නූතනයේ සිඟමන වෘත්තියක් ද?

“යාචක නම කවරදාකවත් නිග්‍රහයක්, අවමානයක් හැටියට යොදා ගැනීම එකල සිදු වී නැත. බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පවා ගෙන් ගෙට පිඬුසිඟා වඩිමින්, සිවුපසය ලබා ගත්තේ ද එක්තරා අන්දමක යාචක වෘත්තියක් අනුගමනය කරමිනි. ආගමික අර්ථයක් ඇතිව කවුරුන් හෝ සිඟමනේ යෙදුණහොත්, ඒ අයට සැලැකීම අපේ උසස් ගුණාංගයක් විය. ඒ අයට සැලැකුවේ ආධ්‍යාත්මික ගුණවගාවන් තිබෙන අය හැටියටයි.”

මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් ‘ශ්‍රී ලංකාවේ යාචකයා‘ නම් කෘතිය තුළ මෙවැනි වූ අදහස් දක්වා තිබේ. අප කවුරුත් දන්නා පරිදි අතීතයේ සිට ම යාචකයා වූ කලී දුගියෙකි. මඟතොටේ දී මඟීන්ගෙන් යැපෙනා මඟියෙකි. ජීවත් වීමට අවැසි මාර්ගයක් නොමැති නිසා ඉල්ලාගෙන කෑම ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය විය. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් දක්වන ආකාරයට අතීතයේ දී මොවුන්ට සමාජය තුළ ගෞරවයක්, කිසියම් අනුකම්පාවක් ගොඩනැඟී තිබූ බව පැහැදිලි ය. එකල ජනයා ඔවුන් අදහන ආගමට අනුව සිතුවේ යාචකයන්ට යමක් ලබා දීමෙන් පින් රැස් වන බවයි.

යාචක වෙළෙන්දන් ආශ්‍රයෙන් මෙම කර්මාන්තය වෙත නවකයෝ ප්‍රවිෂ්ට වෙති. මා දැක ඇැති පරිදි බොහෝ නාගරික ප්‍රදේශ තුළ මෙම යාචකයන් වෙනත් කොට්ඨාසයක් මඟින් පාර දෙපස දමා යනු ලැබේ. පසුව නැවත රාත්‍රියේ දී මොවුන් රැගෙන යාමට ද පිරිස් වාහනවලින් පැමිණෙති.

නමුත්, අද වන විට යාචකයකු නැතහොත්, සිඟමන් යදින අයකු දුටු සැණින් මිනිසුන් තුළ මතු වන්නේ කනස්සල්ලකි. එමෙන් ම ඔවුන් දුටු සැණින් කිසියම් පිළිකුල්සහගත හැඟීමක් ඇති වන බව කා හටත් නොරහසකි. සැකය වැනි හේතූන් මත අද වන විට බොහෝ පිරිස් යාචකයන් මඟහැර සිටීමට උත්සහ දරති. අප කවුරුත් කැමැති කිසියම් හෝ සරණක් නොමැතිව සිඟමන් යදින යාචකයන්ට උදවු කිරීමට ය. තමන් ලබා දෙන මුදල සත්‍ය වශයෙන් ලබා දෙන්නේ යාචකයකුට ම ද? අසරණකම නිසා ම ඔවුන් සිඟමනේ යෙදෙනවා ද යන්න ගැන මඟීහු දෙවරක් සිතා බලති. ඔවුන් මෙම මුදල්වලින් මත්කුඩු, මත්පැන් භාවිත කරනවා ද යන්න පිළිබඳව හරියාකාරව නොදැන මඟීහු මංමුළා වී සිටිති.

