පල්ලෙවත්ත – නාගානන්ද හවුලත් ඉවරයි

ජනාධිපතිවරණය සඳහා රොහාන් පල්ලෙවත්ත සහ  නාගානන්ද කොඩිතුවක්කු එක්ව පිහිටවූ “අභිමන් ලංකා” සන්ධානය අහෝසි වී තිබේ.  සන්ධාන ගතවීමට පෙර දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාවන්ගෙන් සුවිශේෂී කාරණය වූ නාගානන්ද කොඩිතුවක්කුගේ ජනරජ ව්‍යවස්ථාවට එරෙහිව මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබා දීම එම සන්ධානය අහෝසි වීමට ප්‍රධානම කාරණය වී ඇත.

පසුගිය අගෝස්තු මස 22 වැනිදින මෙම “අභිමන් ලංකා” සන්ධානය පිහිටවූ අතර එතැන් පටන් නාගානන්ද සහ පල්ලෙවත්ත දෙදෙනෙක් නොව එක් තැනැත්තෙක් බවත් විකල්ප බලවේගයක් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවයි ඔවුන් අවධාරණය කළහ.

නාගානන්ද කොඩිතුවක්කු මහතා තමන් ඉදිරිපත් කර තිබෙන ජනරජ ව්‍යවස්ථාව එම හවුලේ ඇතැමුන් මෙය විවේචනය කර තිබූ අතර එකඟතාවකින් පසු එලෙස විවේචන ඉදිරිපත් වීම පිළිගත නොහැකි හෙයින් නාගානන්ද “අභිමන් ලංකා” සන්ධානයෙන් ඉවත්ව සිය ප්‍රචාරණ කටයුතු සිදු කරමින් තිබේ. රොහාන් පල්ලෙවත්තද දැන් සන්ධාන පසෙකලා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටින බව සඳහන්ය.

විකල්ප දේශපාලනයක් බලගැන්වීම වෙනුවෙන් තම තමන් දේශපාලන පිටියට පිවිසි බවට පල්ලෙවත්ත සහ නාගානන්ද දෙපළම ප්‍රකාශ කරනු පෙනෙන්නට තිබුණි.   තවදුරටත් එම අරමුණ සවිබල ගැන්වීම සඳහා විකල්ප වේදිකාවක් ගොඩනැගූ බවත් සියලු විකල්පයන්ට ඊට එක්විය හැකි බවත් ඔවුන් මීට පෙර අවධාරණය කළේය.

කෙසේවෙතත් අවම වශයෙන් මාසයක හෝ කාලයක් එකී සන්ධානය පවත්වාගෙන යාමට හැකිවී නැති අතර ඔවුන් සන්ධානයක් ලෙස දවසක් හෝ කටයුතු කරන ආකාරයක්ද  පෙනෙන්නට තිබුණේ නැත.එහෙයින් පල්ලෙවත්තට මෙන්ම නාගානන්දට මේ දේශපාලන පිටියේ තව බොහෝ දෑ ඉගෙනීමට ඇති බව දැන් ඔවුනොවුන්ම වටහාගත යුතු බව දේශපාලන විචාරකයෝ පවසති.

Source – LNW

Leave A Reply

Your email address will not be published.

five × 4 =