බැසිල් මහත්තයා යුද්දෙ කාලෙ තිරය පිටුපස සිට කරපු කාර්‍යභාරය ගැන කියනකොට…

නිකමට හිතෙන්නැද්ද යුද්දය නම් වූ වේදිකාවේ තිරය ඉදිරියේ මහින්ද මහත්තයා පෙනී ඉඳලා, ගෝටාබය සහ බැසිල් මහත්තරු තිරය පිටුපස සිට යුද ජය මෙහෙයවූවා වගේ නාමල් මහත්තයත් යුද ජයග්‍රහණයේ තිරය පිටුපස යෝධ සෙවනැල්ලක් වුණා කියලා.
ඒ මොකද කියනවනම් ඕනම තාත්තෙක්ට තමන්ගෙ දරුවන්ගෙ මූණ මතක් වුණාම වැඩ කරන්න අලුත් පණක් එනවා.
එතකොට ඒ වගේ මහින්ද මහත්තයත් යුද්දෙ කරනකොට නාමල් දිහා බලලා ඒ වෙහෙස නිවාගන්නැති. ඒ කියන්නෙ නාමල් නොහිටියනම් මහින්ද මහත්තයා යුද්දෙ හරියට නොකරන්න තිබුණා.
ඒ වගේම ඒ කාලෙ තාරුණ්‍යයට හෙටක් හදලා. රගර් සෙල්ලම් කරලා මේ රටේ තරුණයො ජවසම්පන්න කරන්න නාමල් මහත්තයා දීපු දායකත්වය අපිට අමතක කරන්න බෑ. ඒ ජවසම්පන්න තරුණයො තමයි යුද්දෙට ගියේ. ඇරත් මල්ලි නාවික හමුදාවට බැඳිලා විශිෂ්ඨතම නිලධාරියෙක් විදිහට රට වෙනුවෙන් යුද්දෙට යන්නත් නාමල් හේතු වෙන්නැති. මොකද මල්ලිලා හැදෙන්නෙ වැඩිමල් සහෝදරයා දිහා බලාගෙනනෙ.
එතකොට නාමල් මහත්තයත් තිරය පිටුපස සිට යුද ජයග්‍රහණය වෙනුවෙන් සෑහෙන කාර්‍යභාරයක් කරලා තියනබව අපිට හිතන්න පුලුවන්. සමහරවිට අරයා යුද්දෙ කරපු හැටි, මෙයා යුද්දෙ කරපු හැටි ගැන කියෙව්වට, නාමල් යුද්දෙ කරපු හැටි ගැන කවුරුත් නොකියනවා වෙන්න පුලුවන්. නාමල් හොඳටම යුද්දෙ කළා වෙන්නත් පුලුවන්.
කොහොම වුණත් ඇත්තටම මට කියන්න අවශ්‍යවුණේ හැමෝම පිටුපස සිටි මේ තිරය අපි හොයාගන්න ඕනෙ කියන එක.
මොකද සමහරවිට තව නොහඳුනන විරුවන් ඒ රෙද්ද තුළ සිට අපිට මුණගැහෙන්න පුලුවන්. ඔවුන්ව අනාගත පරපුරට නොපෙන්වා සිටීම ඒ වීරත්වයට කරන අසාදාරණයක්. ඇරත් ඒ තිරය ඉතා විශාල එකක් වීමට ඉඩ ඇති නිසා අපට එය හම්බන්තොට ඩී ඒ රාජපක්ෂ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර පාසල් දරුවන්ට පෙන්වීමටත් පුලුවන්.
එය ඓතිහාසික වැදගත්කමකින් යුතු රෙද්දක් නිසා සංචාරක ආකර්ශනය පවා ලබාගෙන විදේශ විනිමය උපයාගන්න පුලුවන්. ඒ තිරය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පිට්ටනිය වැස්සකදී ඇදගෙන දුවගොස් වැසීමට තරම් සුවිශාල එකක්නම් ඒ වෙනුවෙන්ම කෞතුකාගාරයක් හදා යුද්දයට නායකත්වය සැපයූ විරුවන් ඉදිරියේ සිටි රෙද්ද අනුස්මරණ ජාතික කෞතුකාගාරය ලෙස පවා නම් කළ හැකියි.
දැන් ngo කාරයන් හෝ රැඩිකල් දේසද්‍රෝහීන් විපක්ෂයේ හෝ බටහිර කුමණ්ත්‍රණකරුවන් අසයි ඔය රෙද්දක ඇති වටිනාකම කුමක්ද කියා..
එයට දීමට ඇති පිළිතුර සරලය.
එය අප ආරක්ෂා කරගතයුතු වන්නේ එම තිරය පිටුපස සිට යුද්ධයට නායකත්වය දුන් තවම නූපන් බබෙක් පවා සිටිය හැකි නිසායි.
– චමල් අකලංක පොල්වත්තගේ

Leave A Reply

Your email address will not be published.

fifteen − nine =