ඒ, ඒ ජෝසා…මේ, මේ ජෝසා. අපේ ජෝසා….

ජෝෂප් ස්ටාර්ලින් කියන්නේ ලෝකයට සමාජවාදය එපා කරවූ නායකයෙක්. ෆොටෝෂොප් නොතිබුණු අවදියක පවා සෝවියට් විප්ලවයේ චායාරූප විකෘති කරමින් තමාව ඉස්මතුවෙන ආකාරයට විකෘති ඉතිහාස රචනාවක් ලියැවූ කෙනෙක්.
( කළු සුදු පිංතුරය : සෝවියට් ඇල බැම්මේ ඇවිද යන ස්ටාලින් ඇතුළු කණ්ඩායමේ ඔහු ට යාබදව සිටින නාවික කොමිසාර් නිකොලායි යෙශෝෆ් චයාරූපයෙන් අතුරුදන් කර තිබෙන ආකාරය. )
ඒ, ඒ ජෝසා…
මේ, මේ ජෝසා. අපේ ජෝසා….
ජයග්‍රහණයක් නොපෙනෙන සටන් බිමක තවමත් විප්ලවීය ජීවගුණය නොසිඳුණු නායකත්වයක පිළිඹිබුව, පොලීසියට කුදලාන යන බස් එකේ ජනේලෙන් එලියට ඔළුව දාගන කෑගහන ජෝසා ගේ මේ චායාරූපයේ දැක්වෙනවා. මේ විකෘති කර සැකසූ චායාරූපයක් නෙවෙයි.
ලංකාවේ වෘත්තීය සමිති සටන් වල දෘෂ්ටිවාදය පිළිඹඳ සමහර කාරනා වලදී විවේචනයක් තිබුණත්, ඒවායේ සටන්කාමීත්වය ගැන මා තුල ඇත්තේ පහන් හැඟීමක්.
ජෝසා ගේ විප්ලවීය සටන් ගුණය පිලිබඳ ඇති තරම් ලියවිලි මුහුණු පොතේ ලියැවී ඇති නිසා ඒවා පුනරුච්චාරණය කිරීම තේරුමක් නැති වැඩක්. ජෝසා ගැන රසවත් සටහනක් පැරා ලියලා තියෙනවා. මම කියන්න යන්නේ වෙන කතාවක්.
වඳ පෙති, වඳ සැත්කම් මිත්‍යාවන් වපුරමින් මුස්ලිමුන් කෙරෙහි සිංහල විරෝධයක් ගොඩනංවමින් තිබුණු අවදියක මගේ සේවා ස්ථානයේ මුස්ලිම් සොහොයුරෙකු පැමිණ මට දුක්ගැනවිල්ලක් කියා සිටියා.
“අපි මුස්ලිම් වුනත් අපේ දරුවන්ට අපි උගන්වන්න කැමති මුස්ලිම් පාසල් වල නෙවෙයි. මගේ ලොකු දුව යන්නේ ”…” බාලිකා විද්‍යාලයට. ඒ ඉස්කෝලෙට ලමයි ගන්න ලකුණු සීමාව ඇතුලේ ඒ දුවගේ නංගි, පොඩි දුව ඉන්නවා. ඒත් පොඩි දුව ඉස්කෝලෙට දාගන්න ගියාම ප්‍රින්සිපල් මැඩම් මාව පැත්තකට අඬගහල කිවුවා, “මුස්ලිම් ලමයි ඉස්කෝලෙට ගන්නවට විරෝධයක් පාසල් සංවර්ධන සමිතියෙන් තියෙනවා. ඒ නිසා වෙන ඉස්කෝලයක් හොයාගන්න” කියලා. අක්කා යන ඉස්කොලෙටම යන්න මිසක් මුස්ලිම් ඉස්කෝලෙකට යන්න නංගිත් කැමති නැහැ. පුළුවන් නම් දන්නා කෙනෙකුට කියලා උදවුවක් කරන්න කියලා ඔහු මගෙන් ඉල්ලා සිටියා.
මේ ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි. කාටවත් කියලා කරගන්න ඕන වැඩකුත් නෙවෙයි. ඒත් වැඩේ වෙන්නේ නැති නිසා මම මේ ගැන ජෝසා ට කිවුවා.
“එහෙම කරන්නේ කොහොමද? මං ප්‍රින්සිපල් ට කතා කරන්නම්. “
ජෝසා කිවුවේ එච්චරයි. ටික දවසකින් ප්‍රශ්නය විසඳිලා තිබුණා.
ජෝසා අසාධාරණයට විරුද්ධව පෙනී සිටියේ ප්‍රසිද්ධ සටන් වල විතරක් නෙවෙයි.
යෝජිත Gen Sir John Kotelawala National Defence University Bill එකට විරුද්ධ විය යුත්තේ එය හුදු පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම සඳහා ගෙන එන පනතක් නොවන නිසයි. පුද්ගලික විශ්වවිද්‍යාල දැනටමත් ලංකාවේ පිහිටුවා ක්‍රියාත්මක වෙනවා. එහෙත් මෙම නව පනත අධ්‍යාපනය මිලිටරීකරණ ක්‍රියාවලියක පිඹුරුපතක් වන නිසයි. ජෝසා මෙහෙයවන්නේ ඊට විරුද්ධ සටනක්.
2018 දී මේ නව පනත සම්මත කරගන්නට උත්සාහ කලේ යහපාලන ආණ්ඩුව. ඒකෙන් ම පෙනෙනවා ලංකාවේ බලයට පත්වන විකල්ප දේශපාලන පක්ෂ වලට වෙනස් අරමුණු නැති බව.
– අශෝක හඳගම (fb)

Leave A Reply

Your email address will not be published.

17 − 15 =