ගෝඨාභය දන්නේ එපමණයි !

දැන් එල්ලෙන්නට තියෙන එක ම වැල මර්දනය ය. ඇත්තටම ගත්තොත් ආණ්ඩුව වුණත් මර්දනයේ එල්ලී තමන්ගේ සියතින්ම ගෙල සිඳගන්නට කැමැති නොවනු ඇත. එහෙත් කරනවා කියූ දේවල් නිවැරදිව කරගන්නට අසමත්ව, ඒ වෙනුවට වෙනත් දේ ආදේශ කරන්නට ගොස් අතරමංව, තමන්ගේ සමීපතමයන්ට වරදාන-වරප්රසාද දෙන්නට ගොස්, ඒවා ලක්ෂ 69ක තමන්ව විශ්වාස කළ ජනතාවට මාට්ටු වී අවසඟව සිටින අවස්ථාවකි, මේ.
එපමණක්ද, ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට ආ ආණ්ඩුව රහසිගතව කරන හැමදේම එළියට යන්නේය. මාධ්යවල යන්නේය. ඡායාරූප, ලිඛිත සාක්ෂි සහිතව ඒවා අනාවරණය වන්නේය. අඩු තරමේ ඒවා එළියට ආවේ නැත්නම්, මඩ ගහන්න කියන දේශද්රෝහී, රාජ්ය නොවන සංවිධාන කතා යන ලේබලය අලවන්නට හැකියාව තිබිණි. එහෙත් සාක්ෂි තිබෙන නිසා ඒකත් දැන් වලංගු නැත. වර්තමාන ආණ්ඩුව බලයට පත්කරන්නට වෙහෙස වූ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාස කළ පාර්ශ්ව දැන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයාගේ කටයුතු වෙනුවෙන් පෙනීසිටින්නේ නැත. එයින් අදහස් කරන්නේ පෙනීසිටින්නන් නැති බවක් නොවේ. තමන්ගේ පැවැත්ම සුරක්ෂිත කරගැනීම අංක එක කරගත් පිරිසට වෙනත් දෙයක් කරන්නට නැත. කෙසේ වෙතත් ඔවුන්ට තමන් කැමැති දේශපාලන මතයක් දැරීමට අයිතියක් තිබේ.
එල්ලෙන්නට තියෙන එකම වැල
කිසිවක් නිවැරදිව කරගන්නට නොහැකිව, අවසඟව සිටින ආණ්ඩුව දැන් එල්ලී ඇත්තේ මර්දනයේ ය. ආණ්ඩුව හිතුවේ එකක් – දෙකක් කළ පසු, සියල්ල නිහඬ වනු ඇත කියා ය. කාක් තට්ටක් එල්ලුවා නම් මේ ඔක්කොම හරි යන බවක් ජොන්ස්ටන් ප්රනාන්දු ඇමැතිවරයා කිව්වේය. ඔහුටත් ඒ කතාව කියන්නට නිදහසක් තිබිය යුතුය. බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තම ෆේස්බුක් ගිණුමේ මාධ්යවේදී තරිඳු ජයවර්ධනට අනියම් තර්ජනයක් එල්ල කර තිබුණේ සොබාදහම ඔක්කොම බලාගනියි, අපරාධකරුවන්ට සිදු වූ දේ බලන්න යනුවෙනි. එහෙම කමේන්ට් එකක් දමන්නට ඒ මහතාට ද නිදහසක් තිබිය යුතුය. මේ ලැයිස්තුව සෑහෙන දිග ය. කුරුණෑගල නගරාධිපතිගේ උපන් දින සාදය ප්රමුඛ සිදුවීම් රැසකි.
ප්රශ්නය ඇත්තේ පොත්වල ඇති නීති සියල්ල මේ මහත්තුරුන්ට අදාළ නොවීමේත්, ජනතාවට අදාළ වීමේත් ය. 2020 මාර්තු මාසයේදී කොවිඩ් 19 වසංගත තත්ත්වය ප්රකාශයට පත්කිරීමෙන් පසු නිරෝධායන පනත යොදාගනිමින් සිදුවීම් රැසක් සිදු විය. ඒ අතරින් බරපතළ කාරණයක් වූයේ ජනතාවගේ අදහස් ප්රකාශ කිරීමේ නිදහසට එල්ල කළ බලපෑම ය. රට වසා තිබූ කාලයේදී තමන්ට ලැබිය යුතු සහන නොලැබුණු බවට පවසමින් විරෝධතාව දැක්වූ පිරිසක් අත්අඩංගුවට ගැනිණි. ඒ ගිය අවුරුද්දේ ය.
