හමුදා රාජ්‍යයක් වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු !

හබරණ සිද්ධියට අදාළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා පොලිසියට බාර විය. හබරණ සිද්ධිය යනු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ යුද හමුදාවේ මේජර් ජෙනරාල් මොහාන් රත්නායක අතර ඇති වූ ප්‍රශ්නයයි. සිද්ධිය සිදු වූයේ පසුගිය 25දා රාත්‍රියේ ය. 26දා මීට අදාළව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීම වනජීවී දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදු කළේය. එහි සිදුවීම, අලි පැටවෙකු රැගෙන යෑමේ සැකය, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ සිට යුද හමුදා වාහන මතුවීම, වනජීවී මුර කපොලුවලින් නතර කරන ලෙස කළ සංඥා නොතකා ධාවනය යන කරුණු ඇතුළත් විය.

වනජීවී දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මුලින්ම හබරණ පොලිසියට පැමිණිලි කළ අතර, පසුව හමුදාවේ මේජර් ජෙනරාල්වරයා ද පැමිණි සිය කීර්තිනාමයට හානි කළ බව සඳහන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ පසුගිය 29දා ය. එහෙත් එහිදී අලි පැටව් කතාව මග හැරී ඇත. වනජීවී නිලධාරීන්ට තර්ජනය කොට, පහර දීම සම්බන්ධ කතාව පමණක් ඇතුළත් වී ඇත. එදින වන තුරු එම පහර දීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියාගෙන් ප්‍රකාශයක් ගැනීමක් හෝ සිදු නොවීය. අධිකරණයෙන් නියෝග කෙරුණේ පහරදීමට අදාළ හමුදා නිලධාරියා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි. අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ වහාම නිවසට ගොස් කුදලාගෙන ඒමේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමය හමුදා නිලධාරියාට අදාළ නොවීය. ඔහු සාමකාමීව පසුගිය 01දා පොලිසියට බාර විය. ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

හබරණ සිද්ධියේ මුල කොතැනද?

අලි පැටවුන් ඇල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තිබූ කුප්‍රකට පුද්ගලයෙකු මින්නේරිය වනෝද්‍යානය අසල ස්ථානයක රැඳී සිටින බවත්, ඔහු සමග කණ්ඩායමක් වනෝද්‍යානය තුළට නිතර යන-එන බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් වනෝද්‍යානයෙන් පිටවීමට ඇති ස්ථාන රැසක මුර කපොලු ඇති කර, පරීක්ෂා කිරීම් සිදු කර තිබේ.
මේ අවස්ථාවේදී වනෝද්‍යානය දෙස සිට පැමිණි වාහන දෙකක් මුර කපොලුවල නතර කිරීමේ සංඥා නොතකා වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම වාහන දෙක අනුරාධපුරයේ පිහිටි යුද හමුදාවේ 21 වැනි බලසේනා මූලස්ථානය වෙත ගොස් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යුද හමුදාවේ අංක සහිත මේ වාහන දෙක පසුපස හඹාගොස් ඇති අතර, ඔවුන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් නොලැබීම නිසා බලසේනා මූලස්ථානය වෙත ඇතුළු නොවී ආපසු පැමිණ ඇත.
ඉන්පසු යුද හමුදාවේ වාහන කිහිපයක් අදාළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පසුපස පැමිණ ඇති අතර, හබරණ ප්‍රදේශයේදී ඔවුන් අතර වාදයක් ඇති වී තිබේ. එහිදී යුද හමුදාවේ අදාළ නිලධාරියා විසින් වනජීවී නිලධාරියෙකුට පහරදීමක් සිදු කර, තර්ජනය කර ඇති බවත්, පොලිසිය පැමිණ අදාළ ගැටළුව සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇති බවත් අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් වන්නේ ඒ අනුව ය.

අලි පැටව් මගහැරෙන්නේ ඇයි?

