ඔබටත් දෙවැනි මව්බිමක්, හැබැයි රුපියල් වලින් කෝටි දෙකහමාරයි

ලෝක සිතියමේ කෙළවරක, දකුණු පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට ටිකක් ඈතින් පිහිටා ඇති වනාටු දූපත් රාජ්‍යය බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගෙන තියෙන්නේ 1980 දී. එරට ජනගහනය ලක්ෂ තුනකට වැඩි නැහැ. වනාටු පාස්පෝට් එකක් තිබෙනවානම් යමෙකුට මහා බ්‍රිතාන්‍යයට හෝ යුරෝපා සංගමයේ රටවලට යන්න වීසා අවශ්‍ය නැහැ. ඇමෙරිකානු ඩොලර් 130000ක් වියදම් කරලා මාසයක් වගේ ඇතුළත විදේශිකයන්ට පුළුවන් වනාටු පුරවැසියෙක් වෙන්න.
ඒ විදියට වනාටු රටේ පුරවැසිකම් ලබාගත්ත ලෝක හොරු කිහිපදෙනෙක් ගැන The Guardian පුවත්වත අද වාර්තා කර තිබුණා. එරට ආණ්ඩුව විසින් හඳුන්වා දුන් Golden Passport ක්‍රමවේදය යටතේ මෙසේ වනාටු පාස්පෝට් ලබාගත් විදේශිකයන්ගේ ප්‍රමාණය 2000කටත් වඩා වැඩි බවයි හෙළිවී ඇත්තේ. මගෝඩි වැඩ වලින් ධන කුවේරයන් වූ අපකීර්තිමත් ව්‍යාපාරිකයන්, ජනතා මුදල් ගසා කාපු දේසපාලුවන් හා පොලීසියට කට්ටි පනින අපරාධකරුවන් මෙලෙස වනාටුවේ සම්භාව්‍ය පුරවැසි ලැයිස්තුවට ඇතුළු වී ඇති බව පුවත්පත පවසනවා.
එහෙම සල්ලි වලට වනාටුවන් වෙච්චි ජාත්‍යන්තර හිපාටුවන් කීපදෙනෙක් ගැන විතරක් පුවත්පත මේ වෙන විට හෙළිදරව් කර තිබෙනවා. ඒ අතර ඇමෙරිකානු සම්බාධක වලට මැදි වෙච්චි සිරියානු ව්‍යාපාරිකයෙක්, සැකකටයුතු උතුරු කොරියානු නායකයෙක් , රෝමානු කතෝලිකයන්ගේ ශුද්ධ භූමිය වූ වතිකානයෙනුත් කප්පම් ගත්ත ඉතාලි ව්‍යාපාරිකයෙක්, මෝටර් සයිකල් ගැන්සිය නම් වූ කුප්‍රකට ඔස්ට්‍රේලියානු මාෆියා කල්ලියේ සාමාජිකයන් ඉන්නවා. ඊට අමතරව ඩොලර් බිලියන 3.6 ක ක්‍රිප්ටොකරන්සි ජාවාරමට සම්බන්ධ දකුණු අප්‍රිකානු අයියමලෝවරුත් ඉන්නවා.
ලෝකයේ බොහෝ රටවල් ආයෝජකයන්ට වීසා ලබාදෙනවා ,පුරවැසිකම් ලබා දෙනවා. අපිත් එහෙම දෙනවා. ඒත් ඒක දීර්ඝ ක්‍රියාවලියක්. ලියකියවිලි හදන්න මාර කට්ටක් කන්න වෙනවා. ඒ රටවලට ගිහින් කාලයක් තිස්සේ බදු ගෙව ගෙවා ඉන්වෙස්ට් කරන්න වෙනවා.
ඒත් ලෝකයේ වේගයෙන්ම, ලාබෙටම හා ලෙහෙසියෙන්ම පුරවැසිභාවය ගන්න පුළුවන් රට වනාටු කියල තමයි The Guardian වාර්තාකරන්නේ. වනාටු පාස්පෝට් එක ගන්න බදු ගෙව ගෙවා කට්ට කන්න ඕනෑ නැහැ. එහෙට අඩියක්වත් නොතියා සල්ලි ගෙවලා ඒක ගතහැකි. මේ පාස්පෝට් සෙල්ලම නිසා ජාත්‍යන්තර අපරාධකාරයන්ට තමන්ගේ කලු සල්ලි සුදු කරගන්න පැසිෆික් සාගරය තුළ කදිම තිප්පොළක් බිහිවී ඇති බව පැවසෙනවා. ඒ වගේම යුරෝපයට පැනගැනීමට පස්සා දොරක් ලෙස ඔවුන් වනාටුව භාවිතා කරන බවත් පුවත්පත අනතුරු අඟවනවා.
කොහොම නමුත් මේ මගෝඩිස්ලාගේ සම්පූර්ණ ලැයිස්තුව තාම හෙළි වෙලා නැහැ. මේ ටික හරි Guardian මාධ්‍යවේදීන් විසින් හොයාගෙන තියෙන්නේ සූක්ෂම විදියට. මාස ගණනාවක් තිස්සේ සමාජජාලා, උසාවි වාර්තා, ඡන්ද ලැයිස්තු පරීක්ෂා කිරීමෙන් තමයි ඔවුන් මෙයින් දුසිම් ගණකගේ පමණක් අනන්‍යතාව හෙළිකරගෙන තිබෙන්නේ.
මේ ලැයිස්තුවෙන් භාගයක්ම ඉන්නේ අපේ හිතවත් චීන ඇත්තෝ කියල තමයි වාර්තාවෙන්නේ. ඊට අමතරව නයිජිරියානු, රුසියානු,සිරියානු, ලෙබනන්,ඉරාන,ඇෆ්ගන් ජාතිකයනුත් ඉන්නවා.
කොහොම හරි කලු සල්ලි සුදු කරගන්න වනාටුවො වෙච්චි අමුතු ඇටේ කට්ටියත් මේ ලැයිස්තුවේ ඉන්නවද කියලනම් දන්නෙ නෑ. ඒක හොයන එක ඉතින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට භාරයි.
– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

eighteen + thirteen =