මර්දනයෙන් පැරදුණු ආණ්ඩුව අධිකරණ සෙල්ලමකට යයි ද?

ජනතාව ඉදිරියේ ආණ්ඩුව පරාජයට පත් විය. තුනෙන් දෙකේ නොව, මොන ජාතියේ බලයක් තිබුණත් ජනතාව කෙලින් හිටගන්නේ නම් සෙල්ලම් දාන්නට බැරි බව ආණ්ඩුව තේරුම් ගත්තේය. ඒ නිසා දැන් ඉතින් ආණ්ඩුව හිටියොත් හොඳට හැදී – දෙවියොත් නමට වඳී ක්‍රමයට වැඩ කරයි ද? නැත. කිසිසේත්ම නැත.
පසුගිය 07 සහ 08 දින දෙකේදී උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයත්, ඉන්පසු නිරෝධායන නීතියට මුවා වී අනීතික ලෙස ඔවුන් සිරගත කිරීමට කටයුතු කළ ආකාරයත් සියල්ලෝ දුටුවහ. විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මේ අවනීතියට එරෙහිව ආණ්ඩුවට අභියෝග කළහ.

මගහරින වගකිවයුත්තෝ

පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.
‘නිරෝධායන නීති භාවිතා කරමින් ජනතාවගේ විරෝධතා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. පොලිසිය භාර ඇමැතිවරයා විදිහට ඔබ මේ තත්ත්වය අනුමත කරනවද?
මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. අපි කරන්නෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙන ලද උපදෙස් පිළිපදින එකනෙ. මෙතෙක් කල් අපි උද්ඝෝෂණ කරන අය අත්අඩංගුවට ගත්තෙ නෑනෙ. එතුමා ලිඛිතව දැනුම් දීලා තියෙනවා, රැස්වීම් සහ උද්ඝෝෂණ රෝග ව්‍යාප්තියට හේතුවෙනවා, ඒ නිසා වහාම මේවා ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පනතට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට පුළුවන්නෙ පොලිස්පතිතුමාට නියෝග දෙන්න. ඒක නිසා මේක ඔබ අහන්න ඔ්නෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්, ඇයි එහෙම නියෝගයක් දුන්නෙ කියලා. මගෙන් අහලා වැඩක් නෑ.
ඒත් මේ තහනම් කිරීම්වලට අදාළව මෙතෙක් කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් කරලා නෑ. ඒ කියන්නෙ මේ අත්අඩංගුවට ගැනීම් බරපතළ ගැටළුවක් …?
රෝග ව්‍යාප්තිය සිදුවෙනවා නම් අපිට පුළුවන්ද ගැසට් පත්‍ර එනකම් ඉන්න. එහෙම බලා ඉඳලා, රෝග ව්‍යාප්තිය වැඩි වුණොත් ඒකට කවුද වගකියන්නෙ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙහෙම කරන්න කියනව නම්, අපි ඒක කරන්න ඔ්නෙ. අපි ඒවා ඔ්නෑවට – එපාවට, අපේ හිතූවට කරලා නෑ.
කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප දුන්නු විරෝධතාකරුවන් පිරිසක් සෞඛ්‍ය අංශ නැතුව පොලිසියෙන් බලහත්කාරයෙන් නිරෝධායනයට අරන් ගියා. ඒකත් ඔබ අනුමත කරනවද?
ඒක නම් මම දන්නෙ නෑ. කවදද වුණේ…
පෙරේදා (07) මේ සිද්ධිය වුණේ. සිද්ධිය දන්නෙ නැති වුණාට, පොලිසියට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න..?
සමහර විට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා කියලා ඇති මෙහෙම යවන්න කියලා. නැත්නම් ඒ යන අතරෙ පීඑච්අයි එකතු වෙන්න ඇති.
එහෙම පුළුවන්ද එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හෝ වෙනත් ඊට වගකිවයුතු සෞඛ්‍ය නිලධාරියෙක් නැතුව නිකම්ම කියපු ගමන් අරගෙන යන්න?
එහෙම කරන්න බෑ. සෞඛ්‍ය අංශ නැතුව එහෙම කරන්න බෑ පොලිසියට. මම දන්න විදිහට පොලිසිය නිරෝධායනයට ගෙනියන්නෙ නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩක් නෙමෙයිනෙ. උසාවියෙන් කිව්වොත් මේගොල්ලොන්ව නිරෝධායනයට ගෙනියන්න කියලා, ඒ ගෙනියන්නෙ කොහොමද කියලා තීරණය කරන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක.
බැසිල් රාජපක්ෂ මහත්තයගෙ අලුත් සම්ප්‍රාප්තිය සමරන්න රට වටේ තිබුණු සැමරුම්වලට නම් නිරෝධායන නීති බලපෑමක් කරලා තිබුණෙ නෑ ඇමැතිතුමා?
එහෙම වුණා නම් ඒක වැරදියි. කට්ටිය එකතු වෙන ඒවා තිබුණා නම්, ඒක වැරදියි. එහෙම කරන්න බෑ. හැබැයි මම දැක්කෙ නෑ එහෙම ඒවා.’
ඇමැතිවරයා සමග මේ සංවාදය කළේ පසුගිය 09දා ය. ඉන්පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍යයට පවසා තිබුණේ උද්ඝෝෂණ තහනම් කිරීමට තමන් උපදෙස් දී නැති බවකි. ඒ කියන්නේ උද්ඝෝෂකයන්ට පහරදීමට අදාළව වගකීමක් ගන්නට කෙනෙකු නැත. දුමින්ද නාගමුවලා, ජෝෂප් ස්ටාලින්ලා අනීතික නිරෝධායනයට රැගෙන යෑම සම්බන්ධයෙන් ද ඇත්තේ එවැනි ම කතාවකි.

