කේතුමතී හෝටලයේ රතු ඉරි

කලා කෘතියක් එක්ක ගමනක් යන අවස්ථාවක ලොකු බයක් දැනේ නම්, ඒ බය දැනෙන සහෘදයා අයත් වෙන්නේ කුමන කුලකයකට දැයි නොදනිමි. මේ කියන්නේ හදවතේ රිද්මය ඉහළ යාම ගැන නම් නොවේ. ඉතා පැහැදිලිව ‘බයක්’ ඇති වීම ගැන ය. ඇත්ත ජීවිතයේ දී බය නොවන කෙනකු කලා කෘතියකින් බය කළ හැකි බවට පාඩමක් ඉගෙන ගැනීමට මේ කෘතියෙන් හැකි විය.

ඒ කෘතිය මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘රතු ඉරි අඳින අත’ ය.

මේ පොත කියවාගෙන යම් කඩඉමකට යන විට බය දැනුණේ ඇයි දැයි මේ සටහනෙන් පැහැදිලි නොකෙරේ. එය තේරුමක් නැති වැඩක් ය. කොහොම වුණත්, මේ මහ පොළොවේ පවතින අතිශය රහසිගත වූ ද, විභූෂිත සළුපිළියෙන් සැරසුණා වූ ද, සුධා ධවල මුනිවර පිළියෙන් සැරසුණා වූ ද, අතිශය ජනකාන්ත වාගේම බුද්ධි ගෝචර සේ ද ආදී වූ විවිධ වේශනිරූපණයෙන් පෙනී සිටින ඇත්ත හරියටම දැකිය යුතුව තිබේ.

ඉක්මනින්ම ‘රතු ඉරි අඳින අත’ වෙත යොමු වෙමු.

. දැන් මරා දැමෙන්නේ උද්ධෘතවල නම් කියැවෙන අය නොවේ. ඒ උපුටා කියන කියමන් කියූ අය මරා දැමිය නොහැකි ය. ….එහෙත් ඒ ව්‍යාජ නම් කියැවෙන දවසට හෝ වැඩි දවසක් යන්නට පෙර කෙනකුට වෙඩි තබනු ලැබේ. එසේ නම් ජපන් සෙන්සේ ජීවන මධුර භාෂණයේ කියන නම් යනු මිනීමරුවන් වෙත යැවෙන රහස් පණිවිඩ විශේෂයක් ද?

“ඒ සොඳුරු රසවතා අප කාගේත් විඤ්ඤාණයට ප්‍රවේශ වූ අනපේක්ෂිත ආකාරයෙන් ඔහුගේ ආකර්ෂණීය පෞරුෂයත්, අපගේ විඤ්ඤාණයේ ස්වභාවයත් එක්වර ප්‍රදර්ශනය වේ.”

රතු ඉරි ඇඳීමට අත්තිවාරම දමන්නේ ඒ ලෙස ය. එතැනින් 195 පිටුවට රිටිපිම්මක් පැනීමට සිදු වේ.

“බඩී හිරගෙදරට ගියේත්, හිරගෙදරින් ආපසු ආවේත් චින්තා අත දැන් තිබෙන වර්ගයේ ‘ගී මිණි’ අත, සිත දරා නොවේ. කෙනකුට පහර දීමට ඔහු අතට ගෙන ඇති එකම ආයුධය දෙකේ මිටියකි.”

මේ සටහන මෙතැනින් ඉදිරියට ගෙන යාමට විදේශ ආධාර අවශ්‍යව පවතී. ආධාර කීවාට ණයට ගැනීමක් ය. දයාසේන ගුණසිංහ නම් අදීන පත්තරකාරයාගේ ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ කෙටිකතා සංග්‍රහයෙන් ණයට ගැනීමක් ය. එහි එන ‘වෘත්තාකාර බන්ධනාගාරය’ කෙටිකතාවෙන් ණයට ගැනීමක් ය. මේ කෙටිකතා සංග්‍රහය පළ කර තිබෙන්නේ 1990දී බව අමතර කරුණක් වුවත්, අත්‍යවශ්‍යම දෙයක් හැටියට සඳහන් කළ යුතු වේ.

