බන්ධනාගාරයෙන් ඔබට…

මේ දවස්වල මතුවුන තවත් කැපී පෙනෙන ප්‍රවෘත්තියක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය මත කොළඹ ආශ්‍රිතව තියෙන බන්ධනාගාර සහ ඊට අදාළ අංශ හොරණ මිල්ලෑව වත්තට අරගෙන ගිහින් එතන අක්කර දෙසීයක විශාල නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදි කරීමට යෑම.( අදහසක් ගන්න වැලිකඩ මැගසීන් බන්ධනාගාර සංකීර්ණය අක්කර 48). වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල ඇතුලූ බන්ධනාගාර ක්‍රියාකාරකම් වලට අවශ්‍ය කාර්යාල හා අනිකුත් මධ්‍යස්ථාන වගයක් මේ යෝජිත ව්‍යාපෘතියට ඇතුළත්.

මේ බොහෝ බන්ධනාගාරවල පසුගිය කාලයේ අපරාධකරුවන් වැඩිවීම සහ ඊට අවශ්‍ය සුභසාධනය ඇතුළු ඉඩ පහසුකම් නැතිවීම මීට ප්‍රධානම හේතුවයි. අපරාධකරුවන් වැඩි වන්නේ නම් ‘සිරකරුවෝත් මනුෂ්‍යයෝ’ නම් වඩා ඉඩපහසු ඇති බන්ධනාගාර තව තවත් ඉදිකිරීම වරදක් කියන්න බැහැ. මේ පවතින තත්වයට වඩා ඒක සිරකරුවන්ට ද හොඳයි. බන්ධනාගාරයක් කියන්නේ මිනිසුන් වැරදි කළාට පසුව දඩුවම් කරන හෝ පුනරුත්ථාපනය කරන ස්ථානයක්, මිනිසුන් අපරාධකරුවන් වන්නට පෙර බේරා ගැනීමක් ගැන බන්ධනාගාර ව්‍යාපෘතියකින් අදහස් කරන්නේ නෑ. මෙම රජයෙන් ගොඩනඟන්නට යන දැවැන්ත එමෙන්ම ඓතිහාසික ව්‍යාපෘතියක් යැයි කියන්න පුළුවන් එවන් විශාල බන්ධනාගාර ගොඩනැගිලි ව්‍යාපෘතියකට මුදල් සහ ඉඩම් යටකරන මේ මොහොතේ මේ අවධානයම අපරාධකරුවන් බිහිවීමට පෙර අවශ්‍ය සමාජ සංශෝධන සම්බන්ධ ව්‍යාපෘති වලට යොමු නොවන්නේ ඇයි කියලා අපට සාධාරණ ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්.

මෙසේම පසුගිය කාලයේ ලෝක අවධානය දිනාගත්ත තවත් පුවතක් තමයි නෙදර්ලන්තයේ බන්ධනාගාර ඉතා සීඝ්‍රයෙන් වැසීයාම,( ලින්ක් පහළ). නෙදර්ලන්තය කියන්නේ ගණිකා වෘත්තියේ සිට සමරිසි සම්බන්ධකම් සහ තවත් බොහෝ මත්ද්‍රව්‍ය හා සමාජ ක්‍රියාකාරකම් දක්වා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල්වල තහනම්ව ඇති වඩාම නිදහස් අදහස් නීතිගත කරල තියෙන අඩුවෙන්ම ආගමික විශ්වාස අභ්‍යාස කරන රටක්. ඔවුන් බන්ධනාගාර අඩු කිරීම සඳහා කරල තියෙන්නෙ අපරාධකරුවන් බිහි වීම පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට ගොස් නූතන තාක්ෂණය ද භාවිතා කරමින් විශාල සමාජ සංස්කෘතික අධ්‍යාපනික සංශෝධන ඇති කිරීමයි. ලෝකයේ අද තිබෙන සෑම දියුණු රටක්ම එතැනට ආවේ අතීතය හා ආගමික සම්ප්‍රදායන් ආදියෙන් වෙන් වූ විශාල සමාජ සංශෝධන හඳුන්වාදීම නිසයි. සාමාන්‍යයෙන් බන්ධනාගාර අඩු වෙනවා කියන්නේ ඉස්පිරිතාල වලට එන ලෙඩුන් ප්‍රමාණය, උසාවි වැඩ, පොලිසිවල වැඩ පවා අඩු වෙනවා කියන එකයි. ඒ නිසා අපරාධකරුවන් අඩු කිරීමට කරන ඒ සමාජ සංශෝධන විශාල ධනස්කන්ධයක් ද ඉතුරුකරමින් සමාජය වඩා සාමකාමී බවක් කරා අරගෙන යනවා.

