ආණ්ඩුව ජනප්‍රිය මතයක එල්ලිලා වෙන අරමුණක් ඉටු කර ගන්න යන ගමනක්

ජනාධිපතිවරයා ගෙන තිබෙන රසායනික පොහොර ආනයනය තහනම් කරන තීන්දුව සමඟ රටේ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. මේ තීන්දුව සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම

රටේ කවුරුත් කාබනික පොහොර භාවිතයට කැමැතියි. නමුත්, තීන්දුවක් ගනිද්දී දීර්ඝකාලීනව හිතලා තමයි තීන්දු ගන්න ඕනේ. අද වන විට කෘෂිකර්මාන්තය නවීකරණය වෙලා තියෙනවා. රසායනික පොහොරවලට ඉක්මනින් සංවේදී වෙන කෘෂිකර්මයක් තමයි තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 1000 වගේ කැලයක් කපල වගා කළා නම්, කන්න දෙකක් තරම් වගා කරන්න පොහොර අදාළ භූමියේ තියෙනවා. ජනගහනය වැඩි වීමත් සමඟ ඉඩම් ප්‍රමාණය අවම වෙනවා. හැම අස්වැන්නකින්ම කොටසක් අයින් කරන්න වෙනවා. විද්‍යාඥයෝ පොහොරවලට සංවේදී වැඩි අස්වනු ගත හැකි බීජ හදල තියෙනවා අභිජනන ක්‍රමවලින්. ඒවා තමයි දැන් තියෙන්නේ. මේවා වගා කරන්න බෑ, කැලෑ කපලා හේන්වල කරන වගාවල් විදිහට. දැන් තියෙන භෝගවලට රසායනික පොහොරවලින් අවශ්‍ය ඒ කාලවලට අවශ්‍ය දේවල් දෙන්න ඕනෑ. ඒක දෙන්න නම්, අපිට අවශ්‍ය වෙනවා වැඩි සාන්ද්‍රණයෙන් යුක්ත පොහොර. දැන් යූරියාවල සියයට හතළිස් හයක්ම නයිට්‍රජන් තියෙනවා. කොම්පෝස්ට්වල තියෙන්නේ සියයට දෙකයි. යූරියා දානව වගේ විසිතුන් ගුණයක් දාන්න ඕනෑ කොම්පෝස්ට්. මේක මිනිස්සුන්ට ප්‍රායෝගිකව කළ හැකි ද? අනෙක කාබනික පොහොරවලින් නිදහස් කරන්නේ රසායනික මූලද්‍රව්‍ය බොහොම හෙමින්. දැන් ඇතැම් භෝගවලට ඒ ඒ කාලවල දී සාන්ද්‍රණ වේගයෙන් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ගොයම් පූදින කොට අවශ්‍ය වෙනවා, බණ්ඩි පොහොර. ඒ කියන්නේ පොටෑසියම්. රතුකුඩු කියලා ගොවියෝ ගහන්නේ ඒක. ඒක බණ්ඩි කාලේ ලබා නොදුන්නොත්, වී අස්වැන්න අඩුවෙනවා. කාබනික පොහොරවලට ඒ හැකියාව නැහැ.

ජනාධිපතිවරයා මේ අරගෙන තියෙන්නේ ජනප්‍රිය තීරණයක්. රටේ ජනමතයක් තියෙනවා, වස විසෙන් තොර ආහාර ගැන. මේක අල්ලල ජනප්‍රිය වෙන්න ගත්ත තීන්දුවක්. ඒ වගේම කියන්න ඕන මෙතැන තියෙන්නේ කාබනික පොහොර ප්‍රශ්නයක් නෙමෙයි. විදේශ විනිමය ප්‍රශ්නයක්.

එහෙම නම් ඇයි ජනාධිපතිවරයා මේ වගේ තීරණයක් ගන්නේ ?