කෙසේ වෙතත් මේ සිදුවීමේ අලි පැටව් කතාව මගහැර යෑමට බොහෝ පාර්ශ්ව උත්සාහ දරනු දැකිය හැකි විය. පහර දීම මාධ්‍ය මගින් මෙන්ම වෙනත් පාර්ශ්ව හරහා ද ඉහළට ම එසවිණි. ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වෙමින් තිබේ. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ආකාරයට ඊට හේතුව මේ සිදුවීම සමථයකට පත්කිරීමේ උත්සාහයකි. සමථයට අදාළ සාකච්ඡා සිදුවෙමින් පැවති බවට වාර්තා වන්නේ අමාත්‍යංශ මට්ටමෙන් ය. ඒ සැලසුමට අනුව අදාළ හමුදා නිලධාරියා ප්‍රධාන මාර්ගයෙන් වනෝද්‍යානය දෙසට ඇතුළු නොවූ බව තහවුරු කිරීමටත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කොට ඊට අදාළ පරීක්ෂණ විනය පියවරකින් පමණක් අවසන් කිරීමටත් සාකච්ඡා කෙරෙමින් තිබිණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පැවසුවේ තමන්ට සිදු කළ හැකි සියල්ල මේ සම්බන්ධයෙන් සිදු කර ඇති බවයි. තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නට දැනුම් දුන් බව ද සඳහන් කළ ඇමැතිවරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද මීට අදාළ ව නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බව ද පැවසීය. මීට අදාළ ව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා, ඊට බලපෑම් වන කරුණු කිසිවක් තමන්ට පැවසිය නොහැකි බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ගැටළු පැවතීම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෘත්තීය සමිති වැඩවර්ජනයකට සූදානම් වන බවත්, එවැනි චෝදනාවකට පිළිතුරු දීම ඇමැතිවරයාගේ වගකීමක් බවත් සඳහන් කරමින් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ එවැනි කිසිදු චෝදනාවක් පිළිබඳව අදාළ වෘත්තීය සමිති විසින් තමන්ට දැනුම් දී නැති බවයි. එම නිසා වෘත්තීය සමිතිවල අදාළ ක්‍රියාපිළිවෙත අසාධාරණ බව ද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉමේෂ් ගුණතිලක සඳහන් කළේ අදාළ වර්ජන සූදානම සහ සිදුවීමට අදාළ පරීක්ෂණ පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා දැනුවත් කර ඇති බවයි.
ලබන 02 වැනිදා සිට දින දෙකක් ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමටත්, ලබන 06 වැනිදා වර්ජනයක් දක්වා යෑමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති තීරණය කර ඇතැයි ද ඔහු පැවසීය. මේ වන විටත් අදාළ සිදුවීමට සම්බන්ධ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමක් හෝ කිසිදු නීතිමය පියවර ගැනීමක් සිදු වී නැතැයි ද සඳහන් කළ ගුණතිලක මහතා, මෙය බරපතළ තත්ත්වයක් බව ද අවධාරණය කළේය. මේ නිසා අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශන ප්‍රමාද කිරීම බරපතළ ගැටළුවක් බව ද අප වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

නිදොස් හමුදාව ?

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ මේජර් ජෙනරාල්වරයා කිසිදු අවස්ථාවක වනෝද්‍යාන සීමාවට හෝ ගොස් නැති බවයි. එය මූලික විමර්ශන මගින් තහවුරු වී ඇතැයි ද පෙන්වා දුන් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග යම් අවශ්‍යතාවක් සඳහා ගොස් නැවත කඳවුර වෙත පැමිණ ඇතැයි ද පැවසීය. මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරන බවත්, එහිදී මේ සිදුවීමට අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරන බවත් පැවසූ බ්‍රිගේඩියර්වරයා, මෙය සිදුවීම් දෙකක් බවත්, වනෝද්‍යානය තුළට හෝ ඒ සමීපයට ගිය බවට කරන මුල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අවධාරණය කළේය.

