මොළ හතේ ඇමෙරිකානුවා පුස් වෙඩිල්ලක් ද?

ගෝඨාභය නන්දසේන ජනාධිපති වුණාට පස්සෙ දහනව වැනි සංශෝධනය තමන්ට බාධාවක් යැයි කිව්වේ ය. ජනතාව බලාපොරොත්තු වූ දහසකුත් එකක් දේවල් කර ගන්න බැරි වෙන කොට දහනවය ඒකට බාධාවක් යැයි කිව්වේ ය. ඒ නිසා ම එය අහෝසි කරන්න ඕනෑ යැයි මතයක් සමාජගත කළේ ය. අන්තිමේ දී ලැබුණු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා එය අහෝසි කර ගත්තේ ය. තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදන්නේ යැයි කියපු නන්දසේන දහනවය අහෝසි කරන්න කිසිදු හිරිකිතයක්, ලජ්ජාවක් නැතිව හකීම්ගේ, රිෂාද්ගේ පක්‍ෂවල ඡන්ද ටික ගත්තේ ය. බැසිල් ඒ වෙනුවෙන් ම හකීම්ලාගේ ගෙදරට ගියේ ය. එහි දී මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ටික ඉල්ලා පින්සෙණ්ඩු වුණේ ය. අන්තිමේ දී ජනවරමට පයින් ගහලා මුස්ලිම් ඡන්දවලින් විස්ස සම්මත කර ගත්තේ ය.

විස්ස සම්මත කර ගනිද්දී, ආණ්ඩුව ඇතුළෙන් ම බාධා කිහිපයක් ආවේ ය. ඉන් ප්‍රධානතම එකක් වූයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නොහැකි වගන්තිය ඉවත් කිරීම ය. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු නන්දසේනව බලයට ගෙනාපු හාමුදුරුවරුන් පවා එයට විරුද්ධ වූහ. ගම්මන්පිලලා, වීරවංශලා ඒ වගන්තිය නම්, කොහොමටවත් වෙනස් කරන්න බැහැ යැයි කියූහ. එකී වගන්තිය ඉවත් කරන්නේ නම්, තමන්ගේ ඡන්ද දෙන්නේ නැති බව ද ඔවුහු කිව්වෝ ය. ඒ දවස්වල විජේදාස රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවේ ම මන්ත්‍රීවරු මාරාන්තික විරෝධයක් එයට එල්ල කළහ. බැසිල් ඒ එක එක්කෙනාව වෙන වෙන ම හමුවෙන්නත් ගියේ ය. කොහොම වුණත්, අන්තිමේ දී බැසිල් ගෝඨාභය හරහා ගුළියක් අඹරා දුන්නේ ය. ආණ්ඩුව ඇතුළේ කට්ටිය කැඳවලා නන්දසේන වීරවංශලාට, ගුළිය ගිල්ලුවේ ය. එළියේ මහා සද්දෙ දාපු බොරු චණ්ඩියො, කීකරු බලු කුක්කන් වෙලා ගුළිය ගිල්ලේ ය. එනම්, “දෙදහස් විසිඑකේ අවුරුද්දේ අනිවාර්යයෙන් ම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. ඒකෙ දී ඔය වගන්තිය ඇතුළු තව තව පළාත් සභා වාගේ ඒවත් වෙනස් කරන්නම්” යැයි කිව්වේ ය. “එතෙක් මේ වෙලාවේ විතරක් මේ වගන්තියට ඡන්දෙ දෙන්න යැ”යි ඉල්ලා සිටියේ ය. ගුළිය කාපු කට්ටිය පහුවදා ම ඇවිල්ලා, ඇටිකෙහෙල් කාපු උගුඩුවො ටික වාගේ ඒ වගන්තියත් ඇතුළත් විස්සට අත් දෙක ම උස්සලා ඡන්දය දුන්හ.

රටේ හොරකම, දූෂණය, වංචාව නීතිගත ක්‍රමවේදයක් බවට පත් කළේ ඔහුගේ වැඩවලින් ය. ඒ නිසා ම මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වුණේ ය. තවමත් ඒවා උසාවියේ විභාග වෙමින් පවතී. ‘දිවිනැඟුම’ හොරකම, මල්වානේ කුප්‍රකට නිවස, ඔරුතොට නිවස ආදී මූල්‍ය චෝදනා රාශියකි. රටේ ආර්ථිකය නැවත භාර දෙන්න යන්නේ එවැනි මූල්‍ය චෝදනා ඇති කෙනකුට ය. මෙතරම් මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට රට පත් වෙලා තියෙද් දී, නැවත හොරකමට, වංචාවට පාර කැපෙන්නේ ඔහුගේ පැමිණීමෙන් ය.