ආණ්ඩුවේ රෙදි ගැලවුණු දින දෙක
ආණ්ඩුව හරියටම මර්දන වැලේ එල්ලෙන්නට පටන් ගත්තේ පසුගිය 07 දා සිට ය. ගොවි ජනතාව මුහුණ දෙන පොහොර ප්රශ්නය පිළිබඳ බදුල්ල, බොරලන්දේ පැවති විරෝධතාව නිසා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම, රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් නොගෙවීමට එරෙහිව කොළඹ, කොම්පඤ්ඤවීදියේ පැවති විරෝධතාව සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම, කොම්පඤ්ඤවීදියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු නීතියට අනුව අනිවාර්යයෙන්ම සිටිය යුතු මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු හෝ නොමැතිව පොලිසිය විසින් ඔවුන් බලහත්කාරයෙන් පල්ලෙකැලේ නිරෝධායන මධ්යස්ථානය වෙත රැගෙන යෑමට කටයුතු කිරීම, මුතුරාජවෙල තෙත්බිම් විනාශයට එරෙහිව ජා-ඇල, බෝපිටිය මංසන්ධියේ පැවති විරෝධතාව සංවිධානය කිරීමට මැදිහත් වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්රධාන ලේකම් සහ හිටපු පළාත් සභා මන්ත්රී මහින්ද ජයසිංහ සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, තෙල් මිල හා බඩු මිල අඩු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කළුතර නගරයේදී පැවති විරෝධතාව සංවිධානය කළ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම, ජුනි 21 වන දින රාජ්ය ඇමැති සතාසිවම් වියලේන්ද්රන්ගේ ආරක්ෂක නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද මහාලිංගම් බාලසුන්දරම්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මඩකලපුව, ගාන්ධි උද්යානය ඉදිරිපිට උද්ඝෝෂණය කළ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම එදින පමණක් සිදු විය.
ඉන්පසු පසුගිය 08 දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාල පනතට එරෙහිව විරෝධතාව දක්වමින් සිටි ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම, පොහොර ගැටළුව පිළිබඳව විරෝධතාව දැක්වූ අකුරැස්සේ කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ පිරිසක් අත්අඩංගුවට ගැනීම සිදු විය. (ලිපිය සකස් කරන අවස්ථාව වන විට)
එක රටක් – නීති දෙකක්
මේ සියල්ල ජනතාවගේ ගැටළු වෙනුවෙන් සිදු කළ විරෝධතා විය. ජනතාවගේ ගැටළු වෙනුවෙන් විරෝධතාව දැක්වීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීමට නිරෝධායන නීති භාවිත කළද, ආණ්ඩුවේ කටයුතු, විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ වෙනුවෙන් රතිඥ්ඥා දැමීම්, පෝස්ටර් ඇලවීම් සඳහා ජනතාව ඒකරාශී වූවා කියා අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත. ආණ්ඩුවේ සමීපතමයන්ගේ සාද අවස්ථා වැටලීමක් සිදු වූයේ නැත. එනම් ගැටළුව පැහැදිලි ය. ආණ්ඩුව කරන්නේ නොහැකියාවේ විලි වසාගැනීමේ අහිංසක උත්සාහයක් ක්රියාවට නැංවීම ය. ඒ සඳහා නීතිය අවභාවිත කිරීම සහ පොලිසිය අවභාවිත කිරීම ය.
පසුගිය 07දා ආණ්ඩුව මර්දනය මුදාහරින බවට තීරණාත්මක සංඥාවක් දුන්නේය. එහෙත් 08දා ද ජනතාව ඊටත් වඩා සක්රීය ව එළියට බැස්සේය. දේශපාලන පක්ෂ ඒ පිටුපස සිටින බවට ආණ්ඩුව කිව්වේය. එය අසත්යයක් නොවේ. දේශපාලන පක්ෂ ක්රියාකාරීන් මෙන්ම පක්ෂ ලෙස ද ඔවුහු එළියට බැස්සහ. ආණ්ඩුව කියන්නේ ඔවුන්ට එළියට නොබැස, ගෙවල් ඇතුළට වී සිටින ලෙස ද? දේශපාලනය කියන්නේ බලය වෙනුවෙන් සිදුකරන දෙයකි. ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කළේ කුමක්ද? අගය කළ යුත්තේ ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කළාක් මෙන් ජාතිවාදය සහ ආගම්වාදය වැනි විනාශකාරී අන්තවාදයන් ඇවිස්සීමකින් තොරව, ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටීම ය.