ජනාධිපතිවරයා මේ අරගෙන තියෙන්නේ ජනප්‍රිය තීරණයක්. රටේ ජනමතයක් තියෙනවා, වස විසෙන් තොර ආහාර ගැන. මේක අල්ලල ජනප්‍රිය වෙන්න ගත්ත තීන්දුවක්. ඒ වගේම කියන්න ඕන මෙතැන තියෙන්නේ කාබනික පොහොර ප්‍රශ්නයක් නෙමෙයි. විදේශ විනිමය ප්‍රශ්නයක්. ඩොලර් නැති වෙන කොට වාහන ආනයනය නැවැත්තුවා. ඒකෙන් යම්කිසි ප්‍රමාණයකින් ඩොලර් පිටට ගලාගෙන යන එක නැවතුණා. මේකෙන් විතරක් අමාරුයි. ඒ නිසා තව කොහෙන් හරි නවත්වන්න ඕනෑ. නවත්වන්නේ එක්කෝ සීනි, කිරිපිටි, පැට්‍රල්, යන්ත්‍රසූත්‍ර. ඕවායින් තමයි නවත්වන්න වෙන්නේ. සීනි නැවැත්තුවොත් ප්‍රශ්නයක්. පිටි නැවැත්තුවොත් ප්‍රශ්නයක්. තෙල් නැවැත්තුවොත් ප්‍රශ්නයක්. ඒවා කෙටිකාලීනයි. මේක දිගුකාලීන ප්‍රශ්නයක්. පොහොර නෑ කියල මිනිස්සු එකපාරට මැරෙන්නේ නෑ. කන්න නෑ කියල මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ නැහැ. මෙතැන තියෙන්නේ කාබනික ප්‍රශ්නයක් හෝ වස විෂ ප්‍රශ්නයක් නෙමෙයි. රටේ තියෙන ආර්ථික අර්බුදයේ ප්‍රකාශනයක්. අපි ප්‍රායෝගිකව කාබනික වගාවට කැමැතියි. නමුත්, ආණ්ඩුවේ මේ එකවර කාබනික පොහොරවලට මාරු වෙන තකතීරු තීරණයට අපි එකඟ නෑ. මේක දිගුකාලීන ක්‍රියාවලියක්. කාබනිකවලට ගැළපෙන ප්‍රභේද හදන්නත් ඕනෑ. මේව ක්‍ෂණිකව කරන්න බෑ. ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් තුළ තමයි, එතැනට අපි යන්න ඕනෑ. ජනප්‍රිය මතයක එල්ලිලා ආණ්ඩුව වෙන අරමුණක්  ඉටු කර ගන්න යන ගමනක් ලෙසයි මෙය දකින්න වෙන්නේ.

රසායනික පොහොර ආනයනය කරන බහුජාතික සමාගම් තියෙනවා. ඒ වගේම කාබනික පොහොර ආනයනයටත් එවැනි සමාගම් තියෙනවා ද?

කාබනික පොහොර ආනයනයට අපේ රටේ බහුජාතික සමාගම් නෑ. කාබනික කියන්නෙම පොඩි ගෙවතුවල හදාගන්න එකක්. නමුත්, අපේ රටේ මේ අලුත් තත්ත්වයන් තුළ විශාල ලෙස කාබනික ද්‍රව්‍ය අවශ්‍ය වෙලා තියෙනවා. ඒවා අපට නිෂ්පාදනය කරන්න බැහැ. අපේ  තියෙන අපද්‍රව්‍ය අපේ රටේ පොහොර ඉල්ලුමට ප්‍රමාණවත් නැහැ. අපේ රටට විශාල කාබනික පොහොර ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් අවස්ථාවක් හැදෙනවා, ව්‍යාපාරිකයන්ට මේකට යන්න. රට ඇතුළේ මේක කරන්න බැරි නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් ලැබෙනවා මේක ආනයනය කරන්න. දැනටමත් චීනයෙන් කුණු ආනයනය කරන්න ව්‍යාපාර පටන් අරගෙන තිබෙනවා. මේක ඇත්තටම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට තවත් ව්‍යාපාරයක් කරන්න අවස්ථාවක් හදා දීමක්. මේක හරහා වෙන්න පුළුවන් බරපතළම කාරණය තමයි, ඒ රටවල තියෙන බැර ලෝහ, ක්‍ෂුද්‍ර ජීවීන් අඩංගු දේ අපේ පසට දැම්මහම අපේ පස මේ තියෙනවටත් වඩා නරක තැනකට තල්ලු කෙරෙනවා. මේකෙන් ව්‍යාපාර ඇති වෙන්න පුළුවන් නමුත්, දැනට ලෝකයේ එහෙම ව්‍යාපාර නෑ. කාබනික කෘෂිකර්මය කියන්නේ, කුඩා පරිමාණයෙන් කුඩා ඉඩකඩක කරන ව්‍යාපාරයක්. ලෝකයේ රටවල සියයට එකක්, දෙකක් වගේ ගණනක් තමයි කාබනික වගා කෙරෙන්නේ. ඒත් රසායනික පොහොර නවත්වලා ඒවට ගියා නෙමෙයි. කාලයක් තිස්සේ ක්‍රමානුකූලව තමයි, ඒ ගමනත් ගිහින් තියෙන්නේ. ඒක ක්‍ෂුද්‍ර ජීවීන් එකතු කරන ජෛව ක්‍රියාවලියක්. ඒකට අපේ ගොවීන්ට යන්න අවම වශයෙන් තව අවුරුදු පහක්වත් යයි.