පාස­ලක් වැසීයාම සිර­ගෙ­වල් දහ­සක් ඇරී­මක් යන කියමන මතක් කරමින් , ජාතික විග­ණන කාර්යා­ලයේ කාර්ය සාධන විග­ණන අංශය විසින් නිකුත් කළ වාර්තා­වට අනුව 2013 වසරේ සිට 2017 වසර දක්වා පාසල් 93 ක් රටේ වාතාවරනය සහ ළමයි අඩුවීම ආදී විවිධ හේතු මත වැසී ගොස් තියනවා. මේ වන විට ලංකාවේ මුළු පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 4,165,964 ක් වන අතර ඔවුන්ට ඉන්නා ගුරු­වරු සංඛ්‍යාව 241,591 යි. බන්ධනාගාර වෙත යවන අපරාධකරුවන් වැඩි කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක් කරන්නේ පාසල් බව අපි දන්නවා. නමුත් අද පාසල් වල විනය කොයිතරම් පිරිහිලා දැයි කියනවා නම් මෑතකදී ආපු එක් ප්‍රවෘත්තියකින් පෙන්නුවෙ සමහර පාසල්වල ශිෂ්‍ය නායකයින්ට වෙන්වූ වෙනම කාමරවලට දැන් ගුරුවරුන්ටවත් යන්නට විදිහක් නැති බවත් බාලවයස්කාර ශිෂ්‍යයින් පවා එන්න එන්නම ප්‍රචණ්ඩ සහ දූෂිත වැඩවල යෙදෙන බවත් ඒවා ගුරුවරුන්ට හෝ නීතියට පාලනය කරන්න අපහසු බවයි. තමන් යුද්ධයක් නැවැත්තුවායැයි පාරම්බාන රජයකට පාසල් ශිෂ්‍යයෙක්ගේ ප්‍රචණ්ඩත්වය පාලනය කරගන්නට විදිහක් නෑ කියන එක පමණක් කෙතරම් හාස්‍යජනකද? කෙසේ හෝ මිනිසුන් අපරාධකරුවන් බවට පත් වීමෙන් වළක්වා ගැනීමට ඇති පාසල අපරාධකරුවන් නිර්මාණය කිරීමේ තැන් බවට පරිවර්තනය වෙමින් එන බවට දැන් ප්‍රමාණවත් සාධක තියෙනවා.ඒ වගේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට අප විරුද්ධ වන්නේත් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම හරහා ශිෂ්ට පුරවැසියෙක් බිහි කරනවා වෙනුවට එය වඩ වඩා බන්ධනාගාරවලට මිනිසුන් බිහි කිරීමට ඉඩ ඇති සමාජයකට පාර කැපීමට ඉඩ ඇති නිසයි.