ප්රජාතන්ත්රවාදී රටක් ?
ප්රජාතන්ත්රවාදී රාජ්යයක් ලෙස හඳුන්වන ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් මෙසේ ජනතාවට අදහස් ප්රකාශ කිරීමේ නිදහස ලබා දී තිබේ. පොලිසිය සහ වසංගතය පාලනයට යොදාගන්නා නීති භාවිත කරමින් ඒ අයිතිය විනාශ කරන්නේ නම්, එය තවදුරටත් ප්රජාතන්ත්රවාදී රටක් නොවේ.
අදහස් ප්රකාශ කිරීමේ අයිතිය ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් පිළිගෙන ඇති මූලික අයිතියකි. එසේම ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය ද පුරවැසියන්ට ඇති බව ශ්රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින් ද තහවුරු කර තිබේ.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14 (1) (අ) ව්යවස්ථාවේ මෙසේ දක්වා ඇත.
‘සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.’
වල්බූරු නිදහසක් නැත
ව්යවස්ථාවේ සඳහන් වන ආකාරයට එය සියලු පුරවැසියන්ට ඇති අයිතියකි. ආණ්ඩුවට විපක්ෂයේ සිටියදී පමණක් හිමි අයිතියක් නොවේ. එසේම පුරවැසියන්ට ද හිතූමනාපයේ හැමදේම කළ නොහැකිය. ව්යවස්ථාවේ 15 ව්යවස්ථාවේ දක්වා තිබෙන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2) ව්යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව යනුවෙනි.
එසේම 15(7) ව්යවස්ථාවේ භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලා ගැනීම පිණිසත්, ප්රජාතන්ත්රවාදී සමාජයක පොදු සුබ සාධනය සඳහා යුක්ති සහගත අවශ්ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත්ව යනුවෙන් සඳහන් ය. නීතිය යන්නට මහජන ආරක්ෂාව සඳහා සාදනු ලබන නියෝග ද ඇතුළත් වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කළේ කුමක්ද?
ඒ අනුව ව්යවස්ථාවෙන්ම පැහැදිලි කර ඇත්තේ ගාල කඩාගෙන හැමදේටම විරෝධතාව දැක්වීමට නොහැකි බවයි. එහෙත් වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී සංවිධානය කළ බවට චෝදනා එල්ල වන මහනුවර, දිගන නිශ්චිත ප්රජාවකට පහර දීම මෙහිදී අයිතියක් වන්නේ නැත. එමගින් සිදු කරන්නේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව විනාශ කිරීම ය. එහෙත් අම්පාරේ හෝටලයක් තුළදීත් ඔවුන් කළේ ඒක ය. අනෙක් අතට මහජන ආරක්ෂාව යනු වගකීමකි. මෙවැනි වසංගත තත්ත්වයක් යටතේ සෞඛ්ය ආරක්ෂාව පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව විරෝධතාකරුවන් කටයුතු කළේ නම්, එය බරපතළ තත්ත්වයකි.
එහෙත් එය එසේ නොවීය. කොළඹ, කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේදී විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස නිරෝධායනයට රැගෙන යන අවස්ථාවේදී විරෝධතාකරුවන් පැහැදිලිව පැවසුවේ තමන් ඊට සූදානම් බවයි. එහෙත් නීතියට අනුව මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු කැඳවන ලෙස ඔවුහු අවධාරණය කළහ. එහෙත් පොලිසිය ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නේ නැත. ඔවුන්ට ඇඳුම් ගන්නට යන්නට හෝ ඇඳුම් ගෙනැත් දෙන්නට විශේෂයෙන් කටයුතු කළේ ද නැත. එම නිසා ඔවුන්ගේ අරමුණ පැහැදිලි ය. ඔවුන්ගේ අරමුණ ජනතාවගේ යහපත නම්, අනෙකුත් සියලු කටයුතු, විශේෂයෙන්ම සම්බාහන මධ්යස්ථාන පවා විවෘත කිරීමට නිර්දේශ කර ඇති අවස්ථාවක උද්ඝෝෂණ පමණක් තහනම් කරන්නේ ඇයි?
