“ඉතිහාසය ප්‍රබන්ධයට මුසුකරන ඉන්දියානු සාහිත්‍යකරුවා.”

ඉන්දියානු ලේඛක අමිතාව් ගෝෂ් ගැන මුලින්ම මගේ අවධානය යොමු කෙරුනේ අප මිත්‍ර චූලානන්ද සමරනායක සහෝදරයා විසින්. ඒ අප දෙදෙනා දිල්ලියේ ඉතා කෙටිකලක් ගත කල අවස්ථාවේ දී.
ඉතිහාසය ප්‍රබන්ධ ගතකිරීම ගැන කල කතාබහක දී යළිත් අමිතාව් ගෝෂ් ගැන ලියනගේ අමරකීර්ති සහ හිනිදුම සුනිල් සෙනවි තැබූ සටහන් කිහිපයක් ද ඉතා මෑතකදී කියවන්නට ලැබුණා.
ඔහු ගැන තවත් සෙවිය යුතුයැයි සිතූ මුත් අමිතාව් ගෝෂ් ගැන ලියැවුණු ලිපි කිහිපයක් කියවන්නට අවස්ථාව ලැබුණේ අද. ඒ අනුව පහත සටහන තබන්නේ සිංහල පාඨකයින් ට ප්‍රයෝජනවත් වේ යැයි සිතමින්.

අමිතාව් ගෝෂ් උපදින්නේ ඉන්දියාවේ කොල්කටා හි දී. ඒ 1956 වසරේ. ඔහුගේ පියා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නිසා ඔහුගේ කුඩා කාලය රටවල් කීපයක ගෙවී ගියා. ඒ බංග්ලාදේශය, ශ්‍රී ලංකාව හා ඉරානය යන රටවල. ඔහු සිය මූලික උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන්. පසුව පුවත්පත් සංස්කාරකවරයෙකු ලෙස ඔහු වෘත්තීය ජීවිතය අරඹනවා. අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුලත්ව සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනවා. සමාජ මානවවිද්‍යාව පිළිබඳ කතිකාචාර්යවරයෙකු ලෙස දිල්ලි විශ්වවිද්‍යාලයේ, කයිරෝවේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ, නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහ නිව්යෝර්ක් සිටි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ නියැලෙනවා. පසුව ඔහු පූර්ණ කාලීනව ලිවීමට යොමු වෙන අතර ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ ජීවත්වෙනවා.
ගෝෂ් ගේ පළමු නවකතාව වෙන්නේ The Circle of Reason (1986), එහි ප්‍රධාන චරිතය වන්නේ ත්‍රස්තවාදීයෙක් යැයි සැක කරන තරුණයෙක්. ඔහු ඉන්දියාව හැරදා උතුරු අප්‍රිකානු කලාපයට හා මැද පෙරදිගට පලායනවා. ඔහු මෙය රචනා කරන්නේ ප්‍රබන්ධ හා චෞරාඛ්‍යාන වල අංග සම්මිශ්‍රණය කරමින්. යුරෝපය විසින් ආන්තිකකරණය කළ යටත් විජිතවල පශ්චාත් යටත්විජිත ලක්ෂණ හා පශ්චාත් නූතනවාදය ඒ තුල දක්නට ලැබෙනවා. 1988 දී ඔහු රචනා කරන The Shadow Lines නවකතාව ගෙතෙන්නේ 1947 දී බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ඉවත් වූ පසු ඇතිවූ සිදුවීම් වලින් හැඩගැසුනු ඉන්දියානු හා ඉංග්‍රීසි පවුල් දෙකක් වටා. මෙම නවකතා දෙකම ගෝෂ් රචනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ඔහුට ජාත්‍යන්තර පාඨක පිරිසක් ආරම්භයේදී ම දිනා ගන්නට හැකි වෙනවා.
The Calcutta Cromosome (1995) නවකතාව ගෝෂ් ගේ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට එළඹුම ලෙස විචාරකයින් සඳහන් කරනවා. එය ලියවෙන්නේ උණ, උමතුභාවය හා සොයාගැනීම් පදනම් කරගෙන. මැලේරියාවට හේතු වන පරපෝෂිතයා සොයාගැනීම පිළිබඳ විකල්ප ඉතිහාසයක් එයින් ඉදිරිපත් කෙරෙනවා. බුරුමය කේන්ද්‍ර කරගත් පවුල් ඉතිහාසය පදනම් කරගෙන ඔහු රචනා කරන්නේ The Glass Palace (2000) නවකතාව. ඉංග්‍රීසින් බුරුමය යටත් කරගැනිමේ සිට නිදහස ලැබීම දක්වා මේ නවකතාව දිවෙනවා. 2004 දී රචනා කල The Hungry Tide නවකතාවෙන් නිරූපනය වන්නේ බෙංගාලි හා ඇමෙරිකානු චරිත. Sea of Poppies (2009) නවකතාව අග්නිදිග ආසියානු මුහුදේ නැවක අබිං රැගෙන යන පුද්ගලයන් ගේ ජීවිත විවරණය කරන්නක්.
අමිතාව් ගෝෂ් ගේ ලෝ ප්‍රකට තුන් ඈඳුතු නවකතාවන් වන්නේ Sea of Poppies (2009), River of Smoke (2011) සහ Flood of Fire (2012) යන කතා ත්‍රිත්වය.
සර්ප දේවතාවියක වන “මානස දේවි” පිළිබඳ මිත්‍යා කතාවක් පදනම් කරගෙන 2019 දී රචනා කරන Gun Island කෘතිය දුර්ලභ පොත් වෙළෙන්දෙකු ගේ සිය අතීතය ට හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන ආකාරයේ ගමනක් පදනම් කර ලියවුනක්.
කෙසේ වෙතත් අමිතාව් ගෝෂ් විශේෂ වන්නේ ඔහු ඉතිහාසය නූතනයට ප්‍රබන්ධ කතා ඔස්සේ සමීප කරවන විශිෂ්ට රචකයෙක් ලෙස. එහිදී ඔහු ඉතිහාස සාහිත්‍යය බරපතල ලෙස පරිශීලනය කරන බවත් ඒ සඳහා ලොකු වෙහෙසක් ගන්නා බවත් සඳහන් වෙනවා.
ඔහු දිනා ඇති සම්මානයන් අතර Prix Medicis etranger යන ඉතාලියේ ඉහළම සාහිත්‍ය සම්මානයත්, ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමි හා ආනන්ද පුරස්කර් සම්මානයත්, ආතර් සී. ක්ලාක් සම්මානයත් (විද්‍යා ප්‍රබන්ධ සඳහා) තිබෙනවා. Sea of Poppies කෘතිය Man Booker සම්මානය සඳහා කෙටි ලැයිස්තුව ගත වුණා. එය 2009 වසරේ Vodafone Crossword Book සම්මානය ත් Dan David සම්මානයත් සමව දිනාගත්තා. 2011 වසරේ දී River of Smoke කෘතිය Man Asia සාහිත්‍ය සම්මානය සඳහා කෙටි ලැයිස්තුවට ඇතුලත් වුණා.
ඉන්දියානු ආණ්ඩුව 2007 දී ඔහුට පද්ම ශ්‍රී සම්මානයෙන් සිය ගෞරවය පළකලා. 2018 වසරේ දී 54 වන Jnanpith සම්මානය ඔහුට හිමිවූ අතර එය දිනාගත් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරනයේ නියැලෙන පළමු ඉන්දියානුවාද ඔහු වෙනවා.
– කපිල එම්. ගමගේ

 

Leave A Reply

Your email address will not be published.

four + fourteen =