ඉතින්… ගමන අරඹන්න…

වර්තමානයේ බොහොමයක් පුද්ගලයන් ජීවිතයේ නොයෙකුත් දේවල් වෙහෙස මහන්සියකින් තොරව කෙටි මාර්ගයන් ඔස්සේ බොහොම පහසුවෙන් හා ලේසියෙන් ලබා ගන්න උත්සාහ කරනවා. එපමණක් නොවෙයි, එසේ නොලැබුණු කල අත්හැර දැමීම හෝ වෙනත් මාර්ගයන් තෝරා ගැනීම හෝ නැතහොත් අන් අයට දෝෂාරෝපණය කරමින් කාලය ගත කරනවා. නැතහොත් අන් අය දෙස බලා තමා පිළිබඳව කලකිරීමකට පත් වෙනවා.

ඔබට ඇතැම් විට කඩාවැටීම්, බිඳවැටීම්, හිත් රිදීම් මෙන්ම ඔබේ ජීවිතයේ සැඬ කුණාටු නිතර නිතර ඇති විය හැකියි. ඒ තුළින් ඔබ වැටෙන තැන්, රිදෙන තැන්, වැරදෙන තැන් හොඳින් හඳුනා ගනීවි. ඉතින් ඔබට ඔබේ ජීවිතයේ මුහුණ දෙන දුෂ්කරතාවන් ඔබේ ඉදිරි ගමනට සහායක් කර ගත හැකියි.

අපේ ජීවිතේ අපි අපිට අවැසි දේවල් ලබා ගැනීමට කෙටි ක්‍රම ඇත්නම් ඒවා අතහැරිය යුතු නැහැ. ඒත්, ඒ ක්‍රම නිවැරැදි හා සාර්ථක විය යුතුයි. එසේ නැති නම්, ඔබ වතුරට නොබැස පීනන්න උත්සාහ කරන්නකු හෝ පීනන්න නොදැන පීනන්න උගන්වන අයකු හා සමානයි. සාර්ථකත්වය කියන්නෙම අප උත්සාහය තුළින් ලබා ගත යුතු දෙයක්. නැතහොත් බන්දේසියක ලා කවුරුන් විසින් හෝ පිළිගන්වාවි යැයි සිතා බලා සිටිය යුතු දෙයක් නොවෙයි.

ඔබට බොහෝ දක්ෂයකු විය හැකි නමුදු, සමාජය තුළ ඔබ සිටින වටාපිටාව තුළ ඔබ වැනි ම දක්ෂයන් බොහෝ සිටිය හැකියි. ඉතින් ඔබ තමා පිළිබඳව අධිමාන්නයෙන් තමාට වඩා තවකෙකු නැහැයි සිතා සිටියහොත්, ඔබට වඩා බොහෝ දුර්වලයන් පවා ඔබ පසු කොට ඉදිරියට යනු ඇති. ඉතින් ඔබ ගොඩ සිට පීනන්නෙකු නොවී, වතුරට බැසිය යුතුමයි. එවිට ඔබට ඔබේ දුර්වලතා, ඔබේ දක්ෂතා හඳුනා ගත හැකියි.

එමෙන්ම ඔබ කෙතරම් දක්ෂයකු වුව ද, ඔබ අධ්‍යාපනය ලබන, ඔබ දස්කම් දක්වන ක්ෂේත්‍රයේ කෙතරම් විශිෂ්ඨයකු වුව ද, ඔබේ ගවේෂණයන්, පුහුණුවීම්, ඔබේ අධ්‍යයනයන් නවතා නොදැමිය යුතුයි. ඔබ එක තත්පරයක් පසුබට වන මොහොතේ ඔබටත් වඩා දුර්වලයන් බොහෝ දෙනකු ඔබ පසු කර යා හැකි බව මතක තබා ගන්න.

එමෙන්ම ඔබව පසු කරාවි යැයි අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන්, බියෙන් ඔවුන් පසෙක ලා ඔවුන්ට උපකාර නොකරමින් යන ගමන ද සාර්ථක නොවේ. මන්ද යත්, ඔබ නොහිතන මොහොතක ඔබට ඔවුන්ගේ උපකාර අවශ්‍ය විය හැකි ය. ඔබ දන්නා දේ අන් අය අතර එක් වරක් බෙදන මොහොතේ ඔබ දෙවරක් එය ඉගෙන ගන්නවා ඇත. අත්දැකීම් හමුවේ ඔබ පෙර දක්ෂ යමක් වඩාත් සාර්ථක ලෙස කරන්නේ කෙලෙස දැයි ඔබට අලුත් අදහස් පහළ වනු ඇති. ඔබ හොඳ තරගවදින්නකු වන්න, නමුත්, ඔබේ තරගකරුවා විය යුත්තේ ද ඔබමයි.

නිරන්තරයෙන් ඔබ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා කැපවන්න. ගත වන සෑම තත්පරයක් පාසාම ඔබ ඔබගේ කාලය නිකරුණේ ගත කරනු වෙනුවට ඔබට අනාගතයේ ප්‍රයෝජනයක් ඇති යමක් වෙනුවෙන් වැය කරන්න. ඔබ සිහින දකින්නකු වෙනුවට හීන හැබෑ කර ගන්නකු විය යුතුයි. එහි දී ඔබට ඇතැම් විට කඩාවැටීම්, බිඳවැටීම්, හිත් රිදීම් මෙන්ම ඔබේ ජීවිතයේ සැඬ කුණාටු නිතර නිතර ඇති විය හැකියි. ඒ තුළින් ඔබ වැටෙන තැන්, රිදෙන තැන්, වැරදෙන තැන් හොඳින් හඳුනා ගනීවි. ඉතින් ඔබට ඔබේ ජීවිතයේ මුහුණ දෙන දුෂ්කරතාවන් ඔබේ ඉදිරි ගමනට සහායක් කර ගත හැකියි.

ඔබ යන මඟ ඇති බාධකවලට මුහුණ දෙන හැම මොහොතකම ඔබ අමාරු ප්‍රහේලිකාවක් පුරවනවා යැයි සිතන්න. ඉතින් ඔබ සතුටින් එම බාධාවලට මුහුණ දෙන්න. එම බාධක ඔබේ පාළුව, තනිකම මකන ඔබව තවත් ධෛර්යයවත් කරන game එකක් කරගන්න. ඉතින් ඔබට හමු වන බාධක ඔබ සාර්ථකත්වයට යන ගමනේ නිධානයක් කර ගත යුතුයි. ඉතින් උත්සාහ කරන්න. ඔබේ හිතට ශක්තිය ගන්න. එවිට ඔබට පමණක් නොව සමාජයට ද ඔබව සාර්ථක මෙන්ම අත්‍යවශ්‍ය පුද්ගලයකු වනු ඇත.

එල්. බී. එස්. දිල්හාරා
Leave A Reply

Your email address will not be published.

11 − 8 =