පොතෙන් ආදරය බෙදන පොත් මාමා

ලෝකයට ආදරය කරන මිනිසුන් මෙලොව සිටිනාතෙක් කිසිවෙකුටත් මනුෂ්‍යත්වය මෙලොවින් තුරන් කිරීමට හැකි නොවනු ඇත. ආදරය කොතනද ජීවිතය එහි වේ. සොඳුරුතම හිත පුරා පැතිරුණු මානව හිතවාදීත්වය තවමත් මේ පොළොවට මියැදෙන්නට නොදී එහි ප්‍රාණය රැකගනිමින් සිටී. එවන් මිනිසුන් අතර ඔහු ඉහලම ඉසව්වක සිටින වග අභිමානයකින් කිවයුතුම වග මගේ හිත කියන්නේය. පිදිය යුත්තන් පුදන්නට ප්‍රමාද වන්නේ නම් එය සමස්ත සමාජයේම දෝෂයකි. ඉදින් මෙසේ ඒ දෝෂය මග හරිමු.
මේ කතාව එවන් පිදියයුතු මිනිසෙකු පිලිබඳවය. පොත් පෙට්ටියක් බයිසිකලයේ බැදගෙන ඔහු කඳු පල්ලම් පසුකරමින් හොයා යන්නේ ආදරය, කරුණාව හා මනුෂ්‍යත්වයයි. තමන්ට ලොව දුන් සියල්ල ඊට වඩා ආදරණීය ලෙස අනාගත පරපුරට තෑගී කලයුතුවග ඔහුගේ ඒකායන පැතුමයි.

නමින් මහින්ද දසනායක වූ ඔහු බොහෝ දෙනෙකු දන්නේ පොත් මාමා ලෙසය. ‘’ පොතයි මමයි ‘’ සංකල්පය හදවතේ අමුණාගෙන ඔහු යන ගමන් බොහෝ දුරය. ඇතැම්විට ඔහු සමග අඩියක් දෙකක් දුවන්නටද අපිට නොහැකි තරමය. එහෙත් ඔහුට ඒ මහා එවරස්ට් කන්ද වුව තමන්ගේ උතුම් පැතුම් අභිමුව කුඩා කඳු ගැටයකි.
කෑගල්ල අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් වඩුමුල්ල ගම්මානයේ ඉපදෙන මහින්ද දසනායක කෙහෙල්වත්ත මහා විද්‍යාලයෙන්හා කෑගල්ල බණ්ඩාරනායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා රජරට විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඔහු ළමා රක්ෂණ නිලධාරියෙකි. පැය අටට නියමිත රාජකාරිය කොට නිස්කාන්සුවේ ඉන්නට තිබෙන ඉඩකඩ අමතක කොට මුළු හැන්දෑ වරුවම ගමින් ගමට යන්නේ ලෝකය ගිලගනිමින් පවතින අඳුරට අංශු මාත්‍රයක හෝ සහන එළියක් උදාකරනු පිණිසය.
‘’ මම මුලින්ම ළමා රක්ෂණ නිලධාරියක් විදියට රස්සාවට යන්නේ යටියන්තොටට. මට එතකොට දැනෙන්න ගත්ත මේ දරුවොන්ගෙන් කොටසකට වෙන අසාධාරණය. වතු ආශ්‍රිත දරුවොන්ට අධ්‍යාපනය වගේම අවශ්‍ය රැකවරණයවත් නෑ. මේක වතු වල දරුවන්ට විතරක්ම උරුම දෙයකුත් නෙවි සමාජයේ බොහොයක් දරුවන්ට උරුම දෙයක් කියන එකත් මට තේරුනා. ළමයින්ට අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍යය ඇතුළු සියලු හිමිකම් ලැබෙන්න ඕනේ. විභාග පාස් කිරීම නෙවි මනුෂ්‍යත්වයෙන් පරිපූරණ කිරීමයි විය යුත්තේ. ඒ සඳහා කියවීම මූලික කරගත් ළමා පරපුරක් බිහි කිරීම හොදම විසදුම බව මට හිතුණා. මම මේක මගේ ගමෙන් පටන් ගත්ත. පොත් ටිකක් අරන් ගමින් ගමට ගිහින් පොත් කියවන්න හුරුකරන එක. එන්න එන්න ඉල්ලෙම් වැඩි වුණා. දැන් එක නොකර බැරිම දෙයක් වෙලා. මට සිංහල දෙමල මුස්ලිම් කියල බේදයක් නෑ. අපි මිනිස්සු , අපි සත්තු නෙවි ඉතින් හැමෝම එකයි. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් හොදම ආයුධය අධ්යාපනය විතරයි කියන ලෝකප්‍රකට කියමන මගේ එක පරමාදර්ශයක්. ‘’

