ලංකාවට අයත් මුහුදේ මෙතරම් නැව් ගිනිගන්නේ ඇයි?

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගමන් ගන්නා නෞකා හදිසියේ ගිනි ගන්නා විශේෂ තත්ත්වයක් වාර්තා වන්නට වූයේ, වත්මන් ආණ්ඩුව බලයට පත් වූවාට පසුව ය. වත්මන් ආණ්ඩුව බලයට පත් වූවාට පසුව නෞකා තුනක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ දී ගිනි ගැනීම්වලට ලක් විය.

නැව් තුනක්

මුලින්ම ගිනි ගැනීමකට ලක්වූවේ නිව් ඩයමන්ඩ් නෞකාවය. ඉන්දියානු වෙරළ ආරක්ෂක නෞකාවල ද සහායෙන් එම ගින්න නිවා දැමීමට හැකි වූ අතර, ඒ වෙනුවෙන් පොරොන්දු වූ වන්දියෙන් කොටසක් පමණක් මේ වන විට ලැබී තිබේ. එයින් ද කොටසක් ඉන්දියාවට ගෙවීමෙන් පසු මෙරට ආණ්ඩුවට ඉතිරිව ඇත්තේ ගින්න නිවීමට වැය වූ මුදල පමණකි.
ඉන් පසු ගිනි ගැනීමට ලක් වූයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ය. එහි ගින්න පාලනය කිරීමට මෙරට බලධාරීන් අසමත් වීම මත එය ගිනිගෙන මුහුදුබත් විය. එහි රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැසක් පැවැතීම මුළු සාගර කලාපයම විපතට හැරීමක් විණි.
තුන්වන නෞකාව වූවේ එම්. එස්. සී. මෙසීනා නෞකාවයි. දකුණු මුහුදු තීරයේ රාවණා තුඩුවට මුහුදු සැතපුම් 480ක් එපිටින් නෞකාවේ ගින්න හට ගත් අතර, පසුව ඔවුන් විසින්ම එය මැඬපවත්වා ගනිමින් පිටත්ව ගොස් තිබිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න

ශ්‍රී ලංකා මුහුදු තීරයට පමණක් නොව සමස්ත කලාපයටම හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට මෙරට බලධාරීන් වෙනත් රටවලින් පළමු ගින්න මැඬපැවැත්වූවා සේ ආධාර ඉල්ලා සිටියේ නැත. එය බරපතළ ගැටලුවකි.
ගින්න හට ගන්නා අවස්ථාවේ එම නෞකාව තුළ නයිට්රේට් අම්ලය ටොන් 25ක් පැවැති අතර, ඊට අමතරව පොලිතීන් නිපදවන ප්ලාස්ටික් අඩංගු බහාලුම් පෙට්ටි 87ක්, යුරියා බහාලුම් 88ක්, කෝස්ටික් සෝඩා බහාලුම් 42ක්, ලිහිසි තෙල් බහාලුම් 30ක්, ඊයම් බහාලුම් 8ක් පැවැතියේ ය. ඊට අමතරව නෞකාවේ ඉන්ධන ටොන් 280ක් ද පැවැති බව අනාවරණය විය.
රසායනික ද්‍රව්‍ය ප්‍රවාහණය කරන නැවක ගින්නක් හට ගත් විට එය නිවා දැමීමට නව තාක්ෂණික උපකරණ පැවැතිය යුතු ය. ඒවා නැතිනම්, ඒ ගැන නෞකාවේ කපිතාන්වරයා දැනුම්වත් කළ යුතු ය. නමුත්, නයිට්රේට් අම්ලය අඩංගු බහාලුමක කාන්දුවක් පවතින බව කපිතාන්වරයා වරාය අධිකාරියත්, හාබර් මාස්ටර්වරයාත් දැනුම්වත් කර තිබිය දී, ඔවුන් නැවට කොළඹ වරායට ඇතුළු වීමට ඉඩ සලසා දුන්නේ කාගේ අවශ්‍යතාවකටද යන්න ගැටලුසහගත ය.
නෞකාවක යම් ගින්නක් හට ගත් අවස්ථාවක දී 2008 සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනත යටතේ එය අත්අඩංගුවට ගැනීමේ බලය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට හිමි වේ. එලෙස අත්අඩංගුවට ගන්නේ නෞකාවේ ගින්න නිවා අවසන් වූ පසු නෞකාව වන්දි නොගෙවා යාම අවහිර කිරීමට මෙන්ම සාධාරණ වන්දියක් ලබා ගැනීමට පහසුකම් සලසා ගැනීම උදෙසා ය.

