කොතලා‘වළ’ කැපූ කාලකණ්ණි…!

ගෝඨාභය නන්දසේන ජනාධිපති වුණාට පස්සෙ දහනව වැනි සංශෝධනය තමන්ට බාධාවක් යැයි කිව්වේ ය. ජනතාව බලාපොරොත්තු වූ දහසකුත් එකක් දේවල් කර ගන්න බැරි වෙන කොට දහනවය ඒකට බාධාවක් යැයි කිව්වේ ය. ඒ නිසා ම එය අහෝසි කරන්න ඕනෑ යැයි මතයක් සමාජගත කළේ ය. අන්තිමේ දී ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා එය අහෝසි කර ගත්තේ ය. තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදන්නේ යැයි කියපු නන්දසේන දහනවය අහෝසි කරන්න කිසිදු හිරිකිතයක්, ලජ්ජාවක් නැතිව හකීම්ගේ, රිෂාද්ගේ පක්‍ෂවල ඡන්ද ටික ගත්තේ ය. බැසිල් ඒ වෙනුවෙන් ම හකීම්ලාගේ ගෙදරට ගියේ ය. එහි දී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ටික ඉල්ලා පින්සෙණ්ඩු වුණේ ය. අන්තිමේ දී ජනවරමට පයින් ගහලා මුස්ලිම් ඡන්දවලින් විස්ස සම්මත කර ගත්තේ ය.

කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨය ආරම්භ වූයේ එක්දහස්නවසිය අසූඑකේ දී ය. ඒ ආරක්‍ෂක සේවාවන් හි නියුතු අය සඳහා උපාධි පිරිනැමීම වෙනුවෙන් ය. ආරක්‍ෂක සේවාවන් සඳහා තෝරා ගත් පිරිසෙන් යම් කොටසක් මේ සඳහා වෙනම ම බඳවා ගනු ලැබී ය. ඒ අය රජයේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා ද අනුයුක්ත කර තිබිණි. නන්දසේන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්ව සිටින කාලයේ මීට අදාළ පනත වෙනස් කරමින්, වෙනම ම විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කළේ ය. පළමු වතාවට මුදල් ගෙවා උපාධි ලබා දෙන ආයතනයක් ලෙස ස්ථාපනය කළේ ඒ අනුව ය. වෛද්‍ය උපාධිය ඇතුළුව තවත් උපාධි සහ ඩිප්ලෝමා මුදලට ලබා දෙන තත්ත්වයක් ඇති කළේ ය. ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පමණි. එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු එයට පක්‍ෂව ඡන්දය දුන්හ. මෙය වෙනම ම විශ්වවිද්‍යාලයක් බවට වෙනස් කළ එනම්, මේ වන විට ඉදිරිපත් කර ඇති පනත මුලින් ම ගෙනාවේ ද එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ය. ඒ දෙදහස් දහඅටේ අවුරුද්දේ ය. විශ්වවිද්‍යාල ආචායර්වරුන්ගේ සහ ගුරුවරුන්ගේත්, අනෙකුත් සංවිධානවලත් විරෝධය හමුවේ යූ.එන්.පී. ආණ්ඩුවට මෙය හකුළා ගන්නට සිදු වුණේ ය.

රටේ හොරකම, දූෂණය, වංචාව නීතිගත ක්‍රමවේදයක් බවට පත් කළේ ඔහුගේ වැඩවලින් ය. ඒ නිසා ම මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වුණේ ය. තවමත් ඒවා උසාවියේ විභාග වෙමින් පවතී. ‘දිවිනැඟුම’ හොරකම, මල්වානේ කුප්‍රකට නිවස, ඔරුතොට නිවස ආදී මූල්‍ය චෝදනා රාශියකි. රටේ ආර්ථිකය නැවත භාර දෙන්න යන්නේ එවැනි මූල්‍ය චෝදනා ඇති කෙනකුට ය. මෙතරම් මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට රට පත් වෙලා තියෙද් දී, නැවත හොරකමට, වංචාවට පාර කැපෙන්නේ ඔහුගේ පැමිණීමෙන්ය.