“කුඩා රූපවාහිනී තිරය විශාල මුහුණකින් වැසී තිබිණි. එම මුහුණ මැද වූ කට බාබරයකුගේ කතුරක් මෙන් විදුලි වේගයෙන් දිගහැරී, හැකිළෙයි. හැකිළී, දිගහැරෙයි. එය අනාගතය පිළිබඳ චතුර කතාවකි. එහෙත් සවන් දී සිටින්නට තරම් අලුත් දෙයක් එහි නැත. අනාගතය කවදත් සෞභාග්‍යවත්ය. අතීතය විභූතිමත්ය. එහෙත් වර්තමානය…?”

තවත් පොඩි උද්ධෘතයක් අවශ්‍ය ය. “අම්මාගේ දෑස රූපවාහිනී තිරය මත මැලියම් ගා ඇලවූවා වැනි ය. කතාව නිම වී ගී ප්‍රසංගය එළඹෙන තුරු ඕ නොඉවසිල්ලෙන් බලා සිටින්නී ය.”

දැන් අපි කාටත් පුංචි අභ්‍යාසයක් කිරීමට සිදු වේ. මෙයින් දශක තුනකට පෙර අතීතයේ රූපවාහිනී මාධ්‍යයේ සන්නිවේදනය තිබුණේ කවර ලෙසකින් ද? ප්‍රේක්ෂකයා එයට බද්ධ වී සිටියේ කවරාකාරයෙන් ද යන්න තේරුම් ගැනීම ය. සන්නිවේදකයාගේ කට බාබරයකුගේ කතුරක් මෙන් විදුලි වේගයෙන් වැඩ කරයි. එයින් සන්නිවේදනය කරන්නේ අනාගත සෞභාග්‍යයත්, අතීත ශ්‍රී විභූතියත් ගැන ය. ඒ මිය ගිය ඊයේ සහ නොපැමිණි හෙට ගැන පමණක්ම විදුලි වේගයෙන් ක්‍රියා කරන කතුරු කටින් දෙසාබාන්නේ ය.

ඒ අතර ප්‍රේක්ෂකයා ඉන්නේ කොතැන ද? උපුටා ගැනීම අනුව නම්, ප්‍රේක්ෂකයා අම්මා පමණ ය. ඇය නොඉවසිල්ලෙන් සිටින්නේ ගී ප්‍රසංගය එළැඹෙන තුරු ය. ඒ හිටින්නේ රූපවාහිනී තිරය මත මැලියම් ගා ඇස් අලවාගෙන ය. රූපවාහිනියෙන් විකාශනය කරන දේ සහ එහි ග්‍රාහකයා යන දෙපාර්ශ්වයේම විඤ්ඤාණයේ ස්වභාවය මේ තුළින් කියවාගත හැකි ය.

තවත් ටිකක් ප්‍රේක්ෂක විඤ්ඤාණය කියවාගෙන සිටීම රතු ඉරි ඇඳීම තේරුම් ගැනීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ය.

“කමනී යළිත් හැරී බලන විට රූපවාහිනී තිරය මත කවටයන් තිදෙනෙක් විහිළු තහළු කරමින් සිටියහ. අම්මාට හොඳටම හිනා බැව් ඇගේ දෙවුර සහ පිටිකර මස්ගොබ සෙලවෙන හැටියෙන් පෙනිණ.”

ලියනගේ අමරකීර්ති ‘රතු ඉරි අඳින අත’ ප්‍රකාශයට පත් කරන්නේ 2019දීය. හරියටම දශක තුනක් මෙපිට දී ය. “ඒ රසවත් රූපවාහිනී සංවාදය අවසන් වන තුරු සුමිත් සහ පවුල බලා සිටියේ කොයියම් හෝ මොහොතක මහාචාර්යවරයාගේ දුරකථන අංකය රසික සමාජය වෙත නිකුත් කරන තුරු ය. එහෙත් එය සිදු වූයේ නැත.”