අත්අඩංගුවට නොගැනීම

නමුත්, මැයි මස 18දා ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි මෙම නෞකාව මැයි 19දා කොළඹ වරායට ඇතුළු කර ගත්ත ද, එවැනි පියවරකට සමුද්‍රීය පරිසර අධිකාරිය ගියේ නැත. නෞකාව දින 11ක් ගිනි ගනිමින් පැවැතිය ද, නීතිමය පියවර ගැනීමක් සිදු වූයේ නැත. ඉන් පෙර ගිනි ගැනීමකට ලක්ව ගින්න පාලනය කළ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ද එවැනි පියවරක් ගෙන තිබුණේ නැත. එම නිසා ඔවුනට වන්දියෙන් කොටසක් ගෙවා පිටව යාමට අවස්ථාව හිමි විය. ඉතිරි කොටස ගැනීම සම්බන්ධයෙන් ද ගැටලුවක් මතු වන්නේ නෛතික පියවරකට ගමන් නොකිරීම නිසා ය.

සමුද්‍රීය පරිසර අධිකාරිය නෛතික ක්‍රියාමාර්ගයකට ගියා නම්, නැව් සමාගම අධිකරණය ඉදිරියට ආ යුතු ය. එසේම නැව ගින්නෙන් බේරා ගන්නා තාක් ඇපයක් ලෙස වන්දියක් පවා තබා ගැනීමේ හැකියාවක් ද පවතියි. නැව කොළඹ වරායෙන් පිටත්ව ගිය පසුව නෞකා සමාගම යම් හෙයකින් වන්දිය ගෙවීම පැහැර හැරියහොත්, එම ඇප මුදල රාජසන්තක කිරීමේ බලයක් ද රජය සතු ය.

සමුද්‍රීය පරිසර අධිකාරිය නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් එවැනි පියවරක් ගන්නවා වෙනුවට සමුද්‍රීය පරිසර අධිකාරිය අදාළ නැව් සමාගම සමඟ ඇති කර ගත් එකඟතාවක් මත නැව මුදාහැරීම නිසා ලංකාවට විශාල අවදානමකට මුහුණ දීමට සිදුව ඇත. මන්ද, නැව් සමාගම එකඟතාව කඩකළහොත්, අපට කළ හැකි දෙයක් නොමැති නිසා ය.
නෞකාවක් දියඹට පිටත් වීමට කලින් පරීක්ෂා කළ යුතු කාරණා කිහිපයක් ඇත. එය කපිතාන් සතු වගකීමකි. එනම්, නෞකාවේ සිටින කාර්ය මණ්ඩලය සුදුසුකම් සහිත පිරිසක් ද යන්න ‘පළමුවැන්න ය. දෙවැන්න නෞකාව ප්‍රවාහණය කරන භාණ්ඩ ප්‍රවාහණය කළ හැකි තත්ත්වයේ පවතිනවා ද යන්න ය. එය සෑම වරායක දීම නැව පිටත් වීමට පෙර අනුගමනය කළ යුතු කාර්යයකි.

හමාද් හා අදීරා වරායන්ගේ ප්‍රතිචාරය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බව මුලින් තහවුරු වන්නේ, කටාර් රාජ්‍යයේ හමාද් වරායේ දී ය. එහි දී ඔවුන් එම කාන්දුව මැඬපැවැත්වීමට අවශ්‍ය ‘තාක්ෂණ පහසුකම් පැවැතිය ද, ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බව සඳහන් කර තිබේ. මන්ද, ඒ වන විට රාමසාන් කාලය බැවින්, එය කළ නොහැකි බව ඔවුහු නෞකාවට දන්වා ඇත. කපිතාන්වරයා එම රසායනික කාන්දුව තබා ගනිමින් ඉන්දියාවේ අදීරා වරායට පැමිණෙන්නේ ය.
අදීරා වරාය අදානි සමාගම සතු වරායක් වන අතර, ඔවුනට මෙම රසායනික කාන්දුව නැවැත් වීමට අදාළ තාක්ෂණික පහසුකම් නොමැති බව දැනුම් දීම නිසා නෞකාව කාන්දුව ද සමඟ කොළඹ වරායට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, නෞකාවක ගින්නක් හට ගත් අවස්ථාවක හෝ යම් දෝෂයක් හට ගත් අවස්ථාවක හෝ නෞකාවන් ඉන් මුදාගැනීමේ සමාගම් පවතින අතර, ඒවායේ ගලවා ගැනීමේ නෞකා සෑම සාගර කලාපයකම ස්ථානගත කොට තිබේ. නෞකාවක ගින්නක් හෝ දෝෂයක් ඇති වූ අවස්ථාවක කපිතාන්වරයා පළමුව නෞකාව හිමි සමාගම දැනුම්වත් කොට අදාළ පියවර අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය වේ.