ෂේප් න්‍යාය කුමකට ද?

කොතලාවල පනතට එරෙහි මේ උද්ඝෝෂණ මර්දනය කිරීමත්, පනතට අදාළ ඡන්ද විමසීම ලබන අගෝස්තු මාසයට කල්දැමීමත් සිදුවූයේ එකට ම ය. ආණ්ඩුව උත්සාහ කළේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පන්නයේ වැඩක්, කිසිදු කලබලයකින් තොරව කරගැනීමට ය. එහෙත් එය කරගන්නට ඉඩක් ලැබුණේ නැත. ජීඑස්පී සහනය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් යළිත් සලකා බලන්නට යුරෝපා සංගමය තීරණය කර ඇති පසුබිමක, ඊට අදාළව ලංකා ආණ්ඩුව පසුගිය ජනවාරි 25දා පොරොන්දු වූ ආකාරයට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දන නීති සංශෝධනය කර නැති බවට චෝදනා එල්ල වී ඇති පසුබිමක, මෙරට විදේශ විනිමය සංචිත හෙවත් රටේ ඇති ඩොලර් ප්‍රමාණය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවකට මැදිවී සිටින පසුබිමක, 1988 ත්‍රිමා විතාරණලාගේ නිදහස් අධ්‍යාපන සටන වැනි සටනක් කොතලාවල පනතට එරෙහිව ඇවිලීම වළක්වාගැනීම ආණ්ඩුවේ අරමුණ වී තිබිණි.
ඒ නිසා ය, පසුගිය 13දා කොළඹ, ලිප්ටන් වට රවුමේ පැවැති විරෝධතාවට අතක් තියන්නට ආණ්ඩුව කටයුතු නොකළේ. පසුගිය 14දා කොළඹ නගරය වටා පැවැත්වූ විරෝධතා රථ පෙළපාලියට බාධා කරන්නට ආණ්ඩුව කටයුතු නොකළේ.

