බැසිල්ට ප්‍රශ්නයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස බැසිල් රාජපක්ෂගේ දිවුරුම පිළිබඳව නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි කාරණා දෙකක් පවතින බැවින්, ඔහුගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ගැටලුවක් මතුව ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එහි පළමු කාරණය වන්නේ පසුගිය මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ රටේ ව්‍යවස්ථාව ප්‍රකාරව ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පත් විය නොහැකිය යන්නයි. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුව ඉදිරිපත් වන්නේ ද එම නීතිය පිළිගනිමිනි.
එම කරුණ ප්‍රකාරව ද්විත්ව පුරවැසියකුට මෙම පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව නැති බව නීති තර්කය වේ. නමුත්, 20 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ලබා දී ඇතත්, එය වලංගු වන්නේ ඉදිරි මැතිවරණයකට බව නීති විශාරදයන්ගේ අදහස ය.
එම නීති තර්කයට අනුව බැසිල් රාජපක්ෂට මෙම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමට සුදුසුකමක් නොමැත.
දෙවැනි කාරණය වන්නේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පෙර ඔහු ඇමති ධුරයේ දිවුරුම් දීම ය. පාර්ලිමේන්තු මහ මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවේ බලය හිමි වන කණ්ඩායම මන්ත්‍රී ධුරවල දිවුරුම් දීමට ප්‍රථම අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය පත් වන නමුත්, මන්ත්‍රීවරයකුගේ ඉල්ලා අස් වීමෙන් හෝ මිය යාමෙන් ඇති වන පුරප්පාඩුවකට පත් වන පුද්ගලයා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට පෙර ඇමැති ධුරයේ දිවුරුම් දීම තුළ ද නෛතික ගැටලුවක් පවතින බව නීති විශාරදයන්ගේ අදහසයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.
එම නිසා මෙම කාරණා දෙක නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බැවින්, බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය අවිනිශ්චිත බව ඔවුහු පවසති.
මේ වන විට ඇතිව තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය බරපතළ ලෙස බිඳවැටී ඇත. බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබුව ද, පවතින අර්බුදයට කිසිදු විසැඳුමක් ලබා දීමට නොහැකි වන බව ආණ්ඩුව තුළ ම බොහෝ පාර්ශ්වයන්ගේ මතය වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

seven − 2 =