දැන් තවත් කරුණු කීපයක් ලිහා බැලිය යුතු ය. දයාසේන ගුණසිංහට ‘වෘත්තාකාර බන්ධනාගාරය’ හි දී කීමට හැකි වූයේ, රූපවාහිනියට ඇස් අලවාගෙන සිටි අම්මා ගැන පමණ ය. ලියනගේ අමරකීර්තිට අද කීමට සිදු වී තිබෙන්නේ, රූපවාහිනියේ වැඩසටහනකට බැඳුණු සුමිත් සහ පවුලේ සියලු දෙනාම ගැන ය. එදා ‘වෘත්තාකාර බන්ධනාගාරයේ’ රූපවාහිනියෙන් විකාශනය කළ අතීත ශ්‍රී විභූතිය ගැන හෝ අනාගත සෞභාග්‍යය ගැන ඕනෑවට එපාවට මෙන් නැරඹීමට හිටියේ අම්මා පමණ ය. අම්මා ඇස් දල්වා බලා හිටියේ මේ විභූති කතා කෙරෙහි නොව ගී ප්‍රසංගය කෙරෙහි ය.

අද සුමිත්, බිරිඳ, විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා පුතා සහ දියණිය යන මුළු පවුලම රූපවාහිනිය වටා එතිලා ය. මේ අය බලන්නේ නිකම්ම ගී ප්‍රසංගයක් පමණක් නොවේ. අනාගතයේ සෞභාග්‍යය ප්‍රක්ෂේපණය කරන අතීත විභූතිය ගැන ය. මේ පිරිස බලන්නේ ගී ප්‍රසංගයක් නොවේ ය. ‘සුරම්‍ය සැන්දෑව’ ය. (එදා ස්වාධීන රූපවාහිනිය හෝ ජාතික රූපවාහිනිය පමණ ය. අද රජයේ යැයි කියන ඒ දෙකට අමතරව දුසිමකට වැඩි පෞද්ගලික නාළිකා ද වේ.)

“සුභාවිත ගීතයේ අපරිමිත මිහිර විහිදුවන අපමණ රසික ප්‍රසාදය දිනූ සුරම්‍ය රසික සංවාද මණ්ඩපය උත්තම රසිකත්වයෙන් සජ්ජිත වන  සුරම්‍ය සන්ධ්‍යාව එළඹෙන වෙලාව’ පූරක නාලකගේ හඬින් කියැවෙන විට මහත්තයා කොහේ හිටියත් එය නරඹන්නේ ය. මහත්තයාගේ රසිකත්වය මේ සංවාද මණ්ඩපය නිසා බෙහෙවින් වර්ධනය වී තිබේ. මහත්තයාගේ සහචර පාර්ශ්වයට ද, ඔහු නිසාම උසස් රසිකත්වයේ දොර හැරගෙන වින්දනයේ මන්දිරය වෙත ඇතුළු වන්නට හැකි විය. දැනුත් මහත්තයා තරු තුනේ හෝටලයේ ඔහුටම වෙන්වූ ආරක්ෂිත කාර්යාල සංකීර්ණයෙහි ඒ පිරිසෙන් කීපදෙනෙක් සිටිති. අඟල් සීයක පැතලි තිර ටෙලිවිෂනය ප්‍රසංගය ජීවමානයෙන් මෙන් දක්වයි. මෙදින ද ‘සුරම්‍ය සන්ධ්‍යාව’ අනිවාර්යයෙන් නරඹන්නට කොහොමත් නියම වී තිබිණි.”