 

එදා යූ.එන්.පී.ය කරන්නට හදපු දේ අද කරන්නේ, වත්මන් ආණ්ඩුව ය. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම නවත්වනවා යැයි කියූ වත්මන් ආණ්ඩුව ය. දෙදහස් දහඅටේ යූ.එන්.පී.යට කර ගන්න බැරි වෙච්ච වැඩේ දැන් කරන්නට හදන්නේ යූ.එන්.පී. විරෝධී යැයි කියන මේ ආණ්ඩුව ය. එදා පනතේ හා අද පනතේ අඩංගුවේ හරයෙන් කිසිදු වෙනසක් සිදු වී නැත. ‘ජාතික’ යන වචනයක් පමණක් එකතු වී ඇත. මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත්තේ, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් රජයේ අනුග්‍රහයෙන් ම ආරම්භ කිරීම ය. ඉන් පසු රට පුරා එහි ශාඛා ඕනෑ තරම් ආරම්භ කිරීමේ හැකියාව ද තිබේ. ඒ වාගේ ම මෙය මුළුමනින් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් වියුක්ත ය. මෙය පාලනය වන්නේ නව දෙනකුගෙන් යුත් මණ්ඩලයක් මඟිනි. ඒ නවදෙනාගෙන්

හත්දෙනකු ම ආරක්‍ෂක අංශයේ නියුතු වූවන් ය. ඒ හරහා අධ්‍යාපනය මුළුමනින් ම ‘මිලිටරිකරණය’ කිරීමක් සිදු වේ. ආණ්ඩුව මේ කරන්න යන්නේ සාමාන්‍ය විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරනවා වෙනුවට හමුදාව ඉස්සරහට දාලා, ඒ මඟින් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරිම ය. සරලව ම කියන්නේ නම්, පෞද්ගලික උපාධි කඩ හමුදාව ඉස්සරහට දාලා ඇති කිරීම ය. මතුපිටින් කියන්න හදන්නේ, මෙය ආරක්‍ෂක සේනාවල අය සඳහා පමණක් ය යන්න ය. එහෙත්, පනතේ පැහැදිලිව ඇත්තේ, ‘වෙනත් යම් ඕනෑ ම තැනැත්තකුට’ උපාධි හෝ ඩිප්ලෝමා ලබා දීම ලෙසිනි.

මෙම පනත ගෙන එන්නේ ද අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නොවේ ය. මුළුමනින් ම ආරක්‍ෂක අමාත්‍යාංශය මඟින් ය. අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන හාංකවිසියක්වත් දන්නේ නැත. කොරෝනා මරණ බියේ මුළු රට ම වෙව්ලා ඇති වෙලාවක ආණ්ඩුව හොර රහසේ හදිසියේ ම සම්මත කර ගන්නට උත්සාහ දැරුවේ ය. පනත ඉදිරිපත් කළ මුල් අවස්ථාවල දී ම එයට එරෙහිව හඬ නැඟුව ද, කිසිවෙක් එය සැලැකිල්ලට ගත්තේ නැත. මාධ්‍ය පවා මේ ප්‍රශ්නය නිවැරැදිව සැලැකිල්ලට ගත්තේ නැත. ඒ නිසා ම මින් සිදු වන්නට යන විනාශ්‍ය රටේ ජනතාව හරිහැටියට අවබෝධ කර ගත්තේ ද නැත. කෙසේ හෝ පතත සම්මත කර ගන්නට උත්සාහ කළ පහුගිය අටවැනිදා රට පුරා විරෝධතාවන් මතු කළේ ය. ආණ්ඩුව මේ බව දැනගෙන ඊට පෙර දිනයේ සිට ‘උද්ඝෝෂණ තහනම් !’ යැයි නියෝගයක් ද ප්‍රකාශ කළේ ය. එය නොතකා වෙන්න යන විනාශයට එරෙහිව ජනතාව පාරට බැස්සහ. ආණ්ඩුවේ මර්දන හස්තය ක්‍රියාත්මක වුණේ මෙය මැඬපැවැත්වීමට ය. අන්තිම අමානුෂික, ම්ලේච්ඡ විදියට ආණ්ඩුවේ පොලිසිය ශිෂ්‍යයන්ට හා කාන්තාවන්ට පහර දුන්නේ ය. සමහර පොලිස් පිරිමි නිලධාරීන් කාන්තාවන්ගේ ලිංගික අවයව මිරිකමින් ඉතා කැත පහත් විදියට හැසිරෙනවා මුළු රට ම දැක්කේ ය. ආණ්ඩුවේ ම මන්ත්‍රීවරුන්ට එය හෙළාදකින්නට සිදු වූයේ මාධ්‍ය හරහා එහි රූපරාමු ප්‍රචාරය වීමත් සමඟ ය. අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ බොහෝ විරෝධතාකරුවන් ඇප මත නිදහස් කෙරිණි.