ඊරිගෙඔයේ සිදු වූයේ කුමක්ද?

කෙසේ වෙතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන්නේ අදාළ මේජර් ජෙනරාල්වරයා සමග පැමිණි යුද හමුදා වාහන දෙක හබරණ සහ මින්නේරිය අතර පිහිටි ඊරිගෙඔය නම් ප්‍රදේශයේ පිහිටි වෙල් යාය අසලින් ප්‍රධාන මාර්ගය දෙසට පැමිණ ඇති බවයි. ඔවුන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය වෙත ගොස් ඇති බව ද තහවුරු වී ඇතැයි පෙන්වා දෙන අදාළ ආරංචි මාර්ග, ඔවුන් එම ප්‍රදේශයේ සැලකිය යුතු කාලයක් ගතකර ඇතැයි ද පවසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුර කපොල්ලක් යොදා තිබී ඇත්තේ ප්‍රධාන මාර්ගය දෙස සිට යන විට අදාළ වෙල් යාය ආරම්භ වන ස්ථානයේ ය. යුද හමුදා වාහන දෙක නතර කිරීමට කළ සංඥා නොතකා ධාවනය මුලින්ම ධාවනය කර ඇත්තේ මේ මුර කපොල්ලෙන් ය. මේ ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටරයකට ආසන්න දුරක් ඇති බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යුද හමුදාව විසින් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන විමර්ශනයකට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යොමුකරන ලද්දේ කුමක් නිසා දැයි විමසීමේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එය සිදු කළ බවත්, කවර තත්ත්වයක් යටතේ හෝ ඇත්තටම සිදු වූ දේ අනාවරණය කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ය. ඇතැම් වනජීවී නිලධාරීන් මෙය වැරදියට වටහාගැනීමක් සිදු කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධිකරණයට විධිමත්ව කරුණු වාර්තා කර ඇති තත්ත්වයක් තුළ, අදාළ වනජීවී නිලධාරීන් වගකිව යුතු නොවන වෙනත් දෙපාර්තමේන්තුවල පරීක්ෂණවලට ඔවුන් යොමුකිරීම අනුමත කළ නොහැකි බව මේ පිළිබඳව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් එවැනි විමර්ශන සඳහා සහාය දීම හෝ නොදීම පිළිබඳ තීරණය බොහෝවිට ගනු ලබන්නේ ආයතන ප්‍රධානීන් විසින් බවත්, එහිදී අදාළ පහළ නිලධාරීන්ට ඒ පිළිබඳ තීරණ ගැනීමේ අවස්ථාවක් නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
යුද හමුදාව විසින් පත්කර ඇති මේජර් ජෙනරාල්වරුන් දෙදෙනාගේ පරීක්ෂණ කණ්ඩායම හමුවට පසුගිය 29දා අදාළ සිදුවීමට මුහුණ දුන් වනජීවී නිලධාරීන් ගොස් ඇතත්, ඔවුන් ප්‍රකාශයක් ලබා දී නැති බව වාර්තා වේ. අධිකරණයට කරුණු වාර්තා කර ඇති නිසා වෙනත් ස්ථානවලදී ප්‍රකාශ ලබාදීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බව ඔවුන් අදාළ කණ්ඩායමට දැනුම් දී ඇත.

