නිරෝධායන නීති කඩමින් ඇමති මහින්දානන්ද නාවලපිටියේ උත්සව

එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ තිබු නාවලපිටිය නගර සභාවේ බලය අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුකර ගැනීමට කටයුතු කළ අතර එහි ප්‍රීතිය බුක්තිවිඳීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක්වී ඇත්තේ සිය ගණනක් ආධාර කරුවන්ද සමඟය.
රටේ නිරෝධායන නීති සාමාන්‍ය ජනතාවට සහ විපක්ෂයේ පක්‍ෂ වලට, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන වලට ක්‍රියාත්මක වුවද ආණ්ඩුවේ පාර්ශවයන්ට වලංගු නොවන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරයි.

පසුගියදා පර්ලිමේන්තු වටරවුමේ නිරෝධායන නීති රකිමින් විරෝධතාවයක් දැක්වූ පිරිසෙන් හාමුදුරුවරුන් පවා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කළේ අධිකරණයෙන් ද ඇප පිට නිදහස් කිරීමෙන් පසුවය.

එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් නාවලපිටිය නඟරය පුරා රතිඤ්ඤා පත්තුකරමින්  පා ගමනින් යන්නේ කිසිදු නිරෝධායන නීතියකට අවනතව නොවේ.

නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ සසංක සම්පත් සංජීව(මේ වන විට සමගි ජන බලවේගයේ) සභාපති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් පසුගිය දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ඉවත්කළේය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේදී නාවලපිටිය නගර සභාවේ නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද (15) පැවැත්වුණි.

නාවලපිටිය නගර සභාව එජාප (වර්තමානයේ සමගි ජන බලවේගය) නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 07ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙක්, ස්වාධින එක් මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

අද දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිලවරණයට නොපැමිණි අතර, මෙතෙක් පාලක පක්ෂයට සහයෝගය දැක්වු ස්වාධින කණ්ඩායම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමල් ප්‍රියංකර මහතා 5ට7ක් වශයෙන් වැඩි ඡන්දයෙන් සභාපතිවරයා වශයෙන් තේරීපත්වුණි.

 

Leave A Reply

Your email address will not be published.

two × four =