නව ගමනක දේශපාලන විළිරුදාව

ආණ්ඩුව හත්පොළේ ගා ගෙන ය. කරන කරන හැම වැඩක් ම අසාර්ථක ය. රටේ ආර්ථිකය, කොරෝනා වසංගත පාලනය, පොහොර ප්‍රශ්නය, දරුවන්ගේ අධ්‍යාපනය, පරිසරය, තෙල් මිල ප්‍රශ්නය හැම එකක් ම අනාගෙන ය. මේ හැම ප්‍රශ්නයකින්ම ජනතාව තව තවත් පීඩාවට පත් වෙමින් සිටිති. ඒත් එක්ක ම හැම පැත්තකින්ම බරපතළ විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙමින් පවතී. තත්ත්වය එන්න එන්න ම දරුණු නිසා ජනාධිපති ජාතිය අමතා මෙය ගොඩ දමන්නට උත්සාහ කළේ ය. ඒත්, ඒ ජාතිය ඇමතීමෙන් මුළු රටේ ම ජනතාව එතුමාගේ ජාතකය අමතන තත්ත්වයට පත් වුණේ ය. අතේ පත්තු වෙන පට්ටපල් බොරු කියමින්, එය තවත් එක් ‘ෆොටෝ ෂූටින්’ එකක් බවට පත් වුණේ ය. ‘ගෝඨාභය බලයට ආවා ම රටේ සියලු ප්‍රශ්න විසඳාවි’ යන බලාපොරොත්තුව අද සුනේසුන් වී ඇත. ඡන්දය දීපු සාතිශය බහුතරයක් ජනතාව අද ඉන්නේ කරකියා ගන්න දෙයක් නැතිව ය.  මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ ම මේ ගන කිව්වේ, “අපි අහුවුණා; අපි රැවටුණා…” යනුවෙන් ය.

දැන් ප්‍රශ්නය වී ඇත්තේ, රට පුරා දිනෙන් දින නැඟෙන ජනතා විරෝධය කොතැනින් කොතැනකට තල්ලු වේ ද යන්න ය. ඒ ගැන අදහසක් කිසිවකුටත් නැති ය. ගෝඨාභය බලයට ගෙනාපු ඉක්මනින් ම එළවා ගැනීමේ වුවමනාවක් දැන් ජනතාවට ඇත. තව දුරටත් ගෝඨාභයට හෝ මේ ආණ්ඩුවේ කාටවත් මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න බැරි බව ස්ථිරය. රාජපක්ෂ පවුලේ හොඳ ම වැඩකාරයා යැයි කියමින්, ගෙනාපු ගෝඨාභයගේ තත්ත්වය මේක නම්, තවත් ඒ ගැන කතා අවශ්‍ය වන්නේ නැත. දැන් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ, රට ගොඩ ගන්න පුළුවන් සැබෑ විකල්ප නායකත්වයකි. එහෙම කියලා තවත් කවුරුන් හෝ තනි පුද්ගලයකු කරේ තියාගෙන ආවාට වැඩක් වන්නේ නැත. තනි පුද්ගලයන්ට ඉන්ද්‍රජාලික බලයෙන් මෙය ගොඩගන්න බැහැ යන්න දැන් හොඳට ම පැහැදිලි ය. සාමාන්‍යයෙන් අපේ රටේ පුරුද්ද වෙලා තිබුණේ, ආණ්ඩුව හොඳ නැත් නම්, විපක්ෂයට ආයෙත් සැරයක් බලය දීමයි – තට්ටුමාරු ක්‍රමයට ආණ්ඩු මාරු කිරීම ය – එදා ඉඳලා මේ දක්වා සිදු වුණේ ඒ විදියට ය. එක ම සෙක්කුවේ ගොනා මාරු කර කර ඇදගෙන යාම ය. ඒත්, දැන් ඒකත් අසාර්ථක බව හොඳින් ම තේරුම් ගොස් ඇත.

ජනතාවට දැන් අවශ්‍ය වී ඇත්තේ, රට පත්ව ඇති වත්මන් අභියෝගයෙන් ගොඩ ගත හැකි විකල්ප නායකත්වයකි. ඒ හුදු තනි පුද්ගලයකු නොවේ ය. සැබෑ ලෙස ම විශ්වාසය තැබිය හැකි වැඩපිළිවෙළක්ය. ඒකට යූ.එන්.පී. ද, ශ්‍රී ලංකා ද, ජේ.වී.පී.  ද යන්න අදාළ නැත. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ, තමන්ගේ හෘදයසාක්‍ෂියට එකඟ විය හැකි බලවේගයක් ය. බොරු පොරොන්දු නැති, අර්බුදය සැබෑ ලෙස ම දැක එය වෙනස් කිරීමට ධෛර්යය ඇති නායකත්වයකි.

