මිලිටරි විනය තුළින් රටෙහි චින්තන විප්ලවය සඳහා අවශ්‍ය නිදහස් චින්තකයන් බිහිකළ නොහැක

කොතලාවල පණතත් සමගින් යළි නිදහස් අධ්‍යාපනය පිලිබඳ කතාව කරළියට පැමිණ තිබේ. මේ පනතට එරෙහි අදහස් හා ගැටෙන බොහෝ අයගේ මූලික තර්කයක් වනුයේ තමන්ට රජයේ විශ්ව විද්‍යාලයට ඇතුල් වන්නට නොහැකි නම් සහ මුදල් වියදම් කිරීමේ ශක්තියක් ඇත්නම් පුද්ගලිකව උපාධිය ලබාගැනීමේ ඇති වරද කුමක්ද යන්නයි. අධ්‍යාපනය ලැබීමට සැමට අයිතියක් තිබිය යුතුය යන්න අවිවාදිතය. ඒ සඳහා මාර්ග තිබිය යුතුය යන්නද අවිවාදිතය. ගැටලුව වන්නේ නිදහසින් පසුව රට කළ සෑම ආණ්ඩුවක්ම ගෙන ගිය අඥාන පිලිවෙත් හරහා රටෙහි අධ්‍යාපනය විනාශ මුඛයට ගෙන ගොස් තිබීමයි. රටෙහි ප්‍රමුුඛතාවන් විකෘති කළ පාලකයන් දිගටම කළේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන් දිගටම විනාශ කරමින් ඒවා වෙළඳ භාණ්ඩ විය යුතුය යන අදහස සමාජය තුළ තහවුරු කිරීමයි. අද වන විට දේශපාලකයන් මෙන්ම පුරවැසියන්ද අපිට සල්ලි තයෙනව නං කොහෙන් උපාධි ගත්තහම මොකද යනුවෙන් අසන්නේ එහෙයිනි.

එහෙත් අප වටහා ගත යුත්තක් තිබේ. ඒ රටක අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් නොවන බවයි. එසේම රටක සෞඛ්‍යයට ප්‍රවාහනයට සහ අධ්‍යාපනයට ආණ්ඩු මගින් ආයෝජනය කිරීම යනු පාඩුවක් නොව අනාගතය උදෙසා කරනු ලබනා දැවැන්ත ආයෝජනයක් බවයි. කවර අර්බුද තිබියද දීර්ඝ කාළයක් රටෙහි රජය යටතේ පැවති සෞඛ්‍ය පහසුකම් වල වටිනාකම හොඳින්ම පෙන්නූ අවස්ථාව කෝවිඩ් වසංගතයයි. රටක සෞඛ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය සේවයක් වශයෙන් පවත්වා ගැනීමේ වටිනාකම මෙවර තවත් තහවරු විණි. අනෙක් ක්ෂේත්‍ර දෙකෙත් එලෙසමය. අප කළ යුතුව ඇත්තේ ඒ සඳහා තව තවත් රාජ්‍ය ආයෝජන පිණිස බල කිරීම සහ එකී ආයතන විධිමත් කිරීමට බල කිරීම මිස විකල්ප ලෙස අධ්‍යාපනය ඇතුළු මේ ක්ෂේත්‍ර දෙක වෙන්දේසි පොලට දැමීම නොවේ. රටක ආණ්ඩු අධ්‍යාපන සෞඛ්‍ය සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර තුන තම විධිමත් පාලනය යටතේ පවත්වා ගත යුත්තේ ඒ සඳහා කරනු ලබනා ආයෝජන දීර්ඝකාලීනව රටෙහි සංවර්ධනයට පිටිවහල් වන හෙයිනි.
අනෙක් අතින් අප විශ්ව විද්‍යාල සහ සරසවි සිසුවා යනු කවරෙක්ද යන්න ගැන වටහා ගත යුතුව තිබේ. මිලිටරි විනය තුළින් හමුදා සොල්දාදුවකු නිර්මාණය කළ හැකි වුවද රටෙහි චින්තන විප්ලවය සඳහා අවශ්‍ය පිරිස් නිර්මාණය කළ හැක්කේ නිදහස් චින්තනයට ඉඩ සලසන සරසවි මගින් පමණි.
එහෙත් මේ අතරම රටක හමුදාවට ඇවැසි පිරිස්හී සංවර්ධනය උදෙසා ඊට ආවේනික අධ්‍යාපන පද්ධතියක් පැවතිය යුතු යන්න පිලිගත යුතුය. එහෙත් කිසි විටෙකත් එය සිවිල් සමාජය සමග බද්ධ කිරීම හෝ පටලවා ගැනීම නොකළ යුතුය. ඒ අර්ථයෙන් කොතලාවල හමුදා ඇකඩමිය සංවර්ධනය කළ යුතු අතර එය සිවිල් සමාජය සමග ගැටගැසීමෙන් තොරව පවත්වා ගත යුතුය. සරසවි අධ්‍යාපනය සහ සරසවි සිසුුවා ගැන වටහා ගැනීමට යමකෙුට ඇවැසි නම් පළමුවෙන්ම කළ යුත්තේ ලංකාවේ සරසවි නිර්මාණය කළ අයිවර් ජෙනිංග්ස් දෙසට හැරීමය. ඔහු විසින් එදා පවසන ලද දේ අද අපේ දේශපාලකයන් අධ්‍යාපනය ගැන පවසන දේට වඩා අදටත් අදාලය.
සරසවි සිසුවා යනු පංති කාමරයක කොටු කර නීති මගින් පාලනය කරන්නකු නොව නිදහස් චින්තනයට යොමු කරන ලද්දෙක් විය යුතුය.
පවත්නා සරසවි පද්ධතියද දීර්ඝ කාලීනව රෝගීව පවත්නා බව නොරහසකි. එහෙයින් එය වහා නිරෝගී පද්ධතියක් බවට පත් කළ යුතුය. එහෙත් ඊට විකල්පය වනුයේ රටේ අධ්‍යාපනය විකිණිම සඳහා කඩ ඇරීම නොවෙන බව අප වටහා ගත යුතුය.
වර්තමානය වනවිට අධ්‍යාපනය කෙතරම දුරට අලෙවි භාණ්ඩයක් බවට පත්ව ඇද්ද යන්න මෙන්ම එහි ඇති ගැටළුද හො‍ඳින්ම පෙනී ගොස් තිබේ. එහෙයින් පුරවැසියන් ලෙස අප ආණ්ඩු වලට බල කළ යුත්තේ අධ්‍යාපනය සැමගේ අයිතියක් බව පිලිගෙන ඒ සඳහා විධිමත් වැඩපිලිවෙලක් සැකසීමට සහ අධ්‍යාපනය අනාගත ආයෝජනයක් ලෙස ගෙන ඊට ප්‍රමාණවත් ප්‍රතිපාදන සැපයීමට ය. අප එසේ නොකර පුරවැසි වගකීම මගහරිමින් සල්ලි තියෙනව නං කොහෙන් ඉගෙන ගත්තම මොකද යන තර්කයෙහි එල්ලෙන්නේ නම් එහි අහිතකර ප්‍රතිපල අපට භුක්ති විඳින්නට වනු ඇත්තේ අනාගත පරම්පරාවන් හරහා බවද අප අමතක නොකළ යුතුය.
– චුලානන්ද සමරනායක (fb)

Leave A Reply

Your email address will not be published.

one + 1 =