මුදාගැනීමේ ක්‍රමවේද

නෞකා මුදාගැනීම වෙනුවෙන් සකස් කොට ඇති නෞකා දෝෂයට ලක්ව ඇති නෞකාව අසලට පැමිණ දෝෂය පිළිසකර කිරීමට හෝ ගින්න නිවා දැමීමට හෝ උත්සාහ කරන අතර, එසේ කළ නොහැකි බවට තහවුරු වූ අවස්ථාවක වහාම වෙනත් නෞකා ගෙන්වා දෝෂයට ලක් වූ නෞකාවේ තිබෙන භාණ්ඩ හා ඉන්ධන වෙනත් නෞකා මඟින් ඉවත් කරනු ලබයි. එය අධික මිලක් වැය වන කාර්යභාරයක් බැවින්, නෞකා සමාගම් උත්සාහ කරන්නේ, ළඟම ඇති වරායකින් උදවු ලබා ගැනීමටය.

කපිතාන්ගේ ප්‍රකාශය

ඒ අනුව වරායවල් දෙකකින් උදවු ඉල්ලා එය නොලද අවස්ථාවේ මෙම නෞකාව කොළඹ වරායෙන් උදවු ඉල්ලන්නේ, නෞකාවේ බහාලුම් කිහිපයක් කොළඹ වරායට ද ගොඩබෑමට තිබෙන බැවිනි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා කියනා ආකාරයට ඔවුහු මෙම රසායනික කාන්දුව ගැන කොළඹ වරාය අධිකාරිය දැනුම්වත් කර ඇත. මැයි 19 දා නෞකාවට කොළඹ වරාය සීමාවේ පිටත වරායේ නැංගුරම් ලෑමට කොළඹ වරාය අවසර දෙන්නේය.
එහි දී මුලින්ම නැවට යා යුත්තේ වෛද්‍ය කණ්ඩායම් ය. කොවිඩ් තත්ත්වය නොමැති අවස්ථාවක වුව ද, එය අනුගමනය කළ යුතු සිද්ධාන්තයකි. කොවිඩ් නිසා එය අත්‍යවශ්‍යමය. දෙවනුව රේගු නිලධාරීන් නැව පරීක්ෂා කළ යුතු ය. මන්ද කොළඹ වරායට ගොඩබාන බහාලුම් මොනවාදැයි පරීක්ෂා කිරීමට ය. එසේම නීති විරෝධී භාණ්ඩ තිබේ දැයි පරීක්ෂා කිරීමේ වගකීම ද රේගුව සතු වේ.

ඒ කිසිවක් කළ බවක් පෙනෙන්නට නැත. නැව ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාර ගත් පසු රසායනික කාන්දුව පාලනය කිරීමට කාබන්ඩයොක්සයිඩ් ලබා දිය යුතු ය. එසේම ලබා දුන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මඳි නම් තවත් දිය යුතු ය. එසේම නයිට්රේට් අම්ලය ප්‍රතික්‍රියා නොකරන රසායනික ද්‍රව්‍ය ලබා දීමටත්, කාන්දුව වසා දැමීමටත් කටයුතු කළ යුතු ය. මන්ද, නෞකාවේ වගකීම කොළඹ වරාය අධිකාරිය ඒ වන විට භාරගෙන ඇති නිසා ය.
වන්දි ලබා ගැනීම වෙනුවෙන් නැව ගිනි ගැනීමට හැර කොළඹ වරාය අධිකාරිය බලා සිටියා යැයි කපිතාන්වරයා චෝදනා කරන්නේ, අවශ්‍ය පහසුකම් ඔවුනට නොලැබුණ නිසාවෙනි. එසේම ඔවුන් ගලවා ගැනීමේ අංශ වෙත කතා නොකළේ ද වරාය අධිකාරිය විශ්වාස කළ නිසාවෙන් බව ඔවුනට කිව හැකිය.

