ඇමෙරිකාවට සහ ඉන්දියාවට පාඩමක් කියා දෙමින් කලඑළි බසින RCEP

චීනය ඉතා වේගයෙන් සිය ‘එක් තීරයක් එක් මාවතක්‘ උපායමාර්ගික ආර්ථික සැලැස්ම ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු රටවල් 65ක් කේන්ද්‍ර  කොටගෙන මේ වන විට ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඊට එරෙහිව සිය ආර්ථික බලය පවත්වා ගැනීම සඳහා ඇමෙරිකාව නිදහස් ඉන්දු-පැසිපික් උපායමාර්ගික සැලැස්ම ක්‍රියාවේ යෙදවීම වේගවත් කර තිබෙනවා. දකුණු ආසියාව මුල් කර ගෙන ඉන්දියාව ඇමෙරිකාව සමඟ එක්ව චීනයට එරෙහිව බලමුළු තර කර ගන්නා අතරතුර ඉන්දියාව ඒ දෙස යුදමය කෝණයෙන් බලා සිය යුද ශක්තිය වර්ධනය කර ගන්නා දිශාවට ගමන් කරමින් සිටිනවා. පසුගිය සතියේ ඔවුන් සිය නවතම න්‍යෂ්ටික අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදාබැලූ අතර, ප්‍රහාරක බලය හිමි ඩ්‍රෝන මෙහෙයුම් සඳහා අවශ්‍ය අවි රැස්කරමින් සිටිනවා. මේ සියල්ල පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර, ඊශ්‍රායෙල් සහ ප්‍රංශ බුද්ධි අංශ ද මෙම මෙහෙයුම් සඳහා මේ වන විට බද්ධ වී සිටිනවා. මේ බටහිර බලවතුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ, ආසියාව නැවත අත්පත් කර ගැනීමයි.

මොකක් ද මේ RCEP ?

තත්ත්වය එසේ තිබිය දී, ලෝක මානව ඉතිහාසයේ දැවැන්තම වෙළෙඳපොළ හා ආර්ථික ඒකාග්‍රකරණය සනිටුහන් කරමින්, ආසියා – පැසිපික් කලාපය මුල් කරගෙන නව නිදහස් වෙළෙඳ කලාපයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ අන් කිසිවක් නොව ආසියා – පැසිපික් කලාපයේ රටවල් 15ක සහසම්බන්ධයෙන් ගොඩනැඟෙන Regional Comprehensive Economic Partnership (RCEP) නැතිනම් ‘ආර් සෙප්‘ ලෙස හැඳින්වෙන නිදහස් වෙළෙඳ කලාපයයි. ගෝලීයකරණයේ දැවැන්තම ව්‍යාප්ති අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකියි. ලෝක ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වූ මෙම විශාලතම නිදහස් වෙළෙඳ කලාපය පිහිටු වීමට අදාළ කටයුතු ආරම්භ වූයේ 2011 වසර තරම් ඈත කාලයේ දී. ඒ සඳහා මූලික වූයේ මහජන චීන සමූහාණ්ඩුව සහ ජපානයයි. බොහෝ දෙනෙකු නොදන්නා යථාර්ථය එයයි. ඇමෙරිකාව සහ ඉන්දියාව මේ වන විට කලබල වී ඇත්තේ ද මේ නිසයි. මෙම යෝජනාව ඉන්දුනීසියාවේ බාලි හි දී 2011 වසරේ දී සම්මත වූ අතර, එයින් පසුව පුරා වසර 08ක් ඊට අදාළ සාකච්ඡා පැවැත්වුණා. පැවැති ප්‍රධාන සාකච්ඡා වට ප්‍රමාණය 28ක් වන අතර, සාමාන්‍ය රාජ්‍ය මට්ටමේ සාකච්ඡා සිය ගණනක් පැවැත්වුණා. එහි සාර්ථක අවසානයක් කරා ළඟා වුණේ 2020 වසරේ නොවැම්බර් මාසයේ දී. ඒ මෙම රටවල් 15 විසින් අදාළ ගිවිසුමට අත්සන් කිරීමත් සමඟයි. මේ සියල්ල සිදු වූයේ අතිශය වේදනාකාරී අත්දැකීමක් ලබා දෙන කොවිඩ් වසංගතය තුළ වීම තවත් විශේෂත්වයක්. මෙතැන් සිට වසර 20ක් යන විට මෙම නිදහස් ගිවිසුම මඟින් මෙම කලාපය තුළ පවතින සියලුම ආකාරයේ වෙළඳ බදු මුළුමනින්ම හෝ හැකි උපරිමයෙන් ඉවත් කර ඒකීය ආර්ථික කලාපයක් බවට පත් කිරීමට මේ වන විට මෙම රටවල් පොදු එකඟතාවෙන් කටයුතු කරමින් සිටිනවා.

