“මගේ බතික් ඇමතිකම වගේම විහිළුවට ලක්වූ මේ ඇමතිධුර හැදුවේ ජනාධිපති නෙමෙයි බැසිල් ” – දයාසිරි

අපේ මේ වන විට තිබෙන ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ එකක් නොවන බවත්, එම ඇමතිධූර නිර්මාණය කිරීම වගේම ඒවාට ඇමතිවරුන් නම් කළේ බැසිල් රාජපක්‍ෂ මහතා බවත් තමාට ලැබුණු බතික් රාජ්‍ය අමාත්‍යධූරය හදුවේද බැසිල් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පත් කළ මොහොතේ සිටම ජනතාව අතර විහිළුවට ලක්වූ මැටි, කුරුඳු ගම්මිරිස් මෙන්ම තමාට ලැබුණු බතික් ආදී රාජ්‍ය අමාත්‍යධූර නිර්මාණය කළේ ද බැසිල් රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් බව ද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

තමා මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් වැඩක් නොගෙන පැත්තකට කර තබා ඇත්තේත් ඔවුන් බව කී රාජ්‍ය අමාත්‍යවරයා වර්තමානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ආණ්ඩුව පත්කළ කොටසක් නොවන තැනකට පත්කර ඇතැයි ද පැවසුවේය.

ආණ්ඩුවට සියලු පක්ෂ එක්කර නොගෙන තනි ගමනක් යාම අපහසු බව ද පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකට එක්වීමෙන් පසු මාධ්‍ය හමුවේ දයාසිරි ජයසේකර මේ බව පැවසීය.

බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිකමක් ගත්තා කියා පසුවදා උදේට සුරබිදෙන පහළ වන්නේ නැහැ යැයි ද, රටේ පවතින අර්බුදය සම්බන්ධයෙන් රටවැසියන් දැනුවත් කළ යුතු බව ද දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

රට තුළ විශාල ආර්ථික අර්බුදයක් ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා රටේ ඩොලර් හිඟයක් පවතින බවත්, 2025 වසර වෙද්දී ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 29ක් අවශ්‍ය බවත් පැවසීය.

මෙම ගැටලුව බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු පැමිණි විට විසඳෙයි කියමින් නොසිට ජනතාවට ඇත්ත තත්වය කියා ආර්ථිකය ගොඩගන්න දායක වන්නේ කෙසේද යන්න ඔවුන්ට පැහැදිලි කළ යුතු බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

Leave A Reply

Your email address will not be published.

1 × 5 =