ස්ත්‍රී, පුරුෂ සමාජභාවය සම්බන්ධ වත්මන් ආකල්ප

මුළු මහත් සමාජය ම ශීඝ්‍රයෙන් වෙනස් වන කාලයක පුද්ගල ආකල්ප, සිතුම් පැතුම් පවා ක්‍ෂණයෙන් වෙනස් වීමට ලක් වීම ස්වාභාවික ය. නමුත්, කෙතරම් ආකල්පමය වෙනසක් ඇතිව වුව ද, තවමත් සමාජය සතු ස්ත්‍රී, පුරුෂ සමාජභාවී දැක්ම සංස්කෘතික රාමුවට යටත්ව පවතින බවක් දැකගත හැකි ය. එනම්, අද වන විට ද ස්ත්‍රියක් නම්, ඇය සිටිය යුත්තේ, කිසියම් සීමාවක බවටත්, ඇය පුරුෂයන් අභිබවා නොයා යුතු බවටත් සමාජයීය සීමාවන් පවතී. ස්ත්‍රියකගේ එසේත් නැත් නම්, කාන්තාවකගේ භූමිකාව අද වන විට බහුවිධ ක්‍ෂේත්‍ර ඔස්සේ විකාශනය වී තිබේ. කෙසේ වෙතත්, තවමත් සමාජය ස්ත්‍රියකගෙන් අපේක්‍ෂා කරනුයේ, පුරාෂාධිපත්‍යයට යටත් වූ ළදබොළඳ, සුකුමාල තැනැත්තියකි. ඇතැම් විට එම සීමා බිඳදමා, ස්ත්‍රීත්වය පසෙක ලා කාන්තාවෝ සිය හැසිරීම් රටා පවා වෙනස් කර ගැනීමට උත්සුක වන්නාහ. නමුත්, විය යුත්තේ, සම තැන ලබා ගැනීමට යුහුසුළු වීම නොව නිසි තැන ලබා ගැනීමයි. මන්ද, ස්ත්‍රියක් ස්ත්‍රියක වශයෙන් ලබා ගන්නා සමාජයීය ස්ථාවරය මවක, බිරිඳක, දියණියක වශයෙන් විවිධ ස්ථරවලට බෙදී යන්නා සේ ම පුරුෂයෙක් පියකු, සැමියකු, පුතකු වශයෙන් ලබන අත්දැකීම් හා වගකීම් ද එකිනෙකට වෙනස් විය හැකි ය. නමුත්, සමාජය තුළ මෙකී තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව පනවන ලද සීමා මායිම් රැසකි. “පිරිමි වුණා ම බොන්න ඕනේ…”

“ගෑනු තමයි, ගෙදර වැඩ කරන්න ඕනේ…” මේ වැනි පටු සීමා මායිම් ස්ත්‍රී, පුරුෂ සමාජභාවය තුළ දී නිතර කන වැකෙන වදන් වේ. නමුත්, ස්ත්‍රියක වූ පමණින් ඇය දාසියක නොවන්නා සේ ම පුරුෂයකු වූ පමණින් වීරයෙක් ද නොවේ. සමාජය තුළ, වැඩ ලෝකය තුළ උරෙනු’ර ගැටෙන ස්ත්‍රී සහ පුරුෂ සමාජභාවී ජීවීන්ගේ සමාජයීය තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් තවමත් ඔවුන්ට ලැබී නොමැත.

අද වන විට රූපවාහිනී නාට්‍ය කලාව තුළින් පවා සමාජගත කිරිමට යුහුසුළු වන්නේ, කාන්තාවන් යනු පුරුෂයකුගේ රැකවරණයෙන් තොරව සිය ජීවිතය ගෙන යා නොහැකි තැනැත්තියක ලෙසයි. සංස්කෘතියෙන් ගොඩනඟා තිබෙන සීමාවන් මෙන් ම ජනමාධ්‍ය තුළින් ද සමාජගත කරන ආකල්ප හේතුවෙන් ද ස්ත්‍රී, පුරුෂ සමාජභාවයට කිසියම් බලපෑමක් සිදු වෙයි. එබැවින්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය පිළිබඳ ලාංකේය සමාජය තුළ පවතින හැදෑරීම පුළුල් විය යුතු බව නම් නොරහසකි.

ශරිනි වනිගසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය
Leave A Reply

Your email address will not be published.

eleven + 16 =