RCEP හි හැඩරුව කෙබඳු ද?

මෙහි සාමාජික රටවල් සංඛ්‍යාව 15ක්. මෙම රටවල් 15 සිටින සමස්ත ජනගහනය මිලියන 2,274.2ක්. මේ රටවල් සියල්ලේ ආර්ථික බලය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26.1ක්. ලෝකයේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් 30%ක් මෙම කලාපය සතු වනවා. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ද මෙහි මුල් පෙළේ සාමාජිකයකු වන අතර, ලෝකයේ තුන්වන ආර්ථිකයට හිමිකම් කියන ජපානය ද එහි සාමාජිකයෙක්.

ඉන්දියාව ඉවත් වීමේ ඇත්ත හේතුව වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඉන්දියාවේ ආර්ථිකය තුළ ඇති පරායත්තතාවය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ළැදියාවයි. මේ නිසා ඉන්දියාව ඇමෙරිකාවේ පැත්ත ගෙන මෙම ගිවිසුමෙන් ඉවත් වූ බව පොදු පිළිගැනීමයි. මේ අතර ඕස්ට්‍රේලියාව සහ චීනය අතර වන වෙළෙඳ විරසකය පිටුපස ද ඇමෙරිකානු බුද්ධි අංශ සිටින බව පොදු පිළිගැනීමයි. ඔවුන්ගේ ඉලක්කය ඕස්ට්‍රේලියාව ද මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් කිරීමයි.

මේ වන විට මෙම රටවල් 15න් බහුතරයක් විසින් සිය රටවල ව්‍යවස්ථාදායකය සහ අනෙකුත් නෛතික ආකෘතීන් තුළ නිල වශයෙන් මෙම ගිවිසුමට අදාළ නෛතික කටයුතු සම්මත කර අවසන්. තායිලන්තය මේ වසරේ පෙබරවාරි මාසයේ දී ද, චීනය සහ සිංගප්පූරුව අප්‍රේල් මාසයේ දී ද නීතිගත කර තිබෙනවා. මෙම ගිවිසුම සිය රටේ නීති පද්ධතියට බද්ධ කළ අවසාන රට ලෙස ජපානය පසුගිය ජුනි 25දා සිය රට තුළ නෛතික වශයෙන් මෙම නිදහස් වෙළඳ ගිවිසුමට සම්බන්ධ කරනු ලැබුවා. සෙසු රටවල් මේ වන විටත් එය සිය රටේ නීති පද්ධතියට බද්ධ කර අවසන්. ඒ අනුව 2022 වසරේ මුල් කාර්තුවේ සිට ලෝකයේ දැවැන්තම හා විශාලතම නිදහස් වෙළෙඳ කලාපය ක්‍රියාත්මක වනු ඇති.

