දුබල පාලනවල අවසන් අවිය මර්දනයයි…

ලොව පළමුව බිහි වූයේ පාලකයන් නොව ජනතාව ය. ජනතාව තමන්ම තමන්ගේ ස්වාමියා විය. පසුව සමාජ විෂමතාවේ නිවුන් සොයුරා ලෙස පාලක පන්ති බිහි විය. පාලක පන්ති බිහි වූයේ ජනතා කැමැත්ත මත නොව රැවටිල්ල හා බලහත්කාරය මත ය. මුළුමහත් මානව ඉතිහාසයම අපට උගන්වන පාඩම එයයි. එය අනෙක් අතට කියවන්නේ නම් රැවටිල්ල හා බලහත්කාරය නැති තැන පාලක පන්ති නැත. මෙම සත්‍යය වසන් කරන්නට ධනපති සමාජය සොයා ගත් රූකඩය ප්‍රජාතන්ත්‍රවාදයයි. ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යනු රැවටිල්ල, බලහත්කාරය සහ මර්දනයට යටත්ව ජනතාව නිහඬව තැබීමයි. ජනතාව ඉල්ලා සිටින සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා කැමැත්තයි. මෙතෙක් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ යමක් සමාජය දිනා සිටී නම් ඒ ජනතා බලයෙන් මිස පාලකයාගේ හුදු අනුකම්පාවෙන් හෝ කැමැත්තෙන් නොවේ.

රාජපක්ෂලාගේ දෙවන පාලනයේ මර්දනීය ගමන තේරුම් ගැනීමට ඉහත අවබෝධය වැදගත් වනු ඇත. නැති නම්, පාලක පන්තියේ අලුත් මුහුණකින් සියල්ල යහපත් අතට හැරෙනු ඇතැයි හිත හොඳ, අවංක මිනිසුන් වුව මුළාවට පත් විය හැකි ය.

රාජපක්ෂවරු වේවා, රනිල් වික්‍රමසිංහලා වේවා, සජිත් ප්‍රේමදාසලා වේවා මේ කවර පාලක කණ්ඩායමක වුව ද ඇත්තේ එකම ප්‍රතිපත්තියක් බව තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි. සිසුන් ප්‍රමුඛ රටේ ජනතාව සටන් කොට රැකගත් යමක් වේ නම් එය වළ දමා, පාංශකූලය දෙන්නට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙන ඒමට විරුද්ධ වූ උද්ඝෝෂණ මැඬලන්නට ද රාජපක්ෂලා කොරෝනා පාවිච්චි කර ගනී.

රැවටිල්ල නිමා වී, වරදාන වරප්‍රසාද අවසන් වී දැන් කොරෝනා ආශීර්වාදයෙන් පාලකයෝ ජනතා අරගල මර්දනය කරමින් සිටිති. ජවිපෙ සමන්තලා, නාමල්ලා ගොවීන් වෙනුවෙන් සටන් කරන විට කොවිඩ් පෙරට දමා මර්දනය දියත් කරති. ‘සිරස’ මාධ්‍යය තහනම් කිරීමේ උත්සාහයක් ද පාර්ලිමේන්තුවේ මතු විය. සමාජ ජාල ක්‍රියාකාරීන් හා සමාජ ජාල මර්දනය කරමින් සිටිති. සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බළල් අතක් සේ යොදවා ගනිමින් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට යැයි පවසමින්, උද්ඝෝෂණ මර්දනයක් අරඹා ඇත.

පෙරටුගාමී පක්ෂයේ පිරිසක් එසේ උසාවි දමා ඇප දුන් පසු කාන්තාවන්ගේ යටිබඩවල්වලට දණහිස් පහර දෙමින් නිරෝධායනයට ගෙන යන්නේ සෞඛ්‍ය අරමුණකට ද, මර්දනීය අරමුණකට ද යන්න පැහැදිලිය. ලංකා ගුරුසේවා සංගමයේ මහින්ද ජයසිංහලා පරිසරය රැකීමට උද්ඝෝෂණය කරන විට අත්අඩංගුවට ගන්නේ කොරෝනා තත්ත්වය යටතේ බාර්, ස්පා අරින්නට අවසර දෙමින් තිබිය දී ය.

