රොයිටර් ඡායාරූප වාර්තාකරුවෙකු වූ දනිෂ් සිද්දිකි ඝාතනය කෙරේ

පකිස්තාන දේශසීමාවේ ඇෆ්ගනිස්තාන ආරක්ෂක හමුදා හා තලෙයිබාන් සටන්කරුවන් අතර ඇතිවූ ගැටුම් ආවරණය කරමින් සිටි රොයිටර් මාධ්‍යකරුවෙකු වූ දනිෂ් සිද්දිකි අද ජීවිතක්ෂයට පත්වූ බව ඇෆ්ගන් අණදෙන නිලධාරියක් පවසනවා. මෙහිදී ඔහු සමග ඇෆ්ගන් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ට නිලධාරියෙක් ද මියගොස් තිබෙනවා. මෙය සිදුවූයේ ස්පින් බොල්ඩැක් ප්‍රදේශයේ දී.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ට්වීටර් පණිවිඩයකින් පවසන්නේ, සිද්දිකි ගේ මරණය තමන් බලවත් කම්පනයට පත්කල බවයි. මේ අතර තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසන්නේ දරුණු සටන් පැවති මේ ස්ථානයේ සිට මාධ්‍යකරුවෙකු වාර්තා කරන බව තම සංවිධානය දැන නොසිටි බවත්, සිද්දිකි ගේ ඝාතනය පැහැදිලි නැති බවත්‍ ය.
කෙසේ වෙතත් සිද්දිකි සිකුරාදා උදෑසන රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ පිපිරූ බෝම්බ කොටසකින් (sharpnel) තමන්ගේ අත තුවාල වූ බවයි. ඔහුට ඒ සඳහා ප්‍රතිකාර කල අතර තලේබාන් සටන්කරුවන් පසුව ස්පින් බොල්ඩැක් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබෙනවා. තලේබාන් සටන්කරුවන් නැවත පැමිණ ප්‍රහාරයක් එල්ල කරන විට සිද්දිකි ප්‍රදේශයේ සාප්පු හිමියන් සමග කතාබහ කරමින් සිටි බවයි ඇෆ්ගන් අණදෙන නිලධාරියා පවසන්නේ.
සිද්දිකි ගේ විශේෂත්වය වන්නේ ඔහු රොයිටර් ආයතනයට සේවය කල ඉතා දක්ෂ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු වීමයි. ඔහුගේ ඡායාරූප අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍රවී තිබෙනවා. රොහින්ග්‍යා සරණාගත අර්බුදය සම්බන්ධයෙන් ඔහු වාර්ථා කල ඡායාරූප තුලින් “මියන්මාරයෙන් පලායන රොහින්ග්‍යා සරණාගතයින් මුහුණ දුන් ප්‍රචණ්ඩත්වය කම්පනීය ලෙස නිරාවරණය” වූ බව පවසමින් 2018 දී ඔහු ඇතුලු රොයිටර් ඡායාරූප ශිල්පී කණ්ඩායම පුලිස්ටර් සම්මානය දිනාගත්තා.
ඉන්දියාවේ නවදිල්ලියේ කොරෝනා මරණ සම්බන්ධයෙන් ඔහුගේ කැමරා ඇසට හසුවූ ඛේදනීය ඡායාරූපය ලොව වටා කතාබහට ලක්වුණා.
මේ අතර සුප්‍රසිද්ධ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව 2019 දී කටුවාපිටිය දේවස්ථානයේ පුපුරුවා හරින ලද බෝම්බය සම්බන්ධ තොරතුරු වාර්තා කරමින් සිටි සිද්දිකි, මීගමුව මාරිස්ටෙලා විදුහල් භූමියට අනවසරයෙන් ඇතුලු වීමට උත්සාහ කලබවට විදුහල්පතිවරයා පැමිණිලි කිරීමෙන් පසු ඔහුව පොලීසිය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතකරනු ලැබ පසුව නිදහස් කරනු ලැබුවා.
මූලාශ්‍රය : reuters.com
– කපිල එම්. ගමගේ

Leave A Reply

Your email address will not be published.

16 + nine =