දැනට ලෝකයේ රසායනික පොහොර නවත්වලා කාබනික පොහොරවලට මාරු වී සාර්ථක වුණ රටවල් තියෙනවා ද? ඒ අත්දැකීම් කොහොම ද?

කුඩා පරිමාණයෙන් හැම රටේම තියෙනවා. එංගලන්තය වගේ රටවල සියයට දෙකක තුනක ප්‍රමාණයක් තියෙනවා. ඇතැම් රටවල් ඒ සඳහා මහන්සි වෙලා ෆේල් වෙලා තියෙනවා. ලෝකයේ හැම රටක ම සියයට එකයි දශම පහක වගේ ප්‍රමාණයක් කාබනික වගාවන් කරනවා. අපේ රටේත් කරනවා. කාබනික ගොවිපොළවල් කිහිපයක් තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණයට සාපේක්ෂව එහෙම වගාවක් කරන්න හැකියාවක් නැහැ. කාබනික යොදලා නිෂ්පාදනය කරන සුළු ආහාර ප්‍රමාණයේත් මිල ඉහළයි. මොක ද? ඒකට විශේෂ මහන්සියක් වෙන්න ඕනෑ.

කාබනික පොහොර යොදලා වගා කළොත් දැන් ලබන අස්වැන්න වගේ හතරෙන් එකයි ලැබෙන්නේ. එකවර එහෙම තැනකට යාම බරපතළ තත්ත්වයක්. මෙච්චර වගා කරලත් අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න බැරි අපි කාබනික යොදල වැඩි අස්වැන්නක් ලබනවා කියන එක විහිළුවක්. ඒ නිසා ලෝකයේ කිසිම රටක් එහෙම අනතුරකට ගිහින් නැහැ. මහා පරිමාණයෙන් කරන්න ගිය භූතානය 2012 පටන් අරන් අද වෙන කොට අත්හැර දාල තියෙන්නේ. මේ ෆේල් වෙච්ච එකක් අපි අත්හදා බලන්න යාම බරපතළ කාරණයක්.

■ රසයානික භාවිතය නිසා ලංකාවේ සෞඛ්‍ය ගැටලු රැසක් පැනනැඟී ඇති බව පේන්න තියෙනවා. එහෙම නම් අපි කාබනික වගාවට යොමු වීමේ වරදක් නැහැ නේ ද?

රසායනික පොහොර විතරක් නෙමෙයි, බෙහෙත්වලින් පවා ශරීරයට වෙන හානියක් තියෙනවා. අපි දැන් හයියෙන් සිංදුවක් කිව්වත් යම් පරිසර දූෂණයක්  වෙනවා. මේකේ විද්‍යාත්මක පැත්ත තමයි, මේ හැම ක්‍රියාවලියකින් ම යම් හානියක් තිබෙනවා. අපි පැනඩොල් ගන්න ඕනෑ. හැබැයි, වැඩිපුර ගත්තොත් විෂයි. වැඩියෙන් ගන්න කොට හානිය වැඩියි. අඩුවෙන් ගන්න කොට හානිය අඩුයි. රසයානික පොහොර හරහා ප්‍රතිලාභයක් තියෙනවා වගේම හානියකුත් තියෙනවා.