‘සෙල්ලම් කරන්න එන්න එපා’

ලංකා ගුරු සංගමය විසින් පසුගිය 12 සහ 13 දෙදින යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු කොමසාරිස්වරියට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියට හා සිවිල්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමීව රැස්වීමේ හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාට සංදේශ බාර දුන්නේය. ඒ, ආණ්ඩුවේ මේ මර්දනයට එරෙහිව ය. විරෝධතා දැක්වීමේ අයිතිය වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සංවිධාන ආණ්ඩුවට බලපෑම් කළේය. මෙරට රාකාරි කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සෘජුවම මේ පිළිබඳ විරෝධය පළ කළහ.
එපමණක් ද? ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ද ඇරඹිණි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට බලකරමින් පසුගිය 07දා පැවැත්වූ උද්ඝෝෂණයෙන් පසු අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් නිරෝධායන හිරගෙදරින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපූස් පෙත්සම් ගොනුකෙරිණි. පසුගිය 08දා පාර්ලිමේන්තු වට රවුම අසලදී පැවැති උද්ඝෝෂණය අවස්ථාවේ අත්අඩංගුවට ගෙන නිරෝධායන හිරගෙදරට දැමූ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා තවත් හබයාස් කෝපූස් පෙත්සම් රැසක් ඉදිරිපත් කෙරිණි. නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීමකට එරෙහිව, රීට් ආඥාවක් ලබාගැනීම සඳහා මේ පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇති අතර, අදාළ පිරිසගේ පවුලේ සාමාජිකයන් විසින් එම පෙත්සම් ගොනුකරන ලදි.

උද්ඝෝෂණ මැඩලීමට නිරෝධායනය

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි, අණදෙන නිලධාරි / භාර නිලධාරි – පල්ලෙකැලේ සමුපකාර අධ්‍යාපන මධ්‍යස්ථානය (නිරෝධායන මධ්‍යස්ථානය) සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් දුමින්ද නාගමුව වෙනුවෙන් ඉදිරිපත් කළ හබයාස් කෝපූස් පෙත්සමේ මෙසේ සඳහන් වේ.
අධිකරණයට අපහාස කිරීමක් ?’උද්ඝෝෂණය ආරම්භ කිරීමට පෙර 3 වන වගඋත්තරකරු (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්) සහ පොලිස් නිලධාරීන් පිරිසක් ‘දුමින්ද නාගමුවගේ’ ගමන අවහිර කර බලහත්කාරයෙන් මැදිහත් වූ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ඔහුව හසුරුවනු ලැබීය.
පසුව ‘දුමින්ද නාගමුව’ සහ තවත් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොම්පඤ්ඤ වීදිය පොලිසියට ගෙන යන ලදී. පොලිස් අත්අඩංගුවේ තබාගත් කාලය තුළ සමාජ දුරස්ථභාවය හෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනයක් සිදුනොවූ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය තුළදී ‘දුමින්ද නාගමුවගේ’ සහ අනෙක් අයගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබිණි.
පෙත්සම්කරු සඳහන් කරන්නේ, සවස 3 ට පමණ ‘දුමින්ද නාගමුව’ සහ තවත් 7 දෙනෙකු බී වාර්තාව යටතේ කොටුවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ඉදිරිපත් කරනු ලැබූ බවයි.
නිරෝධායන ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ‘දුමින්ද නාගමුව’ විසින් වරදක් සිදු කර ඇති බවට උගත් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ 3 වන වගඋත්තරකරු (කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති) ප්‍රකාශ කළේය.
උගත් මහේස්ත්‍රාත්වරයා ‘දුමින්ද නාගමුව’ ඇප මත මුදා හරින ලෙස නියෝග කළ අතර 3 වන වගඋත්තරකරු විසින් ‘දුමින්ද නාගමුව’ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
පසුව ‘දුමින්ද නාගමුව’ සහ තවත් අය අධිකරණය විසින් නියම කරනු ලැබූ පරිදි පුද්ගලික ඇප අත්සන් කර අත්අඩංගුවෙන් නිදහස් කරනු ලැබීය.
‘දුමින්ද නාගමුව’ සහ අනෙක් අය අධිකරණ භූමියෙන් පිටතට යන විට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ ගමන අවහිර කර 5 වන වගඋත්තරකරු (කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි) විසින් දෙන ලද නියෝගයකට අනුව නිරෝධායන මධ්‍යස්ථානයකට අනිවාර්යයෙන්ම යොමු කරන බව දැනුම් දුන් බවයි.
‘දුමින්ද නාගමුව’ සහ ඔහුගේ නීතිඥයින් පොලිසියේ එම ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය දැක්වූයේ අධිකරණය දැනටමත් ඇප ලබා දී ඔවුන්ව නිදහස් කර ඇති බැවිනි.
‘දුමින්ද නාගමුව’ අත්අඩංගුවට ගත් ආරම්භයේ සිටම ඔහු රඳවා තබා ගැනීම කෝවිඩ් -19 රෝගියෙකුගේ සමීප සම්බන්ධතාවයක් ලෙස නොසැලකූ අතර ඔහුට පොලිස් නිලධාරීන්, ඔහුගේ නීතිඥයින් සහ එදින පොලිසිය තුළ සිර කර තැබූ වෙනත් සැකකරුවන් සමඟ නිදහසේ ඇසුරු කිරීමට අවසර ලැබුණි.