අවසානයේ නැව දින 11ක් තිස්සේ ගිනිගෙන මුහුදුබත්ව ගියේ ය. ගිනි ගන්නා අවස්ථාවේ දී නෞකා ගලවා ගැනිමේ සමාගමක නෙදර්ලන්ත ජාතිකයන් පිරිසක් නැවට පැමිණ පරීක්ෂා කර තිබේ. එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ, එන්ජින් කාමරයට පවා වතුර පැමිණෙමින් තිබෙන බැවින්, දැන් නැව ගිලෙන තත්ත්වයට පැමිණ ඇති බවකි. සාමාන්‍යයෙන් නැවක එන්ජින් කාමරයට වතුර එන්නේ අවසන් අවස්ථාවේ දීය. මන්ද, එන්ජින් කාමරය තද ගණකමින් ඉහළ ලෝහ වර්ගවලින් සකසා ඇති බැවිනි.

ජනාධිපතිගේ නියෝගය

නැව ගිලෙන බව නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රකාශ කිරීමෙන් පසු එදින සවස ජනාධිපති මන්දිරයේ මේ පිළිබඳව පැවැති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, නැව ගැඹුරු මුහුදට ඇදගෙන යන ලෙස ය. නෞකාවක් ගිලෙන්න යනවා නම්, මුලින්ම එහි ඇති බහාලුම් හෝ අනෙකුත් භාණ්ඩ ඉවත් කළ යුතු ය. දෙවනුව නෞකාවේ ඉන්ධන ඉවත් කළ යුතු ය. මේ සියල්ලට පෙර නෞකාව වටා බෝයාවන් දැමිය යුත්තේ යම්හෙයකින්, එම භාණ්ඩ හා ඉන්ධන ඉවත් කරද්දී නැව ගිලී ගියොත්, අපද්‍රව්‍ය මුහුදට එක් වී මුළු මුහුදු තීරයම විනාශ වීම වැළැක්වීමට ය.
බෝයාවක් නැව වටා දැමූ පසු අපද්‍රව්‍ය රැඳෙන්නේ නැව වටා බෝයාව අසල පමණකි. එවිට එම කලාපයෙන් එපිට සාගරය ආරක්ෂිත වේ. නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමට පෙර එවැනි කිසිවක් සිදු කළේ නැත. නැව ඇදගෙන යන්න පළමු පියවර ආරම්භ කරද්දීම නැව දෙකඩ වී පසුපස කොටස ගිලෙන්න පටන් ගත් අතර, නෞකාවේ තිබූ බහාලුම් මුහුදට වැටෙන්නට පටන් ගත්තේ ය.

එසේම නෞකාවේ ගින්නත් සමඟ එය සිසිලනය කිරීමට නෞකාව වටේට ජලය ඉසින්නට වරාය අධිකාරියේ ටග් යාත්‍රා යොදා තිබිණි. නෞකාව සිසිලනය කිරිම වෙනුවෙන් ජලය ලබා ගන්නේ මහ මුහුදෙන්මය. නෞකාවේ ගින්න හටගෙන තිබුණේ, නයිට්රේට් අම්ලය ගබඩා කර තිබූ බහාලුම් අසල ය. එවැනි අවස්ථාවක සෝඩියම් අඩංගු ජලය ගින්න තිබෙන ස්ථානයට වැටීමට ඉඩ ලැබෙන්නේ සිසිලන ක්‍රියාවලිය හරහා ය. එය ද ගින්න ව්‍යාප්ත වීමට හේතුවක් විය හැකි බව විශේෂඥ මතය වී තිබේ.
සුළං තත්ත්වය ඉහළ යාම වැනි ස්වාභාවික තත්ත්වයන්ගේ වෙනස ද ගින්න පැතිරීමට හේතුවක් බව ආණ්ඩුව ප්‍රකාශ කළ ද, කාලගුණයේ වෙනස්කම් ඊට පැය 24කට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කර තිබිණි. එසේ නම්, වරාය අධිකාරිය එය සලකා බලා නැති බව ද පැහැදිලි ය.