මා දකින පරිදි වර්තමානය තුළ බොහෝ යාචක පිරිස් විසින් සිඟමනට මුල් කර ගනු ලබන්නේ තම ආගම, දහමයි. ආගම, දහම ගැන ගුණ වයමින්, අසරණයන්ට සරණ වීමේ ආනිශංස ගැන මවාපාමින්, ඔවුහු ජන හදවත් දිනාගැනීමට උත්සුක වෙති. මොවුහු හැම විට ම මඟී හදවත්වලට ආමන්ත්‍රණය කළ හැකි සංවේදී වචන භාවිත කරති. “වරදක් වූවා නම්, වරදකට සිය දහස් වාරයක් සමාවන්න” යනුවෙන් ඔවුහු බස්රථ තුළ බැගෑපත් වෙමින් මඟී හදවත්වලට තට්ටු කරති. ඒවා දැකීමෙන් අප තුළ ද ඇති වන්නේ ඔවුන් අවංකව කතා කරන නැති බැරි අහිංසකයන් ය යන හැඟීමයි.

අද වන විට මහ පාරේ පමණක් නොව සිද්ධස්ථාන, දුම්රිය ස්ථාන, සංචාරක ස්ථාන, විශ්වවිද්‍යාල, හමුදා කඳවුරු ආදිය ආශ්‍රිතව මෙකී සිඟමන් යදින්නෝ ගැවසෙති. එමෙන් ම මොවුහු විවිධාකාර ස්වරූප ගනිති. තනිව, පවුල්, යුවළවල් මෙන් ම කුඩා ළමයින් ද මිනිසුන් අතිශය අපහසුතාවට ලක් වන අයුරින් මෙම සිඟමන් යැදිම අද්‍යතනයේ දී ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබේ.

නමුත්, මා දකින පරිදි වර්තමානයේ මෙය තැරැවුකරුවන් සමඟ ගැටගැසුණු වෘත්තියක් වී හමාර ය. මෙහි දී තැරැවුකරුවන් මාර්ගයෙන්, යාචක වෙළෙන්දන් ආශ්‍රයෙන් මෙම කර්මාන්තය වෙත නවකයෝ ප්‍රවිෂ්ට වෙති. මා දැක ඇැති පරිදි බොහෝ නාගරික ප්‍රදේශ තුළ මෙම යාචකයන් වෙනත් කොට්ඨාසයක් මඟින් පාර දෙපස දමා යනු ලැබේ. පසුව නැවත රාත්‍රියේ දී මොවුන් රැගෙන යාමට ද පිරිස් වාහනවලින් පැමිණෙති. ඒ අනුව දෛනිකව ඔවුන් ලබන ආදායමෙන් වැඩි කොටසක් යන්නේ මෙම තැරැවුකරුවන් වෙතට ය.

වර්තමානය වන විට සිඟමන්වලින් ලබා ගත් මුදල් ඉතිරි කොට කෝටිපතියන් වූ යාචකයන් පිළිබඳව ද අපට දැනගන්නට ලැබේ. නැති-බැරිකමට, අසරණකමට, එදිනෙදා ආහාර වේල සොයා ගැනීමට, කුසගින්න, පිපාසය සංසිඳුවා ගැනීමට සිඟමනේ යෙදුණු යාචකයෝ වර්තමානය වන විට එය අතහැර දැමිය නොහැකි ආකාරයෙන් වෘත්තියක් ලෙසින් ජීවිතයට බද්ධ කරගෙන සිටින බවක් දක්නට ලැබේ.

රටක සංවර්ධන යෝජනා සකස් විය යුත්තේ, පාර අයිනේ නිඳියන යාචකයාට ද බලපාන ආකාරයෙනි. සමස්තයක් ලෙස මේ පිළිබඳව රටේ අවධානය යොමු විය යුතු ය. ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ඉහළින් ම පවතින මෙම අර්බුදය පිළිබඳව සමාජය විසින් ම විසැඳුම් සෙවිය යුතු අතර, එය කාගේත් අවධානයට ලක් විය යුතු ය.

පියුමි එදිරිසිංහ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

fifteen − ten =