මෙහි ඇති විශේෂත්වයක් තිබෙනවා. එනම් චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වැනි ඩොලර් ට්‍රිලියනයකට වඩා සිය දළ ජාතික නිෂ්පාදනය වැඩි රටවල් පොදු ඒකීය වෙළෙඳපොළක් වෙත සම්බන්ධ වී තිබීමයි. අනෙක් පසින් ලාඕසය, බෲනෙයි, කාම්බෝජය, මියන්මාරය වැනි රටවල් ද මෙහි සමාන සාමාජිකයන් බවට පත්ව සිටිනවා. එමෙන්ම සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය, පිලිපීනය වැනි ආසියාවේ බලවත් රටවල් ද මෙම ගිවිසුමට සම්බන්ධයි. ඉදිරි වසර 20ක කාලය තුළ මෙම කලාපය තුළ සිදු වන භාණ්ඩ හා සේවා ආනයන හා අපනයන සියලුම ආකාරයේ බදුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන අතර, වෙළෙඳාම සම්පූර්ණයෙන්ම නිදහස් වෙළෙඳාම මත පදනම් වනු ඇති.

එමෙන්ම යුරෝපා සංගමය පන්නයේ ආගමන විගමන ප්‍රතිපත්තියේ, රැකියා ප්‍රතිපත්තියේ, ආයෝජන ප්‍රතිපත්තියේ දැවැන්ත වෙනස්කම් ද සමඟ මෙම කලාපයේ සියලුම දේශසීමා සාමාජික රටවලට විවෘත වනු ඇති. එමෙන්ම දැනට ලෝකයේ දෙවන විශාලතම නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව සහ කැනඩාව අතරයි. නමුත් එහි සමස්ත ජනගහනය මිලියන 496ක්. එම කලාපයේ ආර්ථික වටිනාකම ඩොලර් ට්‍රිලියන 23.7ක්. තෙවන විශාලතම වෙළෙඳ කලාපය වන්නේ යුරෝපා සංගමය වන අතර, එහි ජනගහනය මිලියන 445ක්. එහි ආර්ථික වටිනාකම ඩොලර් ට්‍රිලියන 15.2ක්. නමුත්, මෙම කලාපය ලෝකයේ සමස්තයෙන් තුනෙන් එකක් වන අතර මෙතෙක් ලෝකයේ නිර්මාණය වූ විශාලතම ඒකාබද්ධ වාණිජ හා වෙළෙඳ කලාපයයි.

ඉන්දියාව ඉවත් වුණේ ඇයි ?

2011 වසරේ මුල් වටයේ සාකච්ඡාවලට ඉන්දියාව ඉතා කැමැත්තෙන් සම්බන්ධ වුණා. නමුත්, අතරමැද දී ඉන්දියාව ඉන් ඉවත් වීමට විවිධ ආකාරයේ හේතු සොයමින් සිටි බව විචාරක මතයයි. ඒ අනුව 2019 වසරේ දී ඉන්දියාව මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වුණා. ඔවුන් ඒ සඳහා පැවසුවේ, තමන්ගේ කෘෂි ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මෙම වෙළඳ ගිවිසුම යටතේ විවෘත වුවහොත්, එය තමන්ට අවාසියක් බව පවසමින්. කෙසේ වෙතත්, ඉන්දියාවට වඩා ආර්ථික ශක්තිය අටගුණයක් ඉහළ චීනය ද මෙම ගිවිසුමට සම්බන්ධ වී සිටිනවා.

ඉන්දියාව ඉවත් වීමේ ඇත්ත හේතුව වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ඉන්දියාවේ ආර්ථිකය තුළ ඇති පරායත්තතාවය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ළැදියාවයි. මේ නිසා ඉන්දියාව ඇමෙරිකාවේ පැත්ත ගෙන මෙම ගිවිසුමෙන් ඉවත් වූ බව පොදු පිළිගැනීමයි. මේ අතර ඕස්ට්‍රේලියාව සහ චීනය අතර වන වෙළෙඳ විරසකය පිටුපස ද ඇමෙරිකානු බුද්ධි අංශ සිටින බව පොදු පිළිගැනීමයි. ඔවුන්ගේ ඉලක්කය ඕස්ට්‍රේලියාව ද මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් කිරීමයි. ඇමෙරිකාව ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ සිංගප්පූරුව ද මෙම ගිවිසුමෙන් ඉවත් කිරීම සදහා විවිධ උත්සාහයන් දැරුවා. නමුත්, ඒ සියල්ල මේ වන විට බිඳවැටී ඇති අතර, ඉන්දියාව සහ ඇමෙරිකාව ඉදිරිපිට ලෝකයේ දැවැන්තම නිදහස් වෙළෙඳ කලාපය නිර්මාණය වී තිබෙනවා.