පහර කෑවේ කවුද සහ අලි ජාවාරමේ ඉතිහාසය

වාර්තා වන ආකාරයට මේ සිදුවීමේදී පහරකෑමට ලක්වී ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෑතකදී දැඩි කතාබහට ලක්වූ නිලධාරියෙකි. සෝමාවතිය වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ගවයන් ඇතුළු කිරීමට එරෙහිව, වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර වාදයක් ඇතිවීම ඊට හේතුවයි. මෙහිදී ඇමැතිවරයාට දිගින්-දිගටම කරුණු පැහැදිලි කරමින්, අදාළ නීතිවිරෝධී ක්‍රියාව වළක්වා ගැනීමට උත්සාහ කළ නිලධාරියාට ඉන්පසුව දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණයක් පැවැත්විණි. ඉන්පසු ඔහු මින්නේරිය වනෝද්‍යානයට මාරු කර යවන ලදි.
ශ්‍රී ලංකාවේ අලි ජාවාරම සම්බන්ධයෙන් වන ප්‍රථම විධිමත් පර්යේෂණයට අදාළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය වසරේදී එළිදැක්විණි. Illegal capture and internal trade of wild Asian Elephants (Elephas maximus) in Sri Lanka නම් එම පත්‍රිකාවේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ මෙරට අලි පැටවුන් ජාවාරමට ආරක්ෂක අංශවල සහයෝගය ලැබෙන බවටයි.මෙය 2008 සිට 2018 දක්වා වසර 10ක් තිස්සේ සිදු කළ පර්යේෂණයකි.
ඒ කියන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වෘත්තීය සමිතිවල බලපෑම නොවන්නට හමුදාවේ අදාළ මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීමක් සිදුනොවන්නට බොහෝ විට ඉඩ තිබිණි. වැඩ හැදී තිබුණේ ඒ තාලයට ය. ඊටත් වඩා අලි පැටව් කතාව උඩට එන හැමවිටම යට යවන්නේ ඇයි යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය.

එන්නත්කරණය හමුදාවට ?

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් නොකර හමුදාවේ යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක-සේවිකාවන්ට කොවිඩ් ප්‍රතිශක්තීරණ එන්නතක් ලබාදෙනු ලැබීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ සියයකට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබිණි.
‘අප ආයතනයේ සියලුම සේවක-සේවිකාවන්ට හා කාර්ය මඩුල්ල වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා යුද හමුදාපතිතුමා ඇතුළු කාර්ය මඩුල්ලට අපගේ හෘදයාංගම ස්තුතිය’ යනුවෙන් දැන්වීමක් එන්නත ලබා දෙන ස්ථානයේ ගසා තිබූ බව එහි සේවකයෙක් පැවසීය.
සේවකයන් 1,500කට පමණ එන්නත ලබා දී ඇති බවත්, එයින් 150කට ආසන්න පිරිසකට පසුගිය 28දා උදෑසන වන විට ආසාත්මිකතා ඇතිවී තිබූ බවත්, 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසිණි. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතළ තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු කියති.

ඉහළට කිව්වට වැඩක් වුණාද?

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අනුදැනුමක් නැතිව හමුදාවේ යැයි කියාගන්නා පිරිසක් විසින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවට ලැබුණු තොරතුරු අනුව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ට තොරතුරු දැනුම් දී තිබේ. කෙසේ වෙතත් එසේ ඉහළට දැනුම් දුන්නද, කිසිම වෙනසකින් හා බාධාවකින් තොරව මෙම වැඩසටහන පවත්වා ඇත.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන් දැක්වෙන වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවලට අනුව පසුගිය 27දා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 29,327ක් ද, දෙවැනි මාත්‍රාව 20345ක් ද ලබා දී ඇත. මේ සංඛ්‍යාවට දෙහිඅත්තකණ්ඩියේ විදින ලද මේ ප්‍රශ්නගත එන්නත් ප්‍රමාණය ඇතුළත්දැයි නොදන්නා බව අදාළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ප්‍රධානියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් පැවසුවේ තමන් මේ ගැන නොදන්නා බවයි. කෙසේ වෙතත් තොරතුරු සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. එහෙත් මෙතෙක් ගත් පියවරක් හෝ සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය කිරීමක් නැත.
කොවිඩ් මර්දන එන්නත් පිළිබඳ සම්පූර්ණ වගකීම පවරා තිබුණේ ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්ට ය. ඔවුන් ඒ වගකීම දැරිය යුතුය. ආරක්ෂක අංශවලට ඒ වගකීම පැවරූ බවක් කිසි තැනක සඳහන් වූයේ නැත.