‘වෘත්තාකාර බන්ධනාගාරයේ’ රූපවාහිනී තිරය ඉදිරියේ සිටි අම්මා වෙනුවට අද කීදෙනෙක් සිටිනවා ද? සුමිත් සහ ඔහුගේ පවුලේ සියලු දෙනා එකපැත්තක ය. ඒ වැනි වූ දසලක්ෂ සංඛ්‍යාත පවුල් පිටින් ‘හරවත්’ රූපවාහිනී වැඩසටහන් නරඹන අය බොහෝ වෙති. ඊට අමතරව අද තවත් පිරිසක් එක්වී සිටිති. ඉහත උපුටා ගැනීමෙන් දැක්වෙන්නේ සුවිශේෂී ප්‍රේක්ෂක පිරිසක් ගැන ය. මහත්තයා, ඔහුගේ සහචරයන් සහ අනිවාර්යයෙන් එය නරඹන්නට නියම වූ පිරිසක් ආදීන් ය.

මොවුන් සිටින්නේ නිවසක නොවේ. තරු තුනේ හෝටලයක ය. මහත්තයා ඉන්නේ ඔහුටම වෙන් වූ ආරක්ෂිත කාර්යාල සංකීර්ණයේ ය. අඟල් සීයක පැතලි තිරයක් ඉදිරියේ ය. මේ සිටින මහත්තයා සහ සහචර පිරිසම ‘සුරම්‍ය සන්ධ්‍යාව’ නිසා උසස් රසිකත්වයට පත්වූ පිරිසක් ය. ‘වෘත්තාකාර බන්ධනාගාරයේ’ අම්මා මෙන් තනිවම මස්ගොබ සෙලවෙන්නට සිනාසෙන පිරිසක් නොවේ ය. එදා කතුරක් මෙන් විදුලි වේගයෙන් කියැ වූ අඥාන නිවේදකයා වෙනුවට සම්භාව්‍ය පූරක කටයුත්තක නිරත වන නාලක ය.

සුභාවිත ගීතයේ අපරිමිත මිහිර විඳින තරු තුනේ මෙම හෝටලයේ රසික මණ්ඩපයේ සිටින අය ගැන එක් ආකාරයක හරස්කඩක් ය මේ. “මොනවද පට්ට වේසි අතන මෙතන මිරිකන්නේ ? තෝ දන්නවා ද මං ඔක්කොම නවත්වලා මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ ?” ඔහු ඉනේ තිබූ පිස්තෝලයක් අතට ගෙන බටෙන් අල්ලා ඉහළට ඔසවයි.”

සුරම්‍ය සංවාද මණ්ඩපයට සම්පත් දායකයෙක් සිටී. නාලක නිවේදක තැන කටයුතු කරන්නේ මේ සම්පත් දායකයා සමඟ ය. ඔහු කවුරුන් ද? “ජපානයේ අධ්‍යාපනය ලබා එහි විශ්වවිද්‍යාලයක කලක් උගන්වා ලංකාවට පැමිණ එකරැයින් ජනප්‍රිය වූ මහාචාර්යවරයා ලෙස චන්දන හඳුන්වා දෙන විට නැඟුණ උණුසුම් අත්පොළසන් නාදය සුමිත්ගේ හද උණුසුම් කළේ ය.” මේ සම්පත් දායකයා එසේ මෙසේ කෙනකු නොව ජපානයේ සිට පැමිණි මහාචාර්යවරයෙක් ය.