අපි නතර කරන්න ඕනෑ තැනක් තියෙනවා. ගොවියෝ ඉවක් බවක් නැතිව පොහොර භාවිත කරන නිසා නේ මේ ප්‍රශ්නය කතා කරන්නේ. ඒක නතර කරන්න අපිට තියෙන එකම ක්‍රමය තමයි මේක හරියට පරිපාලනය කළ යුතුයි. පොහොර සහනාධාරය කියන එක විද්‍යාඥයන් නිර්දේශ කළ එකක් නෙමෙයි. ඒක දේශපාලන සහනාධාරයක්. මේ ජනාධිපති ආවෙත් පොහොර නිකම් දෙනවා කියල නේ. පොහොරවල නියම මිල නිර්දේශ කරන්න ඕනෑ. පොහොර දැම්මහම වගාවට උරා ගන්නේ සියයට තිහක වගේ ප්‍රමාණයක් ඉතිරි ප්‍රමාණය අපතේ යනවා. අපි මේකට වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. පසේ පොහොර රඳවා ගැනීමේ හැකියාව වැඩි කරන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන්. කාබනික ද්‍රව්‍ය ටිකෙන් ටික එකතු කිරීමෙන් අපට පුළුවන් පසේ ගුණාත්මක බව වැඩි කරන්න. එතකොට ටික ටික නයිට්‍රජන් අඩු කළ හැකියි.

මේ දැන් තියෙන පසට මේක ක්ෂණිකව කරන්න බැහැ. පසේ පොහොර රඳවා ගැනීමේ හැකියාව වැඩිවෙලා හොඳ තත්ත්වයකට ගන්න අවම වශයෙන් වසර පහක් වත් යනව. මේක හෙමින් යන්න ඕනෑ ගමනක්. නමුත්, මේ ගමන තනියෙන් යන්නත් බැහැ. හැම පාර්ශ්වයකම සහයෝගයෙන් යා යුතු ගමනක්. දැන් ජනාධිපතිවරයාගේ තීරණයට කාගෙන්වත් සහායක් නැහැ නේ. කලබල තීන්දුවලට සහායක් ලැබෙන්නේ නැහැ. ඒකට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අවශ්‍යයි. කාබනික පොහොර භාවිතයට රටේ කවුරුවත් විරුද්ධ නැහැ. මේ හදිස්සියටයි විරුද්ධ. කාබනික වගාවට ගොවි බිම් මාරු කරන්න වසර පහක්වත් යන නිසා එකවර මේ වගේ තීන්දුවක් ගැනීම ගොවි ජනතාව බරපතළ අනතුරකට ඇදවැට්ටවීමක්. ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනයට යන මුදලින් වන්දි ගෙවනවා කිව්වට ඒක මේකට උත්තරයක් වෙන්නේ නැහැ. ක්‍රමානුකූලවයි කාබනික වගාවන්ට මාරු විය යුත්තේ.

■ අපේ රටේ ජනතාවගේ ඔළුවෙ තියෙන්නේ කාබනික කිව්ව ගමන් කොම්පෝස්ට් පොහොර ගැන. කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට් පොහොර ද?

ඇත්තටම නැහැ. කොම්පෝස්ට් කියන්නේ එක ප්‍රභේදයක් පමණයි. එය තමයි, පරණ සාම්ප්‍රදායික කාබනික පොහොර. කාබනික පොහොර කියන්නේ මීට වඩා වෙනස් තත්ත්වයක්. කොම්පෝස්ට් විදිහටම ගන්න ඒවා තියෙනවා. මුහුදු පැළෑටිවලින් නිස්සාරණය කරන ඒවා තියෙනවා. වෙනත් සත්ත්ව අපද්‍රව්‍යවලින් පොඩි ප්‍රමාණයක් ගන්නවා. සත්ත්ව ඇටකටු අඹරා ගන්න සුළු ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව දැනට මේ කාබනික පොහොර කියන සංකල්පය හුගාක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. ක්‍ෂුද්‍රජීවී ක්‍රියාවලිය හා ක්‍ෂුද්‍රජීවීන් පසට එකතු කිරීමෙන් එය කළ හැකියි. ඒ ක්‍ෂුද්‍රජීවීන්ට පුළුවන් පසේ තියෙන නයිට්‍රජන් උරාගන්න. ඒ වගේම දියර වර්ග අවශ්‍ය වෙනවා. වායුගෝලයෙන් සහ පසෙන් ජීර්ණය කරල ලබාගන්න පුළුවන් ක්‍ෂුද්‍ර ජීවී විශේෂ. ඒවට අපි කියනවා, ජෛව විද්‍යාත්මක පොහොර කියලා.

