ලංකාව පවුල් සමාගමක් – නිව්යෝර්ක් ටයිම්ස්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු රාජපක්ෂ පවුල සමාගමක් ලෙස වර්ධනය වෙමින් පවතින්නේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.
2015 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු 2018 වර්ෂයේ දී නීත්‍යනුකූල නොවන අයුරින් පාර්ලිමේන්තු බලය කෙටි කලකට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත්, වසරකට පසු ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් ය.
ඉන්පසු රාජපක්ෂවරු ඔවුන්ගේ නාමය කිසිසේත් ගලවාගත නොහැකි ආකාරයෙන් සටහන් කරගනිමින් ලංකා රජය පවුලේ ව්‍යාපාරයක් කරගෙන ඇතැයි ප්‍රමුඛ පෙළේ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන නිව්යෝර්ක් ටයිම්ස් පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් අතර, එය රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස විශ්ලේෂකයන් හඳුන්වා දෙන බව ද පුවත්පත වාර්තා කරයි.
නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් ය.
72 හැවිරිදි ගෝඨාභය රාරාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහු යටතට පත් විය. 75 හැවිරිදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කළ ඔහු ආගමික කටයුතු හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ භාරව කටයුතු කරයි. බැසිල් රාජප්ක්ෂ මහතා වෙත පැවරීමට පෙර ඔහු මුදල් ඇමතිවරයාද විය.
වැඩිමහල් සහෝදරයා වන 78 හැවිරිදි චමල් රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍යවරයා මෙන්ම ස්වදේශ කටයුතු හා ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී. එයින් ද නොනැවතී දෙවන පරම්පරාව ද පාලනයට හවුල් වී තිබේ. අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වන ජාතික රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු වන නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නම් කරන ලදී. ඔහු ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ද වේ.
චමල් රාජපක්ෂගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ වී සහ ධාන්‍ය වර්ග, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල්, බීජ නිෂ්පාදනය සහ අධි තාක්ෂණික කෘෂිකර්මාන්තය සඳහා රාජ්‍ය අමාත්‍යවරයා වේ. පසුගිය දශක දෙකක පමණ කාලයක් තිස්සේ මෙම පවුල බලයේ සිට ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ වසර 10ක කාලය තුළ 2009 දී ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය නිමා කරමින් දෙමළ කොටින් ලෙස හැඳින්වෙන කැරලිකරුවන් මර්දනය කළේය. ඔහුගේ සහෝදරයන් ද එවකට ප්‍රධාන තනතුරු හෙබවීය.
යුද්ධයේ අවසාන භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූ අතර ගෝඨාභය ජනාධිපතිවරයා එවකට ආරක්ෂක අමාත්‍යාංශයට නායකත්වය දුන් අතර චමල් පාර්ලිමේන්තුවේ කථානායකවරයා විය. බැසිල් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තවදුරටත් බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිය දී 2015 වසරේ දී ඔහුගේ රජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.
නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සිය සහෝදරයින්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාර දෙකෙහිම වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර පවුල තුළ ප්‍රායෝගික උපායමාර්ගිකයෙකු ලෙස සැලකේ. සමහර විශ්ලේෂකයින් සහ විපක්ෂ දේශපාලනඥයන් ඔහුගේ පත්වීම විග්‍රහ කරන්නේ ආර්ථිකය හා අතෘප්තිය විසඳීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අනෙක් සහෝදරයින් විසින් පිළිගෙන ඇති ලෙසයි.
කෙසේ වෙතත් එක් රාජපක්ෂවරයෙකුට නොහැකි නම් තවත් රාජපක්ෂවරයකු ලෙස පවුල් ව්‍යාපාරයක් ආකාරයෙන් රට පාලනය කරන බව විපක්ෂ දේශපාලන මතදාරීන් පෙන්වා දී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කරයි.
(පරිවර්තනය – උපුටා ගැනීම news19 වෙබ්අඩවියෙනි.)

Leave A Reply

Your email address will not be published.

twelve + 20 =