තවත් කෙනෙක් ගැන කියවාගෙන ඉදිරියට යාම වඩාත් අවශ්‍ය ය. ඉහත උපුටා ගත් කොටසෙන් කියැවුණු පිස්තෝලයක් අතට ගත් “පට්ට වේසි” යැයි කී පුද්ගලයා කවුද යන්න ය. ඔහු නමින් ‘චින්තා’ ය. ඔහු ගැන යමක් කියවා ගත හැකි එක් මානයක් මෙසේ ය:

“වේගවත් අත්පොළසන් නාදයක් නැඟිණි. ඊ ළඟට සංවාදයට එක් වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ විවරණය අගය කළේ ය. සිනමාකරුවාගේ අර්ථපූර්ණ විවරණය නිසා තමන්ට පවා කියන්නට දෙයක් ඉතිරි නොවූ බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කීවේ ය. එහෙයින්, එතුමා ඒ සිනමාවේදියාට ස්තුති කළේ ය”. රූපවාහිනී චැනලයක ‘සුරම්‍ය සන්ධ්‍යාව’ සුභාවිත ගී රසවින්දනීය වැඩසටහන තරු තුනේ හෝටලයේ සිට නැරඹූ පිරිස අතර මේ කියන සිනමාවේදියා ද සිටියේ ය. කාන්තාවකට “පට්ට වේසි” යැයි කියා පිස්තෝලය අතට ගත්තේ ද මොහු ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් සිනමාවේදියකු වී අමතරව ගී රස විඳින සංවාද මණ්ඩපයක දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුගෙන් ප්‍රශංසා ද ලැබීය.

ඔහු තවත් අවස්ථාවක දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් කී කතාවක් මෙසේ ය: “උඹලා දන්නවා ද? මේක පුණ්‍යභූමියක්.” සිනමාවේදියා හැඟීම්බර හඬින් කීවේ ය. ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ ඇස්වල සතුටු කඳුළු පිරිණි. සිනමා කණ්ඩායම සමඟ ගත් අවසන් සෙල්ෆියේ ඒ සතුටු කඳුළු ද තවමත් දැකිය හැකි ය.” සිනමා අධ්‍යක්ෂ පේරාදෙණිය සරසවියෙන් පිටව ගිය පසු එක්තරා ශිෂ්‍යයකු හට දරුණු ප්‍රහාරයක් එල්ල කෙරේ. “තෝ එෆ්. බී. එකේ මඟුල් ලියලා, අපිටත් ලැජ්ජයි. කැම්පස් එකේ නමත් ඉවරයි. යන්න ප්‍රහාරකයන්ගේ සටන් පාඨය විය”. මේ ප්‍රහාරයට ලක් වූයේ රූපවාහිනියේ ‘සුරම්‍ය සන්ධ්‍යාව’ නරඹන සුමිත්ගේ පුතා ය.

රූපවාහිනී චැනල්වලින් කරන්නේ ප්‍රේක්ෂකයා උසස් රසිකයෙක් කිරීම පමණක් නොවේ. තවත් කුදුමහත් දේ අතර පත්තර කියවා දීම ද කරන්නේ ය. අලි වැටවල් ඉදි කිරීමේ ව්‍යාපෘති පවා කරන්නේ ජනතාවගේ ජීවිත බේරා දීමට ය.

“බඩී පවා නොදැන සිටි රහසක් චින්තා හෙළි කළේය. ‘නයන’ චැනලයේ උදේට පත්තර සිරස්තල කියවන්නට පුවත් පත් එන්නේ නොදන්නා කාර්යාලයක් හරහා ය. ඒ පුවත් පත්වල ඇතැම් නම් රතුපාටින් ඉරි ගසා එවන්නේ ‘ඒවං මේ සුතං’ පිටපත ලියන රංජනට හඳුනා ගන්නට ය. චින්තා කියන විදිහට රංජන, චන්දන සෙන්සේට උද්ධෘත සොයා දෙන්නේ රතෙන් ඉරි ඇඳි නම් ඔස්සේ යමිනි. ඒ කිසිවක් තීරණය වන්නේ මුණගැසී හෝ දුරකථනයෙන් හෝ නොවේ. කිසිවෙක් අන් කිසිවකු හමු නොවෙති. රතු ඉරි අඳින අත කාගේ දැයි සොයන්නට තැත්කිරීම අනුවණකමකි. ප්‍රවෘත්ති ටික රස කර කියන සිනා සපිරි පත්තර කෙල්ල සේ සතුටු මුහුණින් අපේ කොටස කිරීම අපට පැවරී ඇත”.

