ඝාතනය වූ හයිටියේ ජනාධිපති

හයිටියේ ජනාධිපති ජොවැනෙල් මොයිස් මහතා ඊයේ(07) තුවක්කුකරුවකු විසින් ඝාතනය කරන ලද බව වාර්තා විය. මොයිස් මහතා ඝාතනය කර ඇත්තේ ඔහුගේ පෞද්ගලික නිවස තුළදී වන අතර සිද්ධියෙන් ජනපති බිරිඳ ද තුවාළ ලබා තිබෙනවා. අන්තර්වාර රජයේ අගමැතිවරයා විසින් තම ජනාධිපතිවරයාගේ මරණය සනාථ කර තිබෙන අතර මේ වන විට පොලීසිය හා හමුදාව එරට ආරක්ෂාව තහවුරුකර ඇති බවත් තහවුරුකර තිබෙනවා.
53 හැවිරිදි මොයිස් සිය පූර්වගාමියා වූ මයිකල් මාටෙලිගේ ඉල්ලා අස්වීමෙන් පසු 2017 පෙබරවාරි මාසයේදී එරට ජනාධිපති ධුරයට පත්වුණා. මේ වසර මුල සිටම හයිටි පුරවැසියන් සහ විපක්ෂ නායකයින් විසින් මොයිස්ට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියේ ඔහුත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා රට ඉදිරියට ගෙන යෑමට අපොහොසත් වූ නිසයි. මෝසෙස්ගේ පාලන සමයේදී හයිටියේ මැතිවරණ පැවැත්වීමට පවා අපොහොසත් වුණා. අගනුවර වන පෝර්ට් ඕ ප්‍රින්ස් හි අපරාධ බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර ජනගහනයෙන් අඩකට වඩා උපයන්නේ දිනකට ඩොලර් 2 කට වඩා අඩු ආදායමක්. කැරීබියන් කලාපයේ පිහිටා ඇති හයටිය ඇමෙරිකානු මහාද්වීප ද්විත්වය තුළ ඇති දුප්පත්ම රට ලෙස වාර්තාවෙනවා.
– ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

13 − three =