‘දුමින්ද නාගමුව’ සහ අනෙකුත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පමණක් නිරෝධායන මධ්‍යස්ථානයකට පමණක් යොමු කර ඇති අතර ඔවුන්ව හසුරුවමින් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන, ඔවුන් සමග සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් එකදු පුද්ගලයෙකු හෝ නිරෝධායනයට යොමු කර නොමැති අතර එමඟින් නිරෝධායනයක් නොමැති බව පෙන්නුම් කරයි.’
අදාළ පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කිසිදු පදනමක් නොමැතිව ‘දුමින්ද නාගමුව’ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීති විරෝධී, අත්තනෝමතික බවත්, එබැවින් පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය භාර නිලධාරියා විසින් ඔහු රඳවා තබා ගැනීම නීති විරෝධී සහ සම්පූර්ණයෙන්ම අධිකරණ බලයකින් තොර බවත් ය. අනෙකුත් සියලු පෙත්සම් මගින් ද මේ කරුණු අවධාරණය කර ඇති අතර, ඊට අදාළ ඉදිරි කටයුතු භාර ව ඇත්තේ අභියාචනාධිකරණයටය.

පෞද්ගලික වගකීම්

මීට අමතරව ආණ්ඩුවේ මේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ලංකා ගුරු සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ මේ සිද්ධියට සෘජුව මැදිහත් වූ වගඋත්තරකරුවන් 16 දෙනෙකුගේ පෞදගලික මුදලින් අදාළ අවනීතියට මුහුණ දුන් පාර්ශ්වවලට වන්දි ලබාදීමට කටයුතු කරන ලෙසයි.
තලංගම පොලිසියේ ස්ථානාධිපති, මිරිහාන පොලිසියේ ස්ථානාධිපති, නුගේගොඩ කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සී.ඩී. ලියනගේ, බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති ඩී. කඩුපිටිය, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි සහිත හඳුනා නොගත් පොලිස් නිලධාරීන් 05 දෙනෙක්, පාර්ලිමේන්තු වටරවුම ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරි, මුලතිව් ගුවන් හමුදා කඳවුර පිහිටි ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මෙසේ අදාළ ඉල්ලීමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, ඔවුන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1) 13(2) සහ 14(1) (ඌ) ව්‍යවස්ථාවන් මගින් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිර්දේශයක් ලබාදෙන ලෙස ද වැඩිදුරටත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