පාසල ලඟට මිනිසුන් යහපත් කරන අනිත් ස්ථානය ලෙස සලකන පංසලේ තත්වයත් දැන් අර පාසලේ තත්වයමයි.මෙරට දියුණු කිරීමට අවශ්‍ය සමාජ සංශෝධන වලට හැමදාමත් බාධාවක් ඇති කරපු සංඝ ආයතනය වන පන්සල රටේ සිදුවෙන වඩාම දූෂිත දේවල් සිදුවන ඊට වගකිවයුතු ආයතනයක් බව දැන් අපට දිනපතා ප්‍රවෘත්ති වලින් දැන ගන්න පුළුවන්. ගොඩනැගිලි වශයෙන් තවත් පන්සල් ඉදි කළ යුතු බවටත් මතයක් ආව අතර පවතින තත්වය වෙනස් නොකර එහෙම ඉදිකිරීමෙන් සිදුවන්නේ තවත් ‘මරමස්ථාන’ හඳුන්වාදීමක් විතරයි.නමුත් පල්ලි පන්සල් දේවාල ඇතුලේ සිදුවෙන අපරාධ සහ එයින් සිදුවෙන සමාජ විනාශය නැවතීමට ද රජය විසින් කිසිම පියවරක් අරගෙන නැති අතර ඔවුන් තවමත් අපට යෝජනා කරන්නේ පන්සල් ගිහින් හැදෙන ලෙසයි. මීට අමතරව ඉතා සීඝ්‍රයෙන් පසුගිය කාලයේ ඇසීමට අපහසු තරම් කම්පිත අපරාධ දූෂණ වංචා උඩුගිය අතර ඒවා නැවත්වීමට ද රජයට කිසිම සැලැස්මක් ඇති බවක් පෙනෙන්නට නෑ.
සමාජ සංශෝධන සැලස්මක් යනුවෙන් අදහස් කරන්නේ නිලධාරීන් මාරු කිරීම හෝ බැරිවෙනකොට හමුදාවට භාරදීම වැනි සිල්ලර කටයුත්තක් නොව, සමාජ විද්‍යාත්මක පර්යේෂණ දියත්කර ප්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනයකර සමාජ ආකෘතියම වෙනස් වෙන විදිහේ විශාල සංශෝධන ඇතිකිරීමයි. උදාහරණයකට, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලිංගික අපරාධ වැඩියෙන් සිදු වෙන්නේ නම්, ඊට හේතුව සංස්කෘතික පීඩනයනම්, එම පීඩනය නැතිවන ලෙස මුළු සමාජ සංස්කෘතික ආකෘතියම වෙනස් කළ යුතුයි. එවැනි නිර්මාණාත්මක හා පර්යේෂණාත්මක සංශෝධන සඳහා නෙදර්ලන්තය වැනි රටවල් වලින් අවශ්‍ය තරම් ආදර්ශ ලබා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ සඳහා එම රටවලින් වෘත්තීය සහාය පවා ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ‘සිංහල බෞද්ධ’ රාජ්‍යය දර්ශනයකට අනුව අපරාධ නැවැත්විය හැකි නම් අන්න ඒ විදිහට නවත්වා නෙදර්ලන්තය වැනි රටවල් වලට ද මෙන්න මෙහෙමයි ශිෂ්ඨත්වය කරා යන්නේ කියලා පෙන්වීමට හැකි විය යුතුයි.

නිදහසින් පසු අපගේ සංවර්ධන ව්‍යාපෘති දිහා ඔබ හොඳින් බැලුවොත් පැහැදිලිව පෙනෙනවා ගොඩනැගිලි මහා කුලුණු වාරිමාර්ග වැනි දැවැන්ත භෞතික ගොඩනැංවීම් වලට යටකරන මුදල් සහ අවධානයට සාපේක්ෂව සමාජ සංස්කෘතික සහ අධ්‍යාපනික අංශයට අවධානය යටකෙරෙන්නේ නැති බව. එතනදි ද අපි අදහස් කරන්නේ ගොඩනැගිලි වලට වඩා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරමින් සමාජ සාධාරණත්වය ඇති කරමින් කරන දැවැන්ත ප්‍රමාණයේ සමාජ සංශෝධනයි. එසේ කරගන්නට බැරිවීමට එක ප්‍රධාන හේතුවක් නම් දෙවැන්නට සඳහන් කරපු ව්‍යාපෘති වලින් විශාල ප්‍රමාණයේ කොමිස් ගහන්නට නොහැකි වීමයි. හරියටම බැලුවොත් අවුරුදු හැත්තෑවක් පුරා ගොඩනැගිලි සහ පාරවල් හැදීමේදී ගහපු කොමිස් වලින් පමණක් මේ රට මීට වඩා යහපත් රටක් කරන්න ඉඩ තිබුණා.
ඉතා පැහැදිලිව රජයට අපරාධකරුවන් නැවතීමට සැලැස්මක් නැති අතර ඔවුන්ට ‘සංවර්ධන’ සැලැස්මක් ලෙසට ඇත්තේ අපරාධ ඔහේ සිදුවන්නට ඉඩ ඇර අපරාධකරුවන් වැඩිවන විට ඔවුන්ට ඉන්නට වඩා ඉඩපහසු ඇති නවාතැන් පහසුකම් ලබා දීමට විශාල ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමයි!
– ධනංජය කරුණාරත්න (fb)
නෙදර්ලන්ත පුවතට මූලාශ්‍රයක්:
https://www.usnews.com/…/the-netherlands-is-closing-its…

Leave A Reply

Your email address will not be published.

sixteen + twelve =