නව නිදහස් වෙළෙඳ කලාපය තුළ පොදු එකඟතා මොනවා ද?

2022 මුල් අදියරේ සිටම අංශ කිහිපයක පවතින සියලුම ආකාරයේ වෙළඳ හා වාණිජ බාධක ඉවත් කර පොදු ඒකමිතියක් නිර්මාණය කරනු ඇති. ඊට අදාළ නව නීතිරිති පනවනු ඇති.  මූලික ලෙස අවධානයට ගන්නා ක්ෂේත්‍ර  අතර විදේශ ආයෝජන, විදුලි සන්දේශ සහ සන්නිවේදන, ඊ කොමර්ස් සහ  බුද්ධිමය දේපළ වැනි ක්ෂේත්‍රවලට අදාළ නීතිරීති කලාපය තුළ පොදු නීතිරීති බවට පත් කරනු ඇති. එවිට මෙම ක්ෂේත්‍රවල කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යා හැකි ය. අදාළ විෂයයන් සඳහා ඒකීය නීතියක් සමස්ත කලාපයට ම හඳුන්වා දෙන අතර, එක් ආර්ථික කලාපයක්, එක් නීතියක්  ලෙස ක්‍රියාත්මක වනු ඇති. සමස්ත කලාපයම ඒකීය වෙළෙඳපොළක් බවට පත් කිරීමට යන දිශාවට මෙම වෙනස්කම් ක්‍රමිකව සම්බන්ධ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, කම්කරු නීතිරීති, පරිසර ආරක්ෂණය සහ රජයේ නිෂ්පාදන ආධාර (Subsidiary) සම්බන්ධයෙන් ඒකමතිකයන් දැනට ඇති නොවනු ඇති. 2050 වසර වන විට මෙම ඒකීය ආර්ථික කලාපය තුළ ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 100ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. එය දැනට පවතින ගෝලීය ආර්ථිකයේ වටිනාකම වන ඩොලර් ට්‍රිලියන 84 ඉක්මවා යාමක් වීම විශේෂත්වයක්. 2021න් පසුව වසරක දී ඩොලර් බිලියන 209ක් සහ 2030 වන විට ඩොලර් බිලියන 500ක් බැගින් වාර්ෂිකව අලුතින් ලෝක ආර්ථිකයට මෙම කලාපය විසින් එක් කරනු ඇති. තාක්ෂණය, නිෂ්පාදන ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය, ස්වාභාවික සම්පත් සහ බලශක්ති ක්ෂේත්‍රය යන ආර්ථිකයේ බහුවිධ ක්ෂේත්‍ර ද ක්‍රමයෙන් ඒකාබද්ධ නීතියක් යටතට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ආසියාවේ භූ දේශපාලනය

ආසියාවේ භු දේශපාලනය සහ ගෝලීය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය වැවක් හෑරීමට, වරායක් අත්පත් කර ගැනීමට හෝ රටක උපායමාර්ගික මර්මස්ථානයක් අත්පත් කර ගැනීමට එහා ගිය එකක් බව අප තේරුම් ගත යුතුයි. මේ නව නිදහස් වෙළඳ කලාපය පිටුපස සිටින න්‍යායාචාර්යවරයා වන්නේ චීනයයි. ඇමෙරිකාව මේ තත්ත්වය නොදන්නවා නොවෙයි. ප්‍රාග්ධනයට ජාතික සීමා හෝ අවශේෂ කිසිදු භෞතික සීමාවක් අදාළ නැති බව මෙම කරුණු විසින් මෙන්ම ඉතිහාසය තුළ සිදුව ඇති ආර්ථික කලාපීයකරණයන් විසින් ද නැවත නැවතත් ඔප්පු කර තිබෙනවා. දැන් එය ලෝකයෙන් තුනෙන් එකක් දක්වා ව්‍යාප්ත වූ දැවැන්ත නිෂ්පාදන සමාජකරණයක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.