නිදහස් අධ්‍යාපනය යැයි යමක් රටේ වී නම්, එහි මළබෙරය හැඬවූයේ රනිල් වික්‍රමසිංහ ය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මුලින් ගෙන ආවේ 2018දී ය. ඒ රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව මඟින් ය. එහෙත්, මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් හා ප්‍රගතිශීලී බලවේගවලින් මතු වූ විරෝධතා නිසාවෙන් එය හකුළා ගනු ලැබිණි. වත්මන් රාජපක්ෂ පාලනය ගෙන එනු ලැබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත යනු අකුරක්වත් වෙනස් නොකරන ලද 2018දී ගෙන ආ පනතම ය. රාජපක්ෂවරු වේවා, රනිල් වික්‍රමසිංහලා වේවා, සජිත් ප්‍රේමදාසලා වේවා මේ කවර පාලක කණ්ඩායමක වුව ද ඇත්තේ එකම ප්‍රතිපත්තියක් බව තේරුම් ගැනීමට මෙය කදිම උදාහරණයකි. සිසුන් ප්‍රමුඛ රටේ ජනතාව සටන් කොට රැකගත් යමක් වේ නම් එය වළ දමා, පාංශකූලය දෙන්නට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගෙන ඒමට විරුද්ධ වූ උද්ඝෝෂණ මැඬලන්නට ද රාජපක්ෂලා කොරෝනා පාවිච්චි කර ගනී.

කොරෝනා පාලන නීති කැඩීම රාජපක්ෂ පාලනයට වරදක් නැත. මහ සභාවක් මැද මුහුණු ආවරණ නොමැතිව සිටි සරත් වීරසේකරට එම නීති අදාළ නැත. රාජපක්ෂ පාලනයේ දුබලතාවෙන් පීඩාවට පත් ජනතාවට උද්ඝෝෂණ තහනම් ය. එහෙත්, බැඳුම්කර හොරු, මල්වානේ හොරු, සිල් රෙදි හොරු, සුනාමි හොරු, කොවිඩ් වසංගත හොරු ඇතුළු හොර රංචුවට සහ ඔවුන්ගේම නීතියෙන් වැරැදිකරුවන් වූ පාලක පන්තියේ මිනීමරුවන්ට පවා නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි ගත වූ වසර කිහිපය  තුළ පෙන්වා දෙනු ලැබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති ව්‍යාජ සළුවෙන් වසාගෙන සිටින පාලක පන්තියේ කෲරත්වය කොතරම් ද යන්න හෙළිවන්නේ ඔවුනගේ අත්තනෝමතික, බලලෝභී, ධනලෝභී හා අසමත්කම් නිසාවෙන් ම ය. ඉතින්, මේ රැවටිල්ල හා බලහත්කාරය අවසන් කළ යුතු ම ය. එය කළ හැක්කේ සංවිධානාත්මක ජනතා බලයට පමණි. කිසි දාක මර්දනයෙන් ජය ගත් පාලනයක් ලොව නැත. සංවිධානාත්මක ජනතාව ඔවුන් ඉතිහාසයේ කුණුකූඩයට නොව අගාධයට ඇදදමා ඇත. ඉතිහාසය නොදන්නා රාජපක්ෂලාට එම පාඩම් නොදැනුණාට ජනතාව ඉන් වඩ වඩාත් උගනිමින් සිටිති. මේ අයුක්තිසහගත අසාධාරණවලට එරෙහිව ජනතාව ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුතුව සටන් වැදිය යුතුව තිබේ●

Leave A Reply

Your email address will not be published.

ten − 6 =