දැන් ඒ කියපු අලුත් ව්‍යවස්ථාවක් තියා ඒ ගැන කතාවක්වත් නැත. යස අගේට ඒ වගන්තිය පාවිච්චි කරලා බැසිල් පාර්ලිමේන්තු එන්නේ ය. එදා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින් ම වෙනස් කළේ ඔය වුවමනාව වෙනුවෙන් ය. එනම්. තනි පුද්ගලයකු වෙනුවෙන් රටක මූලික නීතිය හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ ය. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස ම කැප වන්නේ නම්, විය යුතුව තිබුණේ, බැසිල් තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ය. නියම ශ්‍රී ලාංකිකයකු ලෙස රට වෙනුවෙන් මැදිහත් වීම ය. එවැන්නක් සිදු වුණේ නැත. මාධ්‍යවේදියකු එදා ඒ ගැන අහන කොට කිව්වේ, “නැහැ. මම ඇමෙරිකන් පුරවැසිකම කිසිසේත් ම ඉවත් කර ගන්නේ නැහැ” කියා ය. මුළු රටක්, දෙකෝටි විසිලක්‍ෂයක ජනතාවක් තමන්ගේ රටේ නීතිය බැසිල් රාජපක්‍ෂ කියන ඇමෙරිකානු පුරවැසියා වෙනුවෙන් වෙනස් කිරීමට ඉඩ දී බලා සිටිති. හැටනව ලක්‍ෂයක ජනතාවගේ ජන වරමට පයින් ගහලා තමන්ගේ ඇමෙරිකානු පුරවැසිකම රැකගනිමින්, ලංකාවේත් ඇමතිකම්වල, මන්ත්‍රීකම්වල වරප්‍රසාද භුක්ති විඳින්න නීතිය හදා ගත්තේ ය. රට වෙනුවෙන් වැඩ කරන්න එනවා යැයි කියන හාදයා රට වෙනුවෙන් තම ඇමෙරිකානු ගැතිකම, වහල්කම වෙනස් කර ගන්න සූදානම් වූයේ නැත. මුළු රටක් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම ආරක්‍ෂා කර ගන්න ඉඩ දී බලා සිටියි. මින් ඉතා පැහැදිලි වන තවත් කාරණා තිබේ. පළමුවැන්න ඔහු රටට කිසිදා ආදරයක් නැතිකම ය. දෙවැන්න අපේ රටේ මහජන දේපොළ ආයෙත් සැරයක් හොරා කාලා වැඩේ වරදින විට ඕනෑ ම වෙලාවක ඇමෙරිකාවට පලා යාමේ සූදානම ය. එදාට නැවත වතාවක් හැටනව ලක්‍ෂයක් ඡන්දදායකයන්ට පස්ස හරවන්නේ ය.

මෙතැන සැලැකිල්ලට ගත යුතු තවත් ප්‍රධාන කරුණක් ඇත්තේ ය. සාමාන්‍ය මැතිවරණ නීතිය වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වීම සඳහා එකී ලැයිස්තුවේ හෝ දිස්ත්‍රික්ක ලැයිස්තුවක නම සඳහන් වීම ය. පළමු වතාවේ ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම කළ හැක්කේ, එවැනි කෙනකු පමණි. යම් කිසි කෙනකු ඉල්ලා අස් වූ පසුව පුරප්පාඩුවට කිසි ම ලැයිස්තුවක නොසිටි කෙනකු පත් කළ අවස්ථා තිබේ. එහෙත්, එය මෙතෙක් උසාවියක් ඉදිරියේ අභියෝගයට ලක් වී නැත. බැලූබැල්මට ම පළමු අවස්ථාවේ දි බැරි නම්, දෙවැනි අවස්ථාවේ දීත් බැරි විය යුතු ය. රත්නසිරි වික්‍රමනායක එලෙස පත් කළ අවස්ථාවේ එය අභියෝගයට ලක් කළේ ය. එහෙත්, දේශපාලන හේතු මත එය වෙනස් වූ නිසා අතරමඟ නතර වුණේ ය. ඒ වාගේ ම පහුගිය මැතිවරණය පවත්වන අවස්ථාවේ රටේ ව්‍යවස්ථා නීතිය වූයේ එවැනි ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පත් වීමට නොහැකිව ය. එනම්, ඡන්දය තියපු වෙලාවේ නීතියට අනුව බැසිල්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය නොහැකි ය. විස්ස සංශෝධනය ගෙනාවේ ඊට පසුව ය. ඒ නීති තර්කයට අනුව බැසිල්ට කොහෙත් ම පාර්ලිමේන්තු ඒමේ හැකියාවක් නැත. මෙය  බරපතළ නෛතික තත්ත්වයකි. මැතිවරණ කොමිසම මෙය සලකා බැලිය යුතු කාරණයකි. මෙය මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් නොවූවකි. එසේ අභියෝගයට ලක් කළ හැකි බරපතළ කාරණයකි.