නිදහස් වුණු පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ කිරීමක් හෝ කිසිදු වෛද්‍ය අනුමැතියක් ලබා ගැනීමක් හෝ සිදු කර නැත. එවැන්නකට කිසිදු නෛතික හැකියාවක් නැත. සාමාන්‍යයෙන් යමකු නිරෝධායනයට යවන්නේ වෛද්‍ය සහතිකයක් මත ය. මේ වන විට රඳවා තබාගෙන සිටින අයගේ පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ඇත්තේ ය. ඔවුන් සියලු දෙනා ම නෙගටිව් වී ඇත. එසේ නම්, දැන් කළ යුත්තේ, වහා ම ඔවුන් නිදහස් කිරීම ය. එහෙත්, බලයෙන් හිස උදුම්මාගෙන ඇති ආණ්ඩුව බලහත්කාරය යොදවා ඔවුන් තවමත් රඳවාගෙන සිටියි. මින් අර්බුදය තව තවත් දික්ගැසී ඇත.

මේ වන විට දවසින් දවස රට පුරා උද්ඝෝෂණ උත්සන්න වෙමින් පවතී. මුළු රටේ ම ගුරු, විදුහලපතිවරු ඔන්ලයින් අධ්‍යාපන වැඩ නවත්වා ඇත. අවුරුදු එකහමාරක් තිස්සේ රටේ ගුරු මෑණිවරු, ගුරු පියවරු මෙය සිදු කළෝ, ස්වේච්ඡාවෙන්, තමන්ගේ පෞද්ගලික වියහියදමින් ය. රජය මඟින් එවැනි කිසිදු වැඩපිළිවෙළක් සකස් කළේ නැත. අදටත් එවැන්නක් නැත. ගුරුවරුන් එය කළත්, නොකළත් අනිවාර්ය රාජකාරීමය බැඳීමක් නැත. එහෙත්, දරුවන්ගේ අනාගතය ගැන අවංකව කල්පනා කළ ගුරුවරු, ගුරුවරියෝ ඒ ගැන කැප වුණෝ ය. ඒ අන් කිසිවක් නිසා නොව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ය.

නිදහස් අධ්‍යාපන අයිතිය මඟින් ගුරුවර, ගුරුවරියන් බවට පත් වූ ඔවුන් තම දරු පරම්පරාවට එය ලබා දෙන්නේ හෘදයාංගම බැඳීමකින් ය. ඔන්ලයින් ඉගැන්වීමට විවිධ වූ බාධාවන් ඇත. දරුවන්ට, ගුරුවරුන්ට ඒ සඳහා පරිගණකයක්, දුරකථනයක් නැති අවස්ථා එමට ය. ඒ සඳහා වන දත්ත ලබා ගැනීමට හැකියාව නැති ප්‍රමාණය අනන්ත ය. දත්ත ලබා ගත්ත ද, සංඥා පහසුකම් නැතිකමින්, ගස්, ගල් උඩ, කඳුමුදුන්වල නඟින වාර එමට ය. බොහෝ දුෂ්කරතා හා අඩුපාඩුකම් මැද්දේ ගුරුවරු හා දරුවෝ මේ වෙනුවෙන් කැප වූහ. එකී සමස්ත ගුරුවර ගුරුවරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව අනාගත දූ-දරු පරම්පරා වෙනුවෙන් ද කැප වන්නේ, වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් ය. අත්අඩංගුවට පත් වූ කිසිවකුට කොතලාවල විශ්වවිද්‍යාලයෙන් පෞද්ගලිකව හානියක් වන්නේ නැත. විරෝධතාවේ නියුතු වූවන් සියලු දෙනා කැප වන්නේ සමස්ත රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ය. ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය තාවකාලිකව නතර කළේ ද එකී නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ය. මෙතරම් වූ කැප කිරීමක් කරන්නේ ඒ වෙනුවෙන් ය.