 

මහින්ද දසනායකගේ ‘’ පොතයි මමයි’’ දැන් දකුණට නොව උතුරටත් හමාගොස් අවසන්ය. මට ඔහු මුල්වරට හමුවන්නේ යාපනේදීය. අපි ඔහුගේ උතුම් ගමනට අරමුණට ආදරේ කරන්නට ගත්තේ මේ ඔහුගේ යුතුකමක් පමණක් නොව මනුෂ්‍යයන් වූ අප සැමගේද යුතුකමක් වූ හෙයිනි. මාසෙකට වතාවක් හැන්දෑවට පොල්ගහවෙලින් රෑ තැපැල් දුම්රියට නගින ඔහු යාපනේ ඈත ගම්මාන හොයා යන්නේ පොත් මල්ලක්ද කරපින්නාගෙනය. ඊට යාපන සරසවියේ සිසුන්ගේ සහයෝගය උපරිමයෙන් ලැබෙන්නේ අධ්‍යාපනයේ හා මනුෂ්‍යත්වයේ අරුමය ඉහටත් උඩින් අත් විඳීම හේතුකොටගෙනය. දැන් දැන් ඔහු උතුර පසුකොට නැගෙනහිරට අතටද පොත් සමග පියාසර කරන්නට ගමන් ආරම්භ කොට ඇත.


‘’ මේ කියන කිසි බෙදීමක් පුංචි දරුවොන්ට නෑ. ඒ පුංචි හිත වතුර වගේ පවිත්රයි . ඒ හිත් ආදරෙන් විතරය් පිරිලා තියෙන්නේ. පොත් තමා ලෝකෙට සාමය සහෝදරත්වය ගෙනියන ලොකුම වගේම බලවත්ම ආයුධය. අපි නැගෙනහිරට ගියාම ඒ ගම්මානවලින් අපිව ආදරෙන් පිළිගත්තා. අපි උතුරේ දකුණේ දෙකේදීම දෙමල මුස්ලිම් ගම්මාන වලට යනවා ඒ සමහර ගම්වල මුස්ලිම් කාන්තාවෝ තමයි පොත් එක්ක වඩා වැඩ කරන්නේ. මේක ලොකු සතුටක්. පොත් එක්ක කිසිකෙනෙක් තරහ නෑ. මැක්සිම් ගෝර්කි කියන්නේ ‘’ මිනිස්සුන්ට වඩා පොත් ත්‍යාගවන්තයි ‘’ කියලා. මම හිතනවා අපි ඒක අත් විදිනවා . සල්ලි මල්ලකින් කරන්න බැරි දේවල් පොතක එක පිටුවකින් එක වචනෙකින් කරන්න පුළුවන්. අනිත් කාරණේ අපිට නිදහස් අධ්‍යාපනේ ලැබිල තියනවා. මෙතනින් එහාට අපියි තීරණේ කරන්න ඕනේ කොහෙටද අපි යන්නේ . ලෝකෙට අපෙන් මොනවද කෙරෙන්න ඕනේ කියල. මිනිස්සු ආයුධ හදද්දී අපි මෙහෙම දෙයක්වත් නොකලොත් මේ ලෝකේ විනාශ විනාස්හෙට යාම වලක්වන්නේ කොහොමද? ලෝකේ ආදරණීය තැනක් කරන්නේ මිනිස්සු , සාහිත්‍යය, පොත්පත් හා නිර්මාණශීලී පරිකල්පනය. ඒ වෙනුවෙන් තමයි මේ ‘’ පොතයි මමයි ‘’ සංකල්පය සමාජගත කරන්නේ. ‘’
මේ ඔහුගේ ආදරණීය හිතයි. ඔහු අපිට මනුෂ්‍යත්වය උගන්වන පොතක් වන්නේද මේ නිසාය. ඔහුට ඉහල රැකියාවක්, තත්ත්වයක් සොයා යා හැකිව තිබියදීත් ඔහු මෙලොව ළමා පරපුර වෙත කොන්දේසි විරහිතව ආදරය කරමින් සිටින්නේය. පොතයි මමයි ලංකාව පසුකොට ලෝකයේ සතර දිග් බාගය පුරා පැතිර යන දවසක් වෙනුවෙන් ඔහු පෙරුම් පුරන්නේය.
– සඳරැසී සුදුසිංහ(fb)

Leave A Reply

Your email address will not be published.

fifteen + nine =