“සෑම අරගලයකටම නායකත්වය දීල ඒවා දිනා දීමට අප සූදානම් අත්අඩංගුවට අරන් අපිව නවත්වන්න බෑ”

- අනුර දිසානායක

“ආණ්ඩුව මේ දියත් කර තිබෙන මර්දනය වහාම නතර කළ යුතුයි. දැන් මේ විරෝධතාවන්ට නායකත්වය දුන් පිරිසට කටඋත්තර ලබා දීම සඳහා 07වැනිදා උදේ 9.00ට පොලීසියට පැමිණෙන ලෙසට නියෝග ලබා දී තිබෙනවා. මේ කරන්න හදන්නේ බියවැද්දීමයි. විරෝධතාවයන් මර්දනය කිරීමයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ විරෝධතාවයන් මර්දනය කිරීමෙන්, එයට මැදිහත් වන අය බිය ගැන්වීමෙන් මේ විරෝධයන් යටපත් කිරීමට උත්සාහ ගන්නේනම් එය අසාර්ථකම උත්සාහයක් බව අපි අවධාරණය කරනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දරන ප්‍රයත්නය වහා නතර කළ යුතුයි. එම ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කරනවා. එම මර්දනීය ක්‍රියාමාර්ගවලට කවුරුන් බිය වුවත් මේ ජනතාවගේ සෑම අරගලයකටම නායකත්වය දීමටත් ඒවා දිනා දීමටත් අප සූදානම්.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,

“පොහොර ලබා දෙන ඉල්ලා උද්ඝෝෂණය කළ ගොවීන් ගණනාවක් මේ වන විට ආණ්ඩු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. දැන් ඊට අමතරව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාත්න, ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහෝදරවරුන්, ගල්ඒදණ්ඩ විජිතාරාමයේ විහාරාධිපති වීරකැටියේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබෙනවා. මෙම මර්දනීය ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.

මේ වනවිට රට පුරා සියලු ජන කණ්ඩයම්වල විරෝධයක් මේ ආණ්ඩුවට එරෙහිව නැගෙමින් තිබෙනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්වවිද්‍යාල දුවා දරුවන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටිනවා. ජීවත්වීමට නොහැකි වීම නිසා පොදු ජනතාව තමන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා. මේ උද්ඝෝෂණ පැන නගින්නේ හුදෙකලාව නෙමෙයි. ආණ්ඩුව ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම නිසයි. මේ වන විට මෙම උද්ඝෝෂණයන්හි මධ්‍යස්ථානයන් වී තිබෙන්නේ ගොවි ජනපදයි. පහුගිය කාලය පුරාවටම එප්පාවල, අනුරාධපුරය, වැලිමඩ, ඇඹිලිපිටිය ආදී ගොවි ජනපද ගණනාවක ආණ්ඩුවට විරෝධය එල්ල වෙමින් තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රධානම ගැටලුව වී තිබෙන්නේ තමන්ගේ කෘෂිකර්මාන්තය කරගැනීමට අවශ්‍ය යෙදවුම් නිසි කලට ලබා දීමට ආණඩුව අසමත් වීම නිසයි. මෙය ගොවි ජනතාවගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. වැලිමඩ ප්‍රදේශයේ ගොවීන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වී තිබෙන්නේ අර්තාපල් වගාවයි. බිම් සකස් කර, බීජ අල ගෙනැවිත් තිබෙන නමුත් ඒවා සිටුවීමට අවශ්‍ය යෙදවුම් ලබා දීමට ආණ්ඩුව අසමත් වී තිබෙනවා. දඹුල්ල ප්‍රදේශයේ එළවළු ගොවීන් තමන්ගේ බටු අස්වනු විනාශ කරමින් සිටිනවා. ඒ අවශ්‍ය වන කෘමිනාශක ලබා දෙන්න ආණ්ඩුව කටයුතු නොකළ නිසයි. ගොවි ජනතාවගේ ඇස් ඉදිරිපිට ඔවුන්ගේ වගාවන් විනාශ වෙමින් යනවා. අස්වැන්න ප්‍රමාණවත් තරමින් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. එළවළු අස්වනු පණුවන් විසින් විනාශ කරමින් තිබෙනවා. ගොවි ජනතාවගේ ජීවිතය සමග ගැටගැසුණු ප්‍රධානතම ආර්ථිකය තුළ ඔවුන් ව්‍යසනයකට මුහුණපා තිබෙනවා.

ආණ්ඩුව රසායනික යෙදවුම් නතර කර කාබනික යෙදවුම්වලට මාරු වීමට තීරණයක් ගනු ලැබුවා. ඒ පිළිබඳව කිසිවෙකුගේ විරෝධයක් නැහැ. එසේ නම් ආණ්ඩුව කාබනික යෙදවුම් නිසි කලට නිසි ප්‍රමාණයට ලබා දිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව එසේ කිරීමට අසමත් වුණා. ගොවීන්ට තමන්ගේ වගාවන් ඇස් ඉදිරිපිට විනාශ වෙමින් තිබෙනු දකින්නට සිදුවුණා. ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය එයයි.

Leave A Reply

Your email address will not be published.

13 − six =