පරිසර හානිය මුළු පෘථිවියටම

රසායනික ද්‍රව්‍ය මහා සාගරයට එකතු වීම හේතුවෙන් ජලජ ජීවීන්ට මෙන්ම ස්වාභාවික පරිසර පද්ධතියට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වන විට ඩොල්පින් මත්සයින් 20ක්, තල්මසුන් 4ක් හා කැස්බෑවුන් 170ක් නෞකාවේ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මරණයට පත්ව ඇති බව ප්‍රකාශ විණි. කැස්බෑවුන් යනු වසර 300ක් පමණ ජිවත් වන සත්ව විශේෂයකි. මිය ගිය කැස්බෑවුන් අවුරුදු 100ක් වත් සම්පූර්ණ කළ සත්වයෝ නොවෙති.
සාගරයට මුසු වූ මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සාගරයට වන බැලපෑම ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාරිසරික නියෝජිත පිරිසක් මෙරටට පැමිණියහ. පරීක්ෂාවෙන් පසුව ඔවුන් කියා සිටියේ, මෙය මුළු පෘථිවියටම බලපෑමක් කර ඇති බව ය. පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය පිට වීමෙන් පෘථිවියට සැලැකිය යුතු හානියක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි ප්‍රකාශ කළාය. මෙය වෙරළබඩ ප්‍රදේශවල ජීවිතවලට හා ජිවිකා වෘත්තීන්වලට බරපතළ තර්ජනයක් යැයි ද ඇය කීවා ය.
මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට යොමු කෙරුණේ, යුරෝපා සංගමයේ මැදිහත් වීම මතය. මන්ද, යුරෝපා සංගමයේ රටවලට ජී.එස්.පී. සහනය යටතේ වැඩි මත්සයන් ප්‍රමාණයක් මෙරටින් යවන බැවිනි. නැවෙන් පිටට පැමිණි රසායනික ද්‍රව්‍ය මත්සයන්ගේ ශරීරවල පැවතීම ගැටලුවකි. මේ නිසා මත්ස්‍ය පරිභෝජනය පහළ ගොස් තිබේ.

ඇමතිවරු විහිළු සැපයීම

කොරල්පරවලට මෙන්ම ජලජ ශාකවලට ද මෙයින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙරට මුහුදු තීරයේ පවතින කෙරල්පර විනාශ වීම අනාගතයේ සුනාමියක් වැනි ව්‍යසනයක දී ලංකාව දැඩි අවදානමකට යොමු කරවා ඇත. නෞකාවේ බහාලුම්වල තිබී පිළිස්සුණු ෆයිබර් ග්ලාස් සහ ටොන් ගණනක ප්ලාස්ටික් කැබලි ඇතුළු සුන්බුන් රැසක් වෙරළට ගොඩගැසීම නිසා මීගමු වෙරළ තීරයත්, ඉන් ඉහළ හා පහළ කොටසත් දූෂණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ දරුණුතම සාගර පාරිසරික ව්‍යසනය වැළැක්වීමට ආණ්ඩුව අපොහෙසත් වූ බව පරිසරවේදීහු චෝදනා කරති. දකුණු ආසියාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මෙරට වෙරළ තීරය විනාශ වී යාම රටේ සංචාරක ආදායම ද පහළ හෙළන්නකි. වෙරළට ගොඩ ගැසූ සියලු ජලජ ජීවීන් මිය ගොස් ඇත්තේ, නෞකාවේ රසායනික ද්‍රව්‍යවලට පිළිස්සීමෙන් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.
නමුත්, නාලක ගොඩහේවා රාජ්‍ය ඇමතිවරයා කීවේ, වාරකන් කාලයට මෙලෙස මිය ගිය ජලජ ජීවීන් වෙරළට ගොඩගසන බවකි. නමුත්, පරිසර ඇමති මහින්ද අමරවීර කීවේ වාරකන් කාලයට මෙලෙස මිය ගිය ජලජ ජීවීන් වෙරළට ගොඩගසනු තමන් දැක නොමැති බව ය.

ආණ්ඩුව තමන්ගේ වරද වසා ගැනීමට නොයෙක් දේ ප්‍රකාශ කරන්නට යාමෙන් සිදු වන්නේ ඔවුන්ගේ නිර්වස්ත්‍රභාවය රටට හෙළි වීමය. සාගරයට තෙල් මිශ්‍ර වී නැති බව ආණ්ඩුව මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම ප්‍රකාශ කළ ද, තවමත් තෙල් ඉවත් කර නොමැති නිසා සමුද්‍රීය දූෂණය මෙතැනින් නතර වෙතැයි කිව නොහැකි ය.
ලංකාවේ තරම දන්නා බැවින් දෝ මෙරට මුහුදු තීරයේ ගිනි ගන්නා ලද තුන්වන නෞකාව වූ මර්සි නෞකාව නම්, කෙසේ හෝ ඔවුන් විසින් ම ගින්න නිවාගෙන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. නමුත්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය තවමත් නිසි ලෙස තක්සේරු කළ නොහැකි ය. ලංකාවේ මුළු සාගර කලාපයම විනාශ වීමේ අවදානම තවමත් පවතියි. ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් මනරම් වෙරළ තීරය මෙන්ම ධීවර කර්මාන්තය ද විනාශ වීමේ තර්ජනයට මුහුණ දී තිබේ.

– ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

sixteen − 15 =