වසර 19 කට පසු අම්මා සොයාගෙන ලංකාවට පැමිණි නෙදර්ලන්තයේ අයිරීන්

දරු කමට හදා වඩා ගන්නා දරුවන්ගේඅනන්‍යතා අර්බූදය.

ලාංකීය සමාජයේ පියකු නොමැතිව දරුවන් ලැබීම අපරාධයක් වීම 2005 