මීට අමතරව මෙහිදී සිදු වූ තවත් වැදගත් කාර්යයක් වන්නේ මේ වගඋත්තරකරුවන් සියලු දෙනාට එන්තරවාසි යැවීම ය. පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් අදාළ අනීතික නිරෝධායනයට යොමුකර ඇති පිරිස විසින් මෙසේ එන්තරවාසි යවා තිබේ. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ඊට අදාළ වන්දිය ලෙස රුපියල් ලක්ෂ 50 බැගින් එක් – එක් අයට ගෙවන ලෙස අදාළ වගඋත්තරකරුවන් සියලුදෙනාට එන්තරවාසි යවා ඇති අතර, දින 14ක් තුළ එසේ නොගෙවන්නේ නම් නඩු පවරා අදාළ වන්දි මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද දැනුම් දී ඇත. සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 461 වගන්තිය ප්‍රකාරව මේ එන්තරවාසි යොමුකර ඇත. මේ පිරිසේ කිසිවෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ පළමු පෙළ, දෙවැනි පෙළ ආශ්‍රිතයන් හෝ නොවන බව තහවුරු වී තිබියදී, අත්තනෝමතිකව සහ ද්වේෂ සහගතව නිරෝධායන මධ්‍යස්ථානයක මෙසේ රඳවා තැබීම අනීතික අත්අඩංගුවට ගැනීමක් බව ද වගඋත්තරකරුවන්ට යවා ඇති එම එන්තරවාසිවල සඳහන් ය. මේ සම්බන්ධයෙන් අදාළ වගඋත්තරකරුවන් පෞද්ගලික වගකීමක් දරන බවත්, යම් හෙයකින් අදාළ මධ්‍යස්ථාන තුළදී මේ පිරිසේ කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වුවහොත් එහි සම්පූර්ණ වගකීම වගඋත්තරකරුවන් දැරිය යුතු බවත් වැඩිදුරටත් එමගින් අවධාරණය කර තිබේ.

රාජ්‍ය නිලධාරීන් බේරෙයිද?

ආණ්ඩුවේ දේශපාලන තීරණවල ගොදුරක් වීමට පෙර, යළි-යළිත් සිතා බැලිය යුතු බවටත්, නියෝග දුන්නු නිසා කළා වැනි ප්‍රකාශයකින් සියල්ලෙන් ගැලවීමට මේ අනීතික කටයුතුවලට සම්බන්ධ වූ පාර්ශ්වවලට නොහැකි බවත් මෙමගින් තහවුරු කෙරෙමින් තිබේ. රාජ්‍ය නිලධාරීන්ට තමන්ට ඇති වගකීමෙන් ගැලවිය නොහැකි බවට ලලිත් වීරතුංගගේ සිල් රෙදි නඩුවේදී පවා අධිකරණය විසින් අවධාරණය කර තිබේ. එම නිසා කුප්‍රකට උදාහරණය වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හෝ ඒ මාදිලියේ වර්තමාන උදාහරණය ලෙස ප්‍රකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හෝ පන්නයට වැඩ කිරීමට පෙර තමන් කරන්නේ නීත්‍යනුකූල කාර්යයක් ද යන්න සම්බන්ධයෙන් නැවත සිතා බැලීමට මෙමගින් සිහිය ඇති රාජ්‍ය නිලධාරීන් යොමුකරවිය හැකිය.

ආණ්ඩුව අත්හැර නැත !

කෙසේ වෙතත් ආණ්ඩුව වැඩේ අත්හැර නැති බව ද මතක තබාගත යුතුය. පසුගිය දිනෙක පොලිසියේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කර ඇත්තේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් තහනම් නියෝග නිකුත් කරගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ය. ඒ සඳහා වන නීති-අණපනත් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීම් සිදු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අදාළ නිලධාරීන් කිහිපදෙනෙකු පමණක් මෙහිදී නිහඬව සිටියදී, අනෙක් සියලු නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී ඇති ප්‍රකාශනයේ අයිතියට එසේ සීමා දැමීමට නොහැකි බවත්, එය නීතියට පටහැනි බවත් ය. එසේ වුවහොත් අධිකරණය බරපතළ අපකීර්තියකට ලක්වන බව ද ඔවුන් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. මේ නිසා තාවකාලිකව අදාළ කණ්ඩායම පසුබැස තිබේ.
ඒ කියන්නේ ඔවුන් ‘වැඩ’ නැවැත්වීමට සූදානම් නැත. එම නිසා ජනතාවට ඇති වගකීම වන්නේ සාමූහිකව මේ ගමන ඉදිරියට යෑම ය. ආණ්ඩුවේ ඊළඟ සැලසුම මේ සාමූහිකත්වය බිඳ දැමීම ය. ඔවුන් සාමූහිකත්වයට පරාණ බය ය.


ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

three × one =