මේ වන විට ප්‍රධාන විපක්ෂය කියා කියන්නේ, සජිත් ප්‍රේමදාසගේ සමඟි ජන බලවේගයට ය. බැලූබැල්මට මෙය අලුත් පක්ෂයකි. බාහිර පෙනුමෙන්, නමින්, ලකුණින් අලුත් පක්ෂයකි. එහෙත්, මෙහි කිසිදු අලුත්කමක් නැත. ප්‍රතිපත්තිවල අලුත්කමක් ද නැත. පරණ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියමය. වෙනස් වී ඇත්තේ, රනිල් වෙනුවට සජිත් ඒම ය. යූ.එන්.පීයේ හිටපු කට්ටිය ම මේ පක්ෂයට පැන ගැනීමය. අලුතින් කවුරුවත් එකතු වී නැත. සජිත් කියන්නේ, හිටපු යූ. එන්. පී. යේ නායක ප්‍රේමදාසගේ පුතා ය. ප්‍රේමදාසට අඩු ම ගාණේ මහ පොළොවේ සාමාන්‍ය ජනතාවගේ හදගැස්මවත් තේරුණේ ය. ඒ ප්‍රේමදාස පුංචි තැනකින් ආපු නිසා ය. ඒත්, සජිත් කියන්නේ, එහෙම කෙනෙක් නොවේ ය. තාත්තාට සමාන කරන්න පුළුවන් හැකියාවක් ඔහු තුළ නැත. හැදුණේ, වැඩුණේ ම අගමැතිගේ, ජනාධිපතිගේ පුතා ලෙස ය. හේමා ප්‍රේමදාසගේ යටතේ ය. මේ වන විට කරන කියන වැඩවලින් සජිත් පිළිබඳ චිත්‍රයක් ඒ පක්ෂයේ සාමාජිකයන්ට ඇත. දැනටමත් පක්ෂයේ ඉහළ පෙළේ අය ම කියන්නේ, “සජිත්ට වැඩේ තේරෙන්නේ නැහැ” කියා ය. තවමත් වැඩ කරන්නේ “මම… මම…” කියාගෙන ය. එහි අර්ථය කණ්ඩායමකට නායකත්වය දෙන්න පුළුවන් හැකියාවක් නැති බව ය. කොටින් ම කියනවා නම්, දේශපාලනයේ පරිණතභාවයක් නැහැ කියා ය. බොහෝ වේලාවට “අපේ ලොක්කා වැඩේ අනාගන්නවා” යැයි තැන් තැන්වල මැසිවිලි නැඟෙන්නේ ය.

සාමාන්‍යයෙන් පොදු ජනතාව තුළ ඇති මතය නම්, නිතර ම ගොන් කතා කියන පුස් චරිතයක් ය යන්න ය. කිව්වොත්, කියන්නෙ මෝඩ කතාවක් ය. කළොත් කරන්නෙ මෝඩ වැඩක් ය කියා ය. රනිල් ආපහු පාර්ලිමේන්තු එන කොට සජිත්ගේ පක්ෂයේ සමහරු ටිකක් භය වූහ. ඒ වෙන හේතුවක් නිසා නොවේ ය. සජිත්ගේ දුර්වලකම නිසා එපා වෙලා ඉන්න මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආයෙත් රනිල් එක්ක එකතු වේවි ද යන භය නිසා ය.

වැටිච්ච අලියා ගොඩ ගන්න රනිල්ට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. ඒත්, වැටිච්ච අලියා ගොඩ ගන්න සජිත්ටත් බැහැ යන්න දැන් පාක්ෂිකයන්ගේ අදහස ය. ගෝඨාභයට වැඩේ කරන්න බැහැ කියලා තේරුම් ගත්තේ අවුරුද්දකට පස්සේ ය. සජිත්ට ඊටත් වඩා බැහැ කියලා තේරුම් ගන්නත් අවුරුද්දක් ගත වුණේ ය. මේ දෙන්නට ම බැහැ කියලා ජනතාව හා පාක්ෂිකයන් තේරුම් ගත්තේ වගකීම් දුන්නට පස්සේ ය. දෙන්නට ම පුළුවන් කියලා මතයක් හැදුවේ මාධ්‍යවලින් ය. මහා වැඩකාරයකු ලෙස ගෝඨාභයව පුම්බලා පෙන්නුවේ මාධ්‍යවලින් ය. සජිත් කියන්නෙත් එහෙම බඩුවක් කියලා උස්සලා පෙන්නුවේත් මාධ්‍යවලින් ය. ඒත්, මේ වෙන කොට ඒ දෙක ම පුස් බව පෙන්වන්න අමුතුවෙන් කියන්න දෙයක් ඉතුරු වී නැති ය.

