණින් වෙනස් එහෙත් ප්‍රතිපත්තියෙන් සමාන කවුරු පාලන බලය ගත්තත් යා හැක්කේ එකම පාරේ ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව සජිත් නෝ කතා ය. ඇමෙරිකාව, කෙරවලපිටියට අත දමා බලශක්ති බලය ඔවුන් අතට ගැනීමට දරන උත්සාහය එතරම් අවධානයට නොගනී. නව ලිබරල් ආර්ථිකයේ තමන්ගේ ප්‍රතිපත්ති හා නොගැටෙන ප්‍රශ්න පමණක් අල්ලයි. එහි දී ප්‍රජාතන්ත්‍රවාදය පමණක් අල්ලා කෑගසයි. ඔවුන් මර්දනයට එරෙහිවත්,  ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨවල එල්ලෙන්නේත් අනෙක් ප්‍රතිපත්ති සියල්ලම තමන්ගේ ප්‍රතිපත්තිම නිසාය.

වසර හැත්තෑතුනක මේ තට්ටුමාරු රැවටිල්ලට නිමාව තැබීම දැන් අත්‍යවශ්‍ය ය. එකම දේශපාලන ක්‍රමය තුළ වෙනස් දේශපාලන තක්කඩීන් ජනතා බලය ගසාකෑම නැවැත්විය යුතු ය. රාජපක්ෂ පාලනය රටට විනයක් නම් එයට පාර කැපුණේ සජිත්, රනිල්, මෛත්‍රී එක්ව පාලනය ගෙන ගිය එජාපය සහ ශ්‍රීලනිප එක් වූ ඊනියා යහපාලනයේ අදූරදර්ශී, කුහක, බෙලි කපා ගන්නා භාවිතය නිසා ය. එම කැබිනෙට්ටුවේ, එම ආණ්ඩුවේ, පාර්ලිමේන්තු කණ්ඩායමේ වාඩි වූ සජිත් ඒ සියල්ලේ වගකිවයුත්තෙකි.

සටන් කරන්නේ ජනතාව ය. තිබෙන ආණ්ඩු ප්‍රතික්ෂේප කරන්නේ ජනතාව ය. අරගල කරන්නේ ජනතාව සහ ජනතා සංවිධාන ය. ආණ්ඩු එළවෙන්නේ ඒවායේ බලපෑමෙනි. වසර හැත්තෑතුනක විපක්ෂයේ සිටි ධනපති කණ්ඩායම් පවතින ධනපති රජයන්ට ජනතාව තළන්නට, පෙළන්නට ඉඩහැර පිඹුරු නින්දේ නිඳති. ආණ්ඩු පෙරළියකට තත්ත්වයන් පෙළගැසෙන විට මෙම තක්කඩි ජනතාව විසි කළ ඔටුන්න කුණුකාණුවේ ගසාගෙන එනතුරු වතුර පහර වැටෙන කුණුවළ තුළට බැස කාණුවට ඔළුව අල්ලති.

අයිතීන් දිනාගැනීමට ජනතාව සටන් කළ යුතු ය. ජනතාව දිනා ගත් දෙය රැකගැනීමට සටන් කළ යුතු ය. ජනතාව තමන් පෙළන මේ අසාධාරණ සමාජ ක්‍රමය පෙරළා දමන්නට සටන් කළ යුතු ය. එසේ නොමැතිව පැරැණි රැවටිල්ල වෙනුවට නව රැවටිල්ලකට හසුවිය යුතු ද? රැවටිල්ල නිමා කළ හැක්කේ රැවටිල්ලට එරෙහි අරගලයකිනි. එනම් සංවිධානාත්මක ජනතාව තමන්ගේ පාලකයා තමන් වන සමාජ ක්‍රමයක් දක්වා බල හුවමාරුව ගෙන යා යුතු ය. නැති නම්, මේ පැනනඟින ස්වාධීන අරගල සියල්ල ද දේශපාලන තක්කඩින් විසින් පැහැර ගනු ඇත. යළි ඔවුන් ඉන් ඔටුනු පළඳා යළි ජනතාව පෙළනු ඇත. නැවත ජනතාවට අලුත් රැවටිල්ලක් සේ පැරැණි රැවටිල්ලම තෝරා ගන්නට වනු ඇත●

Leave A Reply

Your email address will not be published.

14 + three =