ජෝති අහන්න ..!

දැඩි නියංසායට කේඩෑරි වී ගිය ගහකොළ සමාන ,අහේතුවන්ත මිනිස් සමූහයාගෙන් පිරි වන්නිකරයේ උපන් ,එක් සෝමාරි කෙල්ල ක ,ඔබේ හඬ මුලින්ම ඇසුවේ සාරෙට ගත් ගමේ මඟුලක දී ය.
මුලදි බැන්ඳ ආදරය ක මිහිර දැන්
සැනසීම සොයමි ,මගෙ පපුවට තද කරන්
කොල්ලන් ඒ තාලයට තොල් උල් කර කර සිවුරුහන් බානවිට ,ඒ හඬේ මොකක්දෝ නොදන්නා ඇඟෑලුම්කමක් ඇති බව ඒ කෙල්ලට ද දැනෙන්නට පටන් ගෙන තිබුණි.ඈ,ලවුඩ්ස්පීකරය එල්ලා තිබූ අඹගසේ මුලට ම ගියේ ඒ අමුතු කටහඬින් හොඳින් කන් පුරවා ගන්නට ය .
” පිස්සුද උඹට ..කන් අඩි පැළෙයි.ඈතට යමං..”
අර ,සෝමාරි කෙල්ල ගේ යෙහෙළියක දුන් ඒ උපදෙස නොවන්නට ,ඈ හැමදාකම ත් ගමේ මඟුලක දී ලවුඩ්ස්පීකර් එල්ලා ඇති ගස් මුලට දිව යනවා නොඅනුමානය .
හෙට්ටිආරච්චි ගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල නම් ,මේ අමුතු රසක් ඇති හඬක් සහිත සින්දු කියන්නාගේ වැඩි වග ,විස්තර වංහුං හොයන්න ට ඒ කෙල්ල ට කවදාකවත් ඕනෑ වූයේ නැත.ඈට තිබූ එකම කැමැත්ත ගමේ හෝ අල්ලපු ගමේ සරුසාර මඟුලක දී යකඩ කටින් නැගෙන මේ මනෝරම්‍ය හඬින් මෝහනය වන්නට තිබූ ඕනෑකම පමණි.
සැලෙන ලෙලෙන දලුව විලස
නිතඹ නලෝලා ,නිතඹ නලෝලා
එහෙම ගැයෙන විට ඈ ට හිතන්නේ ම ඒ කියන්නේ ඈ ගැන ම කියා ය.වෙලේ ලිඳ පල්ලේ උල්පතින් දිය සීරාව පොල් කට්ටක් පිරෙන්න ට කාන්දු වෙනතුරු ඇගේ කල්පනා ලෝකය පිරී තිබෙන්නේ ම මේ ලෙළෙන නිතඹ ගැන ය.බොන වතුර මැටි කලයක් පෙරා ,සූරා ගන්න ට එහෙම ගතකරන පැය තුන,හතරක කාලය ඇයට නම් ,දෙවියන් දුන් ත්‍යාගමත් මොහොතකි.ඒ එසේ ගතවෙන හැම තත්පරයක ම ඈට ඔබේ හඬ සමග ඒකාත්මික වන්නට තිබූ නිදහස නිසා ය.
කොහි යන්නේ බඳ නලවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ
වද මල වාගේ ,වද මල වාගේ
ඒ සෝමාරි කෙල්ල ටිකෙන් ටික උස්,මහත් වනවිට ඔබේ හඬ ද ,ඒ හඬට ඔබ දෙන අරුත් ද ,ප්‍රේම ලලාසාවෙන් පිරුණු තනු ද අතර මංමුළා වන්නට පටන් ගත්තා ය.ඔබ ගැන සොයන්නට ත් ,සිනමා පත්තර වල තිබූ ඔබේ පිරුණු හිනාව දෙස ,ආයාසයකින් තොරව බලාහිඳින්නටත් තරමට ඈ ,ඒ වනවිට මෝරා සිටියා ය.
එපා එන්න කියලා මොකෝ මැණිකෙ කීවේ
සිනාවෙන්න ආවත් ,ඇඬෙව්වේ ඔයානේ
විප්පයෝගය යනු ,එතරම්ම වේඳනාකාරී අත්දැකීම ක් බව,ඈට මුල් වරට කියා දුන්නේ ඔබය.ඔබේ මායාකාරී හඬ ය.
පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරුරාසී
නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනේතේ කාන්තී
ඔය ගීත ය ,ඇගේ වයසේ කෙල්ලන් ට හොදින් ඇසෙන කාලය වනවිට ,ඈ මෙන් ම ගමේ තවත් කෙල්ලෝ බුරුත්තක් ම ඔබට වශීකෘත ව හිඳිමින් සිටින බව ඈ දැනගත්තේ අහම්බෙනි.එදා රාත්‍රියේ ඈ ,යම්කිසි ස්ථිර තීරණයක ට එළැඹියා ය .ඒ තමා හැර ,තවත් කෙල්ල න් ,හා ගැහැනුන් වශී කරවන අන්දමින් කටහඬ හැසිරවීමෙන් හා ගී ගැයීමෙන් වළකින ලෙස ඔබට දැනුම් දීමට ය.එසේ නොවන්නේ නම් ඈ ,ගමේ ඇටකිත්තර කොල්ලකු හා හාදවී ,ඔබට පාඩමක් උගන්වන බව කියා සිටීමට ය.
එහෙත් ,සහතිකේට ම මොකක් දෝ හේතුවක ට එහි පළමු වැන්න සිදුවූයේ නැත.දෙවැන්න ට ආසන්න වගේ යමක් සිදුවෙමින් පවතිද්දී ම ඊට කණ කොකා හැඬුවේ ය.එහිදී ද ඇගේ ඇස පිසලන්න ට ඉදිරිපත් වූයේ ,ඔබේ ආදරණීය කටහඬ ම පමණි.