තවත් දශක කිහිපයකින් එය සමස්ත ලෝකයම වෙළා ගත් ඒකීය නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් බවට පරිවර්තනය වනු ඇති. ඒ ප්‍රාග්ධනයේ ස්වභාවයයි. මෙතෙක් මේ රටවල කම්කරුවන් සිදු කළේ තමන්ගේ ශ්‍රමයෙන් තමන් නඩත්තු වන ගමන් සිය රටේ වැඩ නොකරනවුන් ද නඩත්තු කිරීමයි. මෙම නිදහස් ගිවිසුම් මඟින් සිදු වන්නේ අන් යමක් නොව කම්කරුවන් තමන්ගේ ශ්‍රමයෙන් තමන්ම නඩත්තු වන ගමන් ලෝකයේ තවත් රටවල් 15ක වැඩ නොකරන්නවුන් ද නඩත්තු කිරීමට සිදු වීමයි. මේ අතර නාමිකව ඉතිරි වන රාජ්‍යය යනු බලහත්කාරය පෑමේ සංවිධානයක් පමණක් බව තව දුරටත් ඔප්පු කරනු ඇති. ප්‍රාග්ධනය  ජාත්‍යන්තර බලවේගයක් බව නැවත නැවතත් මෙම ක්‍රියාවලිය විසින් ඔප්පු කරනු ඇති. මෙතෙක් ග්‍රහණයට නතු වී නොමැති ඉසවු කරා ගමන් කිරීම ප්‍රාග්ධනයේ ස්වභාවයයි. එසේ ගමන් කරන ගමන් ප්‍රාග්ධනය උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව යොදා ගැනීම මෙවැනි සමාජ ක්‍රමයක අත්‍යන්ත ලක්ෂණයයි. කිසිදු අවහිරයකින් තොරව මෙතෙක් ලෝකයට පොදුවේ නිරාවරණය නොවු පැති කරා ද

ප්‍රාග්ධනය වේගයෙන් ගමන් කරයි.

මෙය යටත්විජිතවාදයේම  දිගුවක් මිස අන් යමක් නෙවෙයි. ඉදිරියේ දී සිදු විය හැකිව ඇත්තේ, මෙතෙක් ලෝකයේ අත්පත් කරගෙන නොතිබෙන ප්‍රදේශ ද අත්පත් කර ගත් පසුව හෝ ඒකීය ආර්ථික ක්‍රියාවලියකට බද්ධ කර ගත් පසුව එලෙස අත්පත් කර ගත් ප්‍රදේශ නැවත වෙන පිරිසක් විසින් අත් කර ගැනීම පමණි. මේ සිදු වන්නේ එයයි. මෙතෙක් අයිතිකරුවකුට හිමිව තිබූ ප්‍රදේශ වෙනත් බලවත් අයිතිකරුවකු අතට පත් වීමයි. ඉන්දියාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. කෙසේ වෙතත්, මේ ක්‍රියාවලිය තුළ නිෂ්පාදනය සමාජමය කිරීමේ දැවැන්ත ක්‍රියාදාමයක් සිදු වනවා. ඇතැම් විට එය නිෂ්පාදනයේ පුළුල් අංග සම්පූර්ණ සමාජකරණයක්  දක්වා ව්‍යාප්ත විය හැකියි. සමාජ වෙනසක් ප්‍රාර්ථනා කරන්නවුන් අඩුම ගණනේ මේ භූමියේ යථාර්ථය හෝ තේරුම් ගත යුතුය●

අනුහස් බණ්ඩාර

 

 

Leave A Reply

Your email address will not be published.

five × two =