නීතිය එලෙස තිබිය දී, බැසිල් පහුගිය කාලය තුළ රටට, ජනතාවට කරන ලද ද්‍රෝහිකම් සැලැකිල්ලට ලක් කළ යුත්තකි. දෙදහස් පහළොවේ මහින්ද රාජපක්‍ෂ පරදින්නට ප්‍රධාන හේතුව වුණේ, බැසිල් ය. රටේ හොරකම, දූෂණය, වංචාව නීතිගත ක්‍රමවේදයක් බවට පත් කළේ ඔහුගේ වැඩවලින් ය. ඒ නිසා ම මූල්‍ය අපරාධ පිළිබඳ චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වුණේ ය. තවමත් ඒවා උසාවියේ විභාග වෙමින් පවතී. ‘දිවිනැඟුම’ හොරකම, මල්වානේ කුප්‍රකට නිවස, ඔරුතොට නිවස ආදී මූල්‍ය චෝදනා රාශියකි. රටේ ආර්ථිකය නැවත භාර දෙන්න යන්නේ එවැනි මූල්‍ය චෝදනා ඇති කෙනකුට ය. මෙතරම් මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට රට පත් වෙලා තියෙද් දී, නැවත හොරකමට, වංචාවට පාර කැපෙන්නේ ඔහුගේ පැමිණීමෙන් ය. ඒවා රිසි සේ කරන්න තමන්ගේ ගෝලයන්ට ද ඉඩ දෙන්නේ ය. අද ඔය බැසිල් ගේන්න කෑ ගහන ගොඩ දෙනෙක් පහුගිය කාලයේ ඔහු හදපු හොර ක්‍රමවලින් මුදල් හම්බ කරපු පිරිස ය. දැන් කෑ ගහන්නේත් ඒකට ය. ගෝඨාභය නැවත මේ ඉඩ හදා දෙන්නේත් ඒ සඳහා ය. තාප්පවල චිත්‍ර ඇඳලා, දහසකුත් බලාපොරොත්තු තියා ගත් තරුණ පරම්පරාවේ බලාපොරොත්තු සියල්ල තව තවත් සුනුවිසුණු වී යන්නේ ය.

මොළ හතක් තියෙනවා කියන්නේ, ඔන්න ඔය කියන හොරාකෑම්වලට ය. මොළ හතක් තියෙනවා කියන බැසිල් දෙදහස් දහයෙන් පස්සේ මුළු කාලයේ දී ම රටේ ආර්ථික ඇමැති ය. නන්දසේනගේ කාලයේ දීත් ආර්ථික පුනර්ජනනීය කටයුතු පිළිබඳ කාර්යසාධක බළකායේ සභාපති ය. මෙතරම් විශාල වූ ණය උගුලකට රට වැට්ටවූයේ ඔහුගේ අමනකම්වලින් ය; ගොන්කම්වලින් ය. එහෙව් බැසිල් ගෝඨාභයටත් වඩා වැඩකාරයෙක් යැයි කීම විහිළුවකි. ඒ විහිළුවෙන් පැහැදිලිවම ඔප්පු වන්නේ ගෝඨාභයට වැඩේ බැරි බව ය.  දියසෙන් කුමාරයා ආවාට පස්සේ ඔක්කො ම ගොඩ දානවා යැයි හිතපු එක දැන් තකිකර ම පුස්සකි. පූර්ණ විධායක බලයක් ලබා දුන්නේ ය. තුනෙන් දෙකේ බලයත් ලබා දුන්නේ ය. ප්‍රාදේශීය සභාවල බලයත් ලබා දුන්නේ ය. ඔක්කො ම දීලත්, බැරි නන්දසේනගේ ආණ්ඩුව මහා පරිමාණ හොරකම්වලට චෝදනා තියෙන බැසිල්ට ආර්ථික ඇමතිකම දීලා රට තව තවත් වළපල්ලට ඇදදමන්නේ ය. රටේ ජනතාව තව දුරටත් මේවා ඉවසා සිටිය යුතු නැත. මෙයට එරෙහිව නැඟීසිටිය යුතු ය. විශේෂයෙන් ම මේ ආණ්ඩුවට ඡන්දය දීපු අයගේ ප්‍රධානතම වගකීමක් වන්නේ තමන්ගේ බලාපොරොත්තුවලට පයින් ගහපු අයට එරෙහිව නැඟීසිටීම ය●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

nine − 7 =