නින්ද නේන රාත්‍රියේ
මේ පාලු කාංසියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ
මැණිකෙලා ගැන ත් ,කාන්තිලා ගැන ත් ඔබ පෙන්වන ඕනෑකම ,ඕනෑවට වඩා වැඩි යැයි බොහෝ වර සිතී තිබුණ ද ,ඇගේ ගම් තුළානේ ද හිටි තරමක් හිටියේ ,කාන්තිලා ,මැණිකෙලා ,හා ලතා ලා ය.ඉදින් ,ඔබට එක එල්ලේම දොසක් කියන්න ට බැරි බව ඈ ,කල්පහු වනවිට තේරුම් ගත්තා ය.
ඈ ,ළමිස්සි කාලයේ කියැවූ සිනමා පත්තරය ක තිබූ හැටියට ,ඔබ මුල්වරට චිත්තර පටියක් වෙනුවෙන් ගී ගයා තිබුණේ ,පණස් හයේ කළබල වලටත් ඉස්සර කාලයේ ය.ඒ සිරිසේන විමලවීරගේ ” පොඩි පුතා ” නම් නම තැබූ චිත්තර පටියට ය.එහෙත් ,මොකක්දෝ හුටපටයකට ඒ චිත්තර පටිය පෙන්වා නැත.ඊළගට ඔබ මතුවන්නේ ” සුරතළී ” තුළිනි .ඒ 1956 අවුරුද්දේ ය.සිරිල් පී.අබේරත්න ගේ “සුරතලී” බයිස්කෝප් එකට ඔබ ගැයූ ” සිරිය මෙ සාරා – නැගේවි හද මෝරා ” ගීතය ඔබ ,ලංකාවේ අමරණීය චිත්‍රපට පසුබිම් ගායකයා බවට ඔසවා තැබීමේ ,මූලාරම්භක අවස්ථාව වූවේ ය.එතැන් සිට ,අර සෝමාරි කෙල්ල ඉපැදෙන තුරුත් ,ඇගේ හිතේ ගමේ කොල්ලන් ගැන අනම්,මනම් හිතෙන්න ට පටන් ගන්නා තුරුත් ,ඔබ ජීවමානව ගැයුවේ ය.ඇගේ පමණක් නොව ,ඇගේ වයසේ ,ගම්වල බොහෝ කෙල්ලන්ගේ හිත්වල අනම් ,මනම් ,හිතිවිලි උපද්දන්න ට ඔබේ ඔය ,මෝහනීය හඬ හේතුවූවා යැයි කියන්න ට දැන් සමහර විට ප්‍රමාද වැඩිවිය හැකිය.
එහෙත් ,තවමත් ඔබට හෝ වෙනත් ,කිසිවෙකුට ත් නොකියූ කතාව ක් ,එදා කුඩා කෙල්ලක ව සිට අද මැදිවියේ ගැහැනිය ක වන ඈ ළඟ සුරැකිව තිබේ.ඒ 1937 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 12 දින මෙලොව උත්පත්ති ය ලැබූ ඔබ ,1956 අවුරුද්දේ සිට ,ඔබේ මනමෝහනීය හඬින් ,රටකට උත්පත්ති ය දී ,1987 ජූලි 07 වැනි දින සිය කාර්‍ය අහවර කර නික්මයන තුරුම ,ඔබ නොදැන සිටි කතාවකි.
වෙනතක යන්න ගියා
මුලදී අත දීලා
කොහොමද ඉන්නෙ ඔයා
මගෙ හිත රිදවාලා
ඒ කොහොම කතාවක් වුණත් ,ඈ ට කොහොමටවත් එහෙම කියන්න ට බැරි ය.ඈ ට පමණක් නොව ,ඔබේ හඬට ,එහි බරට ,ළගන්නාසුලු රිද්මය ට පෙම් කළ කිසිවෙකුට ත් එහෙම කියන්න ට බැරි බව ඈට සිතෙයි.
ඉතින් ,ආදරණීය ජෝති ,
අහන්න .!
ඔබේ වියෝවෙන් විසිනව වසරක් පිරෙන මේ මොහොතේ පටන් ,එදා සිටි අර සෝමාරි ගැහැනු ළමයා ඔබට ආදරය කරන්න ට පටන් ගෙන තිබේ .!
ඈට ඇති එකම දුක ,මැණිකෙලා ,කාන්තිලා වෙනුවෙන් දුසිම් ගණනක් ගී ගැයූ ඔබට ,ඈ වෙනුවෙන් එක ගීයක් හෝ ගයන්නට දෛවය ඉඩ නොතැබීම පමණෙකි.ඒ හැර ,ඔබ වියෝ වූවා යැයි ඈට නොහැඟේ.
ඒ ජෝතිපාල යනු අවසානයකට නොව ,ඇරඹුමකට තබන තවත් එක් නාමයක් නිසා ය.ඔබේ අමරණීය හඬ ,මේ තත්පරයේ ද ඇගේ දෙසවන් තුළ නින්නාද දෙමින් තිබේ.

– අනුරාධා නිල්මිණී
(අසහාය ගායනවේදි ,එච්.ආර්.ජෝතිපාලයන්ගේ අද වැනි දිනෙක යෙදී ඇති අනුස්මරණය සිහිපත් කරමින් ,2016 .07.17 දින ” රාවය ” ට ලියූ ලිපියකි.)

එච්.ආර්. ජෝතිපාලයන 1987 ජූලි මස 07 වන දින මියගිය අතර අදට 34 වසරක් සම්පුර්ණ විය

Leave A Reply

Your email address will not be published.

fourteen + ten =