සීඅයිඩිය පැහැරගන්නවද?

මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි හඳුන්වා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. පිළියන්දල පොලිසියේ පසුගිය 25 දිනැති 196/171 පැමිණිලි අංකය යටතේ අදාළ පැමිණිල්ල සටහන් වී තිබේ.
සභාපතිවරයාගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, තම පියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකොට මෙසේ පැහැරගෙන ගිය බවත්, එහිදී ඔහුට පහර දුන් බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචි අසේල සම්පත්ගේ දියණිය වන අග්‍රා දිනෙත්‍රි පැවසුවේ තම පියා රැගෙන ගිය පිරිස සුදු පැහැති වෑන් රථයකින් පැමිණි බවත්, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි පැවසූ බවත් ය. තමන් ඔවුන්ගෙන් රාජකාරි හැඳුනුම්පත් ඉල්ලා සිටියද, ඔවුන් එවැනි කිසිදු අනන්‍යතාවක් හෙළි නොකළ බවත්, ඒ වෙනුවට සිය පියාට මුව ආවරණයක් හෝ පැළඳ ගැනීමට ඉඩක් ලබානොදී පහර දී බලහත්කාරයෙන් රැගෙන ගිය බවත් ඇය සඳහන් කළාය.
අවුරුදු 18ක් වයසැති සිය සහෝදරයා මේ අවස්ථාවේ ඔන්ලයින් අධ්‍යාපන කටයුත්තකට සම්බන්ධ වී සිටි බවත්, අදාළ පිරිස ඔහු ළඟ තිබූ දුරකතනය ද පැහැරගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් පැවසීය. 25දා රාත්‍රී 8.30ට පමණ මේ සිදුවීම සිදු වූ බවත්, තමන් වහාම පදිංචි ප්‍රදේශය අයත් පොලිස් ස්ථානය වන පිළියන්දල පොලිසියට ගියද, ඔවුන් පැමිණිල්ල බාරගැනීම සෑහෙන වේලාවක් ප්‍රමාද කළ බවත් සඳහන් කළ ඇය, අවසානයේදී බරපතළ ලෙස ඉල්ලීම් කිරීමෙන් පසු පැමිණිල්ල ලියාගත් බව ද පැවසීය.

අත්අඩංගුවට ගැනීමක් !

පසුව අනාවරණය වූයේ මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද අත්අඩංගුවට ගැනීමක් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද එය තහවුරු කළ අතර, කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සභාපතිවරයාට ඇප ලැබිණි.
එහෙත් ගැටළුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක් සිදුකරන ක්‍රමවේදය සම්බන්ධවයි. අත්අඩංගුවට පත්වන ඔ්නෑම පුද්ගලයෙකුට තමන් අත්අඩංගුවට ගන්නේ කුමන වරදකට ද යනුවෙන් දැනගැනීමේ අයිතියක් තිබේ. එසේම අත්අඩංගුවට ගන්නේ කවුද යනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රශ්න කිරීමේ සහ එය තහවුරු කර ගැනීමේ අයිතියක් ඔහුට මෙන්ම ඔහුගේ සමීපතමයන්ට ද ඇත. එම අයිතිවාසිකම් මෙහිදී අදාළ වී නැත.
මේ පසුගිය 25 දා සිට 01 දක්වා සිදු වූ සිදුවීම් තුනකට අදාළ ක්‍රියාවලියයි. මේ පාර වැටී ඇත්තේ ආරක්ෂක රාජ්‍යයක් දක්වා ය. ඔබ තවදුරටත් ආණ්ඩුව පවසන ජාතික ආරක්ෂාව නම් රැවටීමේ ගොදුරක් වනවා ද?

– ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

twenty + fifteen =