අවශ්යතාව ජනතා ඝාතනයක් ද?
රාජ්යයේ ක්රියාකාරිත්වය විවේචනය කිරීම භාෂණයේ නිදහස යටතට ගැනෙන බව විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93) නඩු තීන්දුවේ පැහැදිලිව දක්වා ඇත. එම තීන්දුවේ මාර්ක් ප්රනාන්දු විනිසුරුවරයා විශේෂයෙන් සඳහන් කරන ලද කරුණක් පසුගිය 08දා වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45ක ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. එම නිවේදනයේ අරමුණ වූයේ ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනයට එරෙහිව ජනතාව පෙළගැස්වීම ය.
‘Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsory unification of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginnings.’
විනිසුරුවරයා සඳහන් කර ඇති ආකාරයට ප්රතිවාදී අදහස් බලහත්කාරයෙන් මර්දනය කිරීමට උත්සාහ ගතහොත්, එම ක්රියාවලිය අවසන් වන්නේ බරපතළ ජීවිත හානි මගින් ය.
ආණ්ඩුවට අවශ්ය වී ඇත්තේ ජනතාව ඝාතනය කිරීමට ද?
අමතක නැති අඳුරු ඉතිහාසය
2005 – 2015 කාලයේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කාලයේදී සිදු වූයේ මෙය නොවේද? වැලිවේරිය, රතුපස්වල ජනතාවට ආරක්ෂක අංශ යොදවා වෙඩි තැබුවේ ඔවුන් පානයට පිරිසිදු වතුර ඉල්ලා විරෝධතා දැක්වීම නිසා ය. ආණ්ඩුවට සමීප ව්යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරාගේ විනිග්රෝස් නම් රබර් අත්වැසුම් කර්මාන්ත ශාලාව වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට වෙඩි තැබුවේය. එහිදී ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අනෙකුත් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවලට අත්වූ ඉරණම අතිශය ඛේදජනක ය.
ධීවරයන්ට ඉන්ධන සහනාධාරය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී ආරක්ෂක අංශ යොදවා කළ වෙඩි තැබීමෙන් හලාවත ඇන්තනී ඝාතනය විය. අත්තනෝමතික ලෙස සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා පෞද්ගලික විශ්රාම වැටුප් ක්රමයක් ඇතිකිරීමේ උත්සාහයට එරෙහිව කටුනායක ආයොජ්න ප්රවර්ධන කලාප පරිශ්රය ආසන්නයේ සිදු කළ විරෝධතාවට කළ පොලිස් වෙඩි තැබීමෙන් රොෂේන් චානක ඝාතනය විය. මෙවැනි සිදුවීම් රැසකි. ඒවායේදී ආණ්ඩුක්රම ව්යවස්ථාවට මෙන්ම අදාළ තීන්දුවලට ද අත්වූ ඉරණම අද ද අත්වෙමින් තිබේ.
දණ්ඩ මුක්තිය ෂුවර් නායකයෙක්
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා මෙසේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නා බව පුන-පුනා කියන්නේ මෙවැනි ආණ්ඩුවකි. බලය වෙනුවෙන් ඔ්නෑම දෙයක් කරන්නට සූදානම්, ඝාතන සිදු කළ පාර්ශ්වවලට දණ්ඩ මුක්තිය ලබාදීමට මූලික වූ පුද්ගලයෙකු රාජ්ය පාලනයේ ඉහළම පුටුවේ සිටින අවස්ථාවක මෙවැනි මර්දනයක් අනිවාර්යයෙන් බලාපොරොත්තු විය යුතුය. ඊට හේතුව ඔවුන් දන්නේ එපමණක් නිසා ය.
දැන් ඇත්තේ කඳවුරු දෙකකි. එකක් නීතිගරුක කඳවුර ය. අනෙක නීතිය මායිම් නොකරන කඳවුර ය. නීතිගරුක කඳවුර ශක්තිමත් කිරීම වෙනුවෙන් සියල්ලන් එකට එක් විය යුතුව තිබේ.
– ශාලික විමලසේන
(ලංකා පුවත්පත – 2021.07.09 – පිටුව 05)
Leave A Reply

Your email address will not be published.

thirteen − five =