ඒ කෘෂිකර්මයට කියන්නේ කාබනික කෘෂිකර්මය කියල නෙමෙයි. ඒකට කියන්නේ, ජීව විද්‍යාත්මක කෘෂිකර්මය කියලා. ඒ පද්ධතිය ඇතුළෙම ඒවා සංක්‍රමණය වෙන්න හරිනවා ස්වාභාවිකවම. ඒකට බාහිර පරිසරයෙන් සම්බන්ධයක් නැහැ. මහ කැලෑවල වෙන්නේ ඒක. කැලේ මහ විශාල හොරගස් වැවෙන්නේ පොහොර දාල නෙමෙයි නේ. ඒ පරිසරය ඇතුළේ ක්‍ෂුද්‍ර ජීවීන් මඟින් පසේ තියෙන නයිට්‍රජන් ලබා ගන්නවා. ජීරණය කරනවා, ගස්වලට පෝෂණය හෙමින් සැරේ නිදහස් කරනවා. ඒක තමයි ස්වාභාවික ජෛව විද්‍යාත්මක පරිසරය. අපි ඒ පරිසරය කඩලා තියෙන්නේ. අපිට නැවතත් ඒ ක්‍ෂුද්‍ර ජීවීන් පසට ලබා දෙන්න හැකි නම්, ජීවීන් විතරක් නෙමෙයි, එයාලගෙ පරිසරයත් දෙන්න ඕනෑ. එහෙම නම් කෙටිකාලීනව නෙමෙයි, දිගුකාලීනව අපට මේ තත්ත්වයට පත් වෙන්න හැකියාව තිබෙනවා. කොම්පෝස්ට් කියන්නේ කාබනික නෙමෙයි. එය සාම්ප්‍රදායික වගාවන්ට යොදා ගත් ක්‍රමයක්. ඉන් එහා ගිය ක්‍රමයක් තමයි, කාබනික කියන්නේ.

■ මේ තීන්දු තීරණ සම්බන්ධයෙන් කෘෂි ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයෙක් හැටියට රටට කියන්නේ මොකක් ද?

තීන්දු තීරණ ගන්න අය මීට වඩා නම්‍යශීලී විය යුතුයි කියල මම හිතනවා. මේ තීන්දු ගත්තේ රටේ ඉන්න කෘෂි විද්‍යාඥයන්ගෙන් අදහස් අරගෙන ද කියන ප්‍රශ්නයත් තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතනත් තියෙනවා. මේ එකකින්වත් උපදෙස් අරගෙන ද කියන ප්‍රශ්නයත් තියෙනවා. ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ ඒ ඒ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස්, අවවාද අරගෙනයි. කෘෂිකර්මයට කිසි සම්බන්ධයක් නැති වෛද්‍යවරු හරි හාමුදුරුවරු හරි ඒ අයගේ හිතලුවලට තීරණ ගත්තහ ම ඒ තීරණ සාධාරණීයකරණය කරන්න අපට හැකියාවක් නැහැ. ඒක නිකම් විකාරයක්. ඒක හරියට පිස්සන්ට ඕනෑ විදිහට වෛද්‍යවරයා වැඩ කරනවා වගේ. පාලකයන් තීරණ ගනිද්දී, මීට වඩා වගකීම්සහගත විය යුතුයි. ජනප්‍රිය තීරණ නොගෙන හොඳ සංවාදයක් තුළින් කාටත් එකඟ විය හැකි තීන්දු ගත යුතුයි. දැන් ගෙන ඇති තීන්දුව අනිවාර්යයෙන්ම හානිදායකයි.

අපි ‘ජාතික විද්වත් සංවිධානය’ ලෙස ‘ජාතික ජනබලවේගයේ’ ප්‍රතිපත්ති ප්‍රකාශයට කෘෂිකර්මය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළා. මේ සම්බන්ධයෙන් අපි එහි දී විග්‍රහාත්මකව විස්තර කළා. අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. මිනිස්සුන්ට මේක තෙරෙන්නේ නැතිව රැවටිලා ගියාට හොඳ මිනිස්සු දැන්වත් මේක පිළිගන්න ඕනෑ. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක්. එහෙම නැතිව මේ රැවටීම් හරහා වෙන්නේ රටත්, ජනතාවත් අනතුරෙන් අනතුරට පත්වීමයි●

සංවාදය: ලසන්ත වීරකුලසූරිය

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

eighteen − 1 =