ඇත්තට ම ජනතාවට දැන් අවශ්‍ය වී ඇත්තේ, රට පත්ව ඇති වත්මන් අභියෝගයෙන් ගොඩ ගත හැකි විකල්ප නායකත්වයකි. ඒ හුදු තනි පුද්ගලයකු නොවේ ය. සැබෑ ලෙස ම විශ්වාසය තැබිය හැකි වැඩපිළිවෙළක් ය. ඒකට යූ.එන්.පී.  ද, ශ්‍රී ලංකා ද, ජේ.වී.පී.  ද යන්න අදාළ නැත. ජනතාවට අවශ්‍ය වී ඇත්තේ, තමන්ගේ හෘදයසාක්ෂියට එකඟ විය හැකි බලවේගයක් ය. බොරු පොරොන්දු නැති, අර්බුදය සැබෑ ලෙස ම දැක එය වෙනස් කිරීමට ධෛර්යය ඇති නායකත්වයකි. එය පුද්ගල නායකත්වයක් නොවේ ය. සමාජ ඉල්ලා සිටින්නේ, ඒ සඳහා වූ සැබෑ බලවේගයක් ය.

වැඩපොළේ, ගොවිපොළේ, හන්දියේ හැම තැනම කතා වෙන්නේ ඒක ය. “මුන් දෙගොල්ලන්ට ම බැහැ මොකක් හෝ අලුත් එකක් ඕනෑ” කියා ය. අලුත් එක කොයි වාගේ ද යන්න කාටවත් හරි අදහසක් නැත. ඒත්, ඉල්ලා සිටින්නේ, එහෙම අලුත් එකක් ය. ඒ කියන්නේ, සමස්ත සමාජය තුළ ම මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වූ විකල්පයක් සඳහා වන ලොකු ඉල්ලුමක් ඇත. අලුත් ගමනක් පිළිබඳව ජනතාව තුළ ඇත්තේ, මහත් වූ ඉක්මන් පිපාසාවකි. කතා කරන කතා කරන හැම කෙනා ම අසන්නේ, “මෙහෙම ගියොත්, රටට මොක ද වෙන්නේ…? අපට මොකද වෙන්නේ…” යන ප්‍රශ්නයයි. ඉන් කියැවෙන්නේ, මේ විදියට තවත් යන්න දෙන්න බැහැ, වහා ම මැදිහත් වෙලා මඟ වෙනස් කළ යුතු බව ය. ජනතාව ඉන්නේ දේශපාලන පක්ෂවලටත් වඩා ඉදිරියෙන්ය. පක්ෂවලින් හෝ කොහෙන් හෝ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ, විකල්පයකි. මෙය දේශපාලනයේ ඉතාමත් වැදගත් වූ සන්ධිස්ථානයකි. පැහැදිලිව ම ගත්තොත්, දේශපාලනයේ ඇති වී තිබෙන අලුත් බලාපොරොත්තුවක් පිළිබඳ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි.

එය නිවැරැදිව වටහා ගැනීම ප්‍රමුඛතම අත්‍යවශ්‍ය කාරණයකි. එනම්, ප්‍රශ්නය හරියට තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. දෙවැන්න ඒ සඳහා වූ විශ්වසනීය නායකත්වයක්, වැඩපිළිවෙළක් ලබා දීම ය. පක්ෂවලට, පාටවලට බෙදිලා ඉන්න හැම ජනතාවකගේ ම වුවමනාව එක ය. වැඩේ හරියට කෙරෙනවා නම්, ඒ හැමෝ ම තමන් ඉන්න පක්ෂවලින් එළියට එන්න සූදානම් ය. එක තැනකින් ගැලවෙන්නේ තවත් තැනක් අල්ලා ගන්නට ඇත්නම් ය. අල්ලා ගන්නා තැන පිළිබඳ විශ්වාසයක් ලැබුණොත්, පදාස පිටින් ගැලවිලා එන්නේ ය. කැපුවත්, කොල පාට, කැපුවත් නිල් පාට කියලා එල්ලීගෙන ඉන්නේ නැත. මෑත ඉතිහාසය තුළ එය වෙනස් වුණේ ය. එසේ නම්, අවශ්‍ය වන්නේ ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමක් නොවේ ය. දැන් ආපහු සැරයක් ඒකට රැවටෙන්නේ ද නැත. ජාතිය මොකක් වුණත්, ආගම මොකක් වුණත් හැම කෙනාට ම අවශ්‍ය වී ඇත්තේ, එවැනි භේදයක් නැතිව එකතු වෙලා රට ගොඩ ගන්න පුළුවන් නායකත්වයකි. බුර බුරා නැඟෙන ආණ්ඩු විරෝධයන්ගේ අවසන ඉලක්කය වී ඇත්තේ, එයයි. ප්‍රමාද වුණොත්, ජනතාව ඉස්සර වෙලා කොහේ හෝ පැත්තකට මෙය තල්ලු කරනවා ඇත. එවිට සියල්ල අයාලේ යනු ඇත. ඊට පෙරාතුව වහ වහාම රටත්, ජනතාවත් නිවැරැදි තැනකට රැගෙන යා හැකි සැබෑ දේශපාලන නායකත්වයක්, බලවේගයක් පෙරට ආ යුතුව ඇත. ඒ සඳහා මතු වී ඇති අවස්ථාව නිසි සේ කළමනාකරණය කිරීම ජනතාව විසින් ම ඉල්ලා සිටින්නකි. ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීම නායකත්වයන්ගේ අත්හැරිය නොහැකි වගකීමකි●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

3 × 1 =