ඒ කිසිවක් ගැන කිසිදු තැකීමක් නැති ඔලමොට්ටල දිලුම් අමුණුගම කිව්වේ, ඔන්ලයින් කරන්න රටට ම එක ගුරුවරයෙක් හිටියා ම ඇති කියා ය. ඉස්කෝලෙකට අඩියක්වත් තියලා තියෙනවා නම්, ඔය වගේ ගොන් කතාවක් කිසිදා කියන්නේ නැත. එතැනින් නතර නොවුණු ආණ්ඩුවේ තකතිරු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල කිව්වේ, ගුරුවරුන් කාලකණ්ණින් කියා ය. රජයේ වියදමින් ඕස්ටේ්‍රලියාවේ ගොස්, බීලා, හොර ගෑනුත් එක්ක හෝටල්වල ජවුසං නැටූ ඉතිහාසය ජනතාවට මතක ය. ඒ ජවුසම හින්ද ම වෙරි වැඩි වෙලා, හෝටලයේ උඩ තට්ටුවෙන් වැටී කෙහෙලියගේ කකුල කැඩිච්ච එකත් රටේ ජනතාව දනිති. කැඩිච්ච කකුල ඔපරේෂන් කරන්න ජනතාවගේ සල්ලි එක්කෝටි දොළොස් ලක්‍ෂයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය අරමුදලෙන් ලබා දුන් බවත් රට ම දන්නේ ය. අප්පා වාගේ ම පුතාත් ගුවන් යානයේ වැසිකිළි දොරෙන් බිමට බහින්න හදපු හැටිත් රට ම දන්නේ ය. පාස්කු ප්‍රහාරයෙන් ජාතිවාදය අවුස්සලා ආයේ පාර්ලිමේන්තු එන්න අවස්ථාව දුන්නේ මේවා අමතක කරලා නොවේ ය. ඒ කාලකණ්ණි ඇමතිගේ කෙරුවාව මහනුවර ජනතාව පමණක් නොව මුළු රටේ ම ජනතාව දන්නා දෙයකි.

පාස්කු ප්‍රහාරයත් එක්ක අන්දමන්ද වූ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ යූ.එන්.පී.ය කරපු දේවල් ආයේ කරන්නට නොවේ ය. එහෙත්, ආණ්ඩුව දැන් කරන්නේත් ඒක ම ය. විකුණන්නේ නැහැ කියපු රාජ්‍ය දේපළ කුණුකොල්ලයට විකුණමින් සිටියි. විකුණන්නේ නැහැ කියපු අධ්‍යාපනය මහ දවාලේ කොරෝනා අස්සේ විකුණමින් සිටියි. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත හරහා ආණ්ඩුව මේ කපා ඇත්තේ, නිදහස් අධ්‍යාපනයේ මිනීවළ ය. සැබැවින් ම මෙය කොතලා‘වළ’ක් ය. අද රටේ  බරපතළ විරෝධතා මතු වී, සමස්ත දරු දැරියන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය පවා නතර වී ඇත්තේ, මේ නරා ‘වළ’ නිසා ය.

දැනටමත් හැම පැත්තකින් ම ජනතාවට එපා වෙලා තියෙන මේ කාලකණ්ණි ආණ්ඩුව රටත්, රටේ අධ්‍යාපනයත් තව තවත් කාලකණ්ණි නොකර වහා ම මේ පනත හකුළා ගත යුතු ය. සමස්ත ගුරු ප්‍රජාව ම කාලකණ්ණි ආණ්ඩුවේ කාලකණ්ණි ඇමැතිගේ ප්‍රකාශයත් එක්ක තදබල විරෝධයක පසුවෙයි. ඒ බොහෝ දෙනා මේ ආණ්ඩුව බලයට ගෙන එන්න මැදිහත් වූ ගුරුවර, ගුරුවරියන් ය. එහෙත්, මේ වන විට යූ.එන්.පී.ය කරපු කාලකණ්ණි වැඩ ඒ විදියට ම කරන මේ ආණ්ඩුව ගැන ඇත්තේ ද කාලකණ්ණි හැඟීමකි. කෙහෙලිය වාගේ අමුණුගම වාගේ ඇමැතිවරුන්ගේ ප්‍රකාශත් එක්ක ඒ කාලකණ්ණිකම තවත් වැඩි වන්නේ ය●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

4 × two =