විශේෂයෙන්ම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘ළඳුනේ’ ගීතය විචාරය කර දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් පවා විස්මයට පත් කරන සිනමාවේදී චින්තා තවත් බොහෝදේ දන්නා බව මෙම උද්ධෘතයෙන් කියැවේ. නැවත මතක් කරන්නේ නම්, ‘ළඳුනේ’ ගීය රසවින්දනය කළ මොහු “පට්ට වේසි” යන ගරු නම්බුව දී පිස්තෝලයක් ඇද ගත් පුද්ගලයා ය. සුරම්‍ය සංවාද නරඹමින්, තරු තුනේ හෝටලයක රැඳී සිටින පිරිසගෙන් කෙනෙක් ය.

“ජපානයෙන් ආ සෙන්සේගේ අහිංසක ප්‍රබුද්ධත්වය යම් ඝාතක කණ්ඩායමක් විසින් මංකොල්ල කා ඇති බව පෙනේ. දැන් මරා දැමෙන්නේ උද්ධෘතවල නම් කියැවෙන අය නොවේ. ඒ උපුටා කියන කියමන් කියූ අය මරා දැමිය නොහැකි ය. ….එහෙත් ඒ ව්‍යාජ නම් කියැවෙන දවසට හෝ වැඩි දවසක් යන්නට පෙර කෙනකුට වෙඩි තබනු ලැබේ. එසේ නම් ජපන් සෙන්සේ ජීවන මධුර භාෂණයේ කියන නම් යනු මිනීමරුවන් වෙත යැවෙන රහස් පණිවිඩ විශේෂයක් ද? සෙන්සේගේ සුගීතවත්, ප්‍රසාදිත, සුභාෂිත සංවාදය වෙත මිනීමරු වෛරසයක් රිංගා තිබේ.” මෙය ෆේස්බුක් සටහනක් ය. අර මඳියි නොකියන්න ගුටි කෑ සුමිත්ගේ පුතා තැබූ සටහනක් ය. ඔහු මෙවැනි නිරීක්ෂණ ලියන්නේ ‘මනසිකාර’ යන නමිනි.

“මෙම මනසිකාර සටහන දුටු විගස චින්තා පුදුමයට පත් විය. තමා කරන මරණීය චෙස් ක්‍රීඩාවේ සියලු මූලධර්ම විනිවිදින ශක්තියක් මනසිකාරට තිබේ.”

දැන් සටහනේ නිශ්චිත කඩඉමකට පැමිණ අවසන් කළ යුතු ය. යළිත් දයාසේන ගුණසිංහ හමු වී යමක් කතා කර ගැනීමට තිබේ. ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ කෙටිකතා සංග්‍රහය සමඟින් ය. එහි ‘කොටියාගේ බිරිඳ’ යනුවෙන් කෙටිකතාවක් තිබේ. “ක්‍රිස්ටි සොයිසාගේ පරිණාමය ආරම්භ වූයේ එතැන් සිට ය. කාලයාගේ මහ ඡන්ද කිහිපයක ඇවෑමෙන් කොටියා, කොටි ක්‍රිස්ටියා, ක්‍රිස්ටි අයියා, ක්‍රිස්ටි මහත්තයා සහ ක්‍රිස්ටි මුදලාලි මහත්තයා අනුපිළිවෙළින් ඉපදී අනුපිළිවෙළින් අභාවයට පත්ව සාම විනිසුරු ක්‍රිස්ටි සොයිසා මැතිතුමා බිහි විය”.

