ආදරෙයි… හැබැයි මං කළුයි…

මට තාම මතකයි එයා මාව දාලා ගිය දවස. එයා අන්තිමටම මට කියපු වචන. මට ආදරේ තිත්ත වුණ දවස. ඔව් අද වගේ මතකයි කළු සුදු අපිව වෙන් කරපු දවස.

එයා මට ආදරේ කළේ ඇයි කියන එක මට තාම ප්‍රශ්නයක්. එයා මාත් එක්ක හිටියෙ කැමැත්තකින් නොවන බවත් මං හොඳටම දන්නවා. එයාට මොන තරම් අවංකව ආදරේ කළත්, එයා වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කළත් එයා මාව බලන්න ආපු හැම දවසකම ඒ මූණෙ කිසිම සතුටක් මං දැකලා නෑ. එයා නිතරම මගේ අඩුපාඩු කියන්න පටන් ගත්තා. “ඔයා රණ්ඩු වෙනවා වැඩියි. මාව සැක කරනවා. මට නිදහසේ ඉන්න දෙන්නෙ නෑ…” වගේ ගොඩක් දේවල් කිව්වත්, මට මුල ඉඳන්ම දැනුණා ඊට වඩා ලොකු හේතුවක් එයාට මාව එපා වෙන්න තිබුණු විත්තිය. මේ විදිහට රණ්ඩු වෙවී ඒ තරම් කාලයක් අපිට එකට ඉන්න වුණේ නෑ. එදා අන්තිම දවස. මුහුදු වෙරළේ එහාට මෙහාට ඇවිදිමින් අපි දෙන්නා වෙනම ලෝක දෙකක ජීවත් වුණා වචනයක්වත් කතා නොකරම. වෙලාව ආවා… එයා එයාගෙ අන්තිම තීරණය දුන්නා. ඒ නිකන්ම නෙවෙයි, මාව එපා වුණ හේතුවත් එක්කම. “අපි දෙන්නා ගැළපෙන්නෙ නෑ. ඔයා කිසි පිළිවෙළක් නැහැ. බලන්න මගේ යාළුවන්ටවත් ඔයාව අඳුන්වලා දෙන්න පුළුවන් ද? දැන් කෙල්ලෝ ෆැෂන් කරන විදිහට ඇයි ඔයාට බැරි ? චුට්ටක් සුදු වෙන්න බැරි ද? ඔය ඕනි ඕනි තරම් ක්‍රීම් වර්ග තියෙන්නෙ ? කී සැරයක් කියලා තියෙනවා ද? ඔයා ඒවා ගණන් ගන්නේ නෑ. ඔයා කවදාවත් මට ඕනෑ විදිහට හැදෙන කෙනෙක් නෙවෙයි. අපි මේ සම්බන්දෙ නවත්තමු. තවත් දුර යන එක දෙන්නටම දුකක්.”

කියන්න දේවල් කෝටියක් තිබුණත්, එක වචනයක්වත් මගේ කටින් එළියට ආවෙ නෑ. උගුරේ හිර වුණා. මං ඈත මුහුද දිහා ගොඩක් වෙලා බලන් හිටියා. එයා එයාගෙ තීන්දුව දීලා යන්න ගියා. එයාට ඕනෑ වුණේ පාට. සුදු පාට…, තොල් රතු කරපු සුදුම සුදු බෝනික්කියක්. එක අතකින් එයා හරි. එයා සුදුයි. මං කළුයි. ඒ කියන්නෙ නොගැළපීමක් වෙන්නැති. යන්න හදන එයාව නවත්ත ගන්න තරම්වත් මට හයියක් තිබුණේ නෑ. ඇස්වලින් නොනවත්වා කඳුළු ගලන් ගියා විතරමයි.