“ඒක මම බලාගන්නම් කෝ…. ඔයා රජ වුණොත් අගබිසව මම නේ! ඉතින් මොක ද? ඇනිටා කීවේ, යළිත් මතුව තිබූ ව්‍යාඝ්‍ර හිස මත දෙතොල් තබමිනි.” රතු ඉරි අඳින අතේ තරු තුනේ හෝටලයේ අධිආරක්ෂිත කාර්යාල කලාපයේ සිට අඟල් සීයක තිරයේ ටෙලිවිෂන් බලන මහත්තයාගේ පරිණාමය සිදු වී තිබෙන්නේ දයාසේන ගුණසිංහගේ කොටි ක්‍රිස්ටියාගෙන් ය. තරු තුනේ හෝටලයේ සිටින මහත්තයා අරඅඳින්නේ මහජන නියෝජිතයෙක් වීමට ය.

මේ දක්වා මේ සටහන ලියැවුණේ මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘රතු ඉරි අඳින අත’ කෘතිය ගැන කිසිවක් හෝ කීමට නොවේ. එහි පෙළ නිවැරැදිව කියවා ගැනීම පාඨක ඔබට භාර ය. මේ සටහන ලියැවුණේ, මේ කෘතිය කියැවීමේ දී බය හිතුණේ මන්දැයි පැහැදිලි කිරීමට ය. එය තනිවම නැඟීසිට කීමට පවා නොහැකි නිසා දයාසේන ගුණසිංහයන් ද කැඳවා ගැනීමට සිදු විය.

ඔහුගේ ‘වෘත්තාකාර බන්ධනාගාරය’ තුළින් මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයට සහ විඤ්ඤාණයට රූපවාහිනිය ආරම්භයේ දීම සිදු කරන ලද බලපෑම පෙන්වා දී තිබෙන්නේ ය. නවලිබරල් ප්‍රාග්ධනය විසින් රූපවාහිනී මාධ්‍යය ආක්‍රමණය කළ සුහුඹුල් අවධිය දයාසේන ගුණසිංහයන් චිත්‍රණය කළේ ය. ඊට සමාන්තරව පාතාලයේ සොල්දාදුවෝ මහජන නියෝජිතයන් සේ බෞතීස්ම ලැබීමට සූදානම් වන ආකාරය ‘කොටියාගේ බිරිඳ’ මඟින් චිත්‍රණය කළේ ය.

එයින් දශක දෙකකට පමණ පසුව ලියනගේ අමරකීර්ති ලියූ ‘කුරුලු හදවත’ මඟින් නවලිබරල් ප්‍රාග්ධනය රටේ අන්ත කෙළවරේ සිටින මිනිසුන්ගේ ජීවිත ආක්‍රමණය කරන ජනප්‍රිය ධාරාව කෙබඳු දැයි ලිහා දැක්වී ය. ඊට සමගාමීව ජනප්‍රිය ධාරාවට අවශ්‍ය කෙරෙන උපකරණ වන ශ්‍රමිකයන් ඉතා අපූරුවට උකහා ගැනීමත් ඒ තුළින් මනාව චිත්‍රණය කෙරිණි. ඉන් පසුව මේ උපකරණ වන ශ්‍රමිකයන්ගේ කේශනාළිකා දක්වා ගොස් සූරාකන්නේ කෙසේ ද යන්නත් ලිහාදැක්වී ය. අවසානයේ මේ යාන්ත්‍රණය විසින්ම ඔවුන් බිලිගනු ලබන අන්දම කියැවීය.

වර්තමානයේ ‘රතු ඉරි අඳින අත’ අඳින චිත්‍රය මොකක් ද? නවලිබරල් ආර්ථිකයේ සිව් වන දශකය තුළ සියල්ල සිදු කරන ආකාරය ය. පාතාලයේ සල්ලි සහ පාතාලයේ අතිනවීන ගිනි අවි සුඛෝපභෝගී හෝටල්වල සිට මෙහෙයැවෙන ආකාරය ය. පාතාලයේ සල්ලි සහ ගිනි අවි දෙකම එක විට මෙහෙයැවෙන්නේ සමාජයේ විරාජමානව වැජඹෙන රූපවාහිනී චැනල් හරහා ය. එම චැනල්වලින් මුදාහරින සම්භාව්‍ය, සුභාවිත, බුද්ධිගෝචර, හෘදයසංවේදී සහ ආගමික ආලම්බනය වඩවන වැඩසටහන් නිෂ්පාදනය කර පොම්ප කරන්නේ  ය. මේ සියල්ල ඒකාත්මික කළ දේශපාලන අධිකාරියක් විරාජමාන වී පවතී.

ඔබට මතක ද මර්වින් සිල්වා මුලින්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලූ අවස්ථාව ! මතකය නිවැරැදි නම්, මනාප 2,236ක් පමණක් ලබාගෙන දිස්ත්‍රික්කයෙන් අන්තිමයා වී අන්ත පරාජයක් ලැබී ය. එහෙත්, ඔහුට රූපවාහිනියක මොකක් දෝ ස්ටාර් වැඩසටහනක ‘ගෞරවනීය’ විනිශ්චය මණ්ඩලයේ අසුන් ගැනීමේ අවස්ථාව සලසා දී තිබිණි. මතක හැටියට ඒ වන විට ඔහු ‘ආචාර්ය’ මර්වින් සිල්වා ලෙස පරිණාමය වී සිටියේ ය. රතු ඉරි අඳින ව්‍යාපෘතියේ කොටසක් ලෙස ජපානයෙන් ගෙන් වූ මහාචාර්යවරයා සේම ය. ඊ ළඟට පැවැති ඡන්දයකින් ආචාර්ය මර්වින් සිල්වාට මනාප ලක්ෂ දෙකහමාර ඉක්මවා ලැබිණ.

රතු ඉරි අඳින අත් අපේ බුද්ධිමය විඤ්ඤාණය, අපේ ප්‍රබුද්ධ සහ ජනප්‍රිය සංස්කෘතික කලාපය, අපේ ආර්ථික සහ දේශපාලන ජීවිතය යනාදී සියල්ල මෙහෙයවන්නේ ය. බය හිතෙන්නේ, චින්තා අතිනවීන පිස්තෝලයක් අතට ගැනීම නිසා නොවේ. ඔහු ‘ළඳුනේ’ ගීතය රසවින්දනය කිරීම නිසා ය. තරු තුනේ හෝටලයේ ආරක්ෂිත කාර්යාල කුටියේ සිටින්නේ දයාසේන ගුණසිංහයන්ගේ කෙටිකතාවේ එන ‘සාමවිනිසුරු’ ක්‍රිස්ටි සොයිසා මැතිතුමා ය. පාතාලයේ කළු සල්ලි මෙරට දේශපාලන සහ මාධ්‍ය ආධිපත්‍යයට පැමිණියේ මේ ආකාරයෙන් ය. ඔහු රූපවාහිනී චැනල වෙනුවෙන් සල්ලි විසි කිරීමෙන් පමණක් නතර නොවී සුභාවිත ගීත රසවින්දනය සඳහා වන වැඩසටහන්වල ද  යෙදෙන නිසා ය.

තව දුරටත් කිව යුතු ය:

මට බය දැනෙන්නේ මගේ අරුමැසි භාවමය කලාපය ඔවුන් විසින් හසුරුවන නිසා ය!
මට බය දැනෙන්නේ මගේ බුද්ධිමය භාවමය කලාපය ඔවුන් විසින් හසුරුවන නිසා ය!!
මට බය දැනෙන්නේ මගේ සමාජ, සංස්කෘතික කලාපය ඔවුන් විසින් හසුරුවන නිසා ය!!!
මට බය දැනෙන්නේ මගේ දේශපාලන කලාපය ඔවුන් විසින් ආක්‍රමණය කරන නිසා ය!!!!

 

ප්‍රියදර්ශන දයාරත්න

 

 

Leave A Reply

Your email address will not be published.

4 + 4 =