චාම් විදිහට හැදුණම තමයි ගෑනු ළමයෙක් ලස්සන… අපේ ආච්චි මට ඉස්සර ඉඳන්ම කිව්වෙ එහෙමයි. ඉතිං ඒ විදිහට ජීවත් වුණ මට උපන් පාට වෙනස් කරන්න එච්චර උනන්දුවක් තිබුණෙ නෑ. සැලූන් යන්න, ෆැෂන් කරන්න ආසාවක් තිබුණෙ නෑ.

මේ සිදුවීමෙන් පස්සෙ මං සුදු වෙන්න නොකරපු දෙයක් නැති තරම්. ඒත් වැඩක් වුණේ නෑ. මූණ සුදුයි. ඇඟ කළුයි. මූණ වෙනම ගෙනැල්ල හයි කළා වගේ. මොන ජාතියේ ක්‍රීම් ගෑවත් ගානකම් විතරයි. බ්ලීචින් ගාලා දැන් මූණේ කුරුලෑ තට්ටුවයි. කාමරයේ තිබුණ ඔක්කොම ක්‍රීම් ජාති ටික මං කුණුගොඩට විසි කළා. කමක් නෑ මට මගේ කළු හොඳයි. මට කවුරුවත් ඕනෙ නෑ. තනියම ඉන්න පුළුවන්. අන්තිමට මං තනියම ඉන්න හිත හදා ගත්තා. හැබැයි හිතකින් නෙවෙයි. මං හිත යටින් එයාට තාමත් ආදරෙයි.

කළුම කළු කොල්ලකුට සුදුම සුදු කෙල්ලක් ආදරේ කරන එක සාමාන්‍යයි. පාරට බැස්සහම කළු කොල්ලෙක්ගේ අතේ සුදු කෙල්ලෙක් එල්ලිලා යනවා ඕනෑ තරම් දකින්න පුළුවන් මං පාරට බැස්ස හැම දවසකම අවධානයෙන් වටපිට බැලුවෙ දෙයක්

හොයාගන්න. සුදුම සුදු කොල්ලකුගේ අතේ එල්ලිලා කළුම කළු කෙල්ලෙක් යයි ද කියලා. මෙච්චර කාලෙකට මගේ ඇස්වලට මුණ ගැහුණෙ ඒ වගේ එකම එක ජෝඩුවයි. හැබැයි ඒකටත් හේතුවක් තිබුණා. අර කියපු කළු ම කළු කෙල්ල සල්ලිකාරියක්. ලස්සන රතු පාට කාර් එකකුත් තිබුණා. අර කියපු සුදුම සුදු කොල්ල දුප්පත්. වාහන, සල්ලි නැති දුප්පත් කොල්ලෙක්. කෙල්ල කොච්චර කළු වුණත්, සල්ලිවලින් ඒ ඇරියස් එක කවර් කරලා තිබුණ නිසා එතැන හිස් තැනක් තිබුණෙ නෑ.

සුදු පාට ගෑනු ළමයි තමයි, ලස්සන කියන එක හැමෝගෙම හිත්වලට කාවද්දල තියෙනවා මේ සංස්කෘතිය ඇතුළෙ. ඒක සංස්කෘතියේ විකෘතිසහගත පරිණාමයක් කියලයි මට නම් හිතෙන්නෙ. හැමෝම මිනිස්සු කියන එකත්, මිනිස් බැඳීම් ඇති වෙන්නෙ ලස්සන එක්ක විතරක් නෙමෙයි කියන එකත් පිළිගන්න සමාජය සූදානම් නෑ. කොච්චර අවංක හදවතක් තිබුණත්, සුදු ලස්සන හමක් නැත්නම් මොන දේ තිබුණත් වැඩක් නැති තරමට ම මේ වෛරස් එක දරුණු වෙලා.

ඒත් අපි ආදරේ කරමු. කළු-සුදු වෛරස් එක පැතිරිලා නැති ලෝකයක් ගැන බලාපොරොත්තු ඇතිව අපි ආදරේ කරමු. එතකං මං බලන් ඉන්නවා…

චමෝදි පෙරේරා
Leave A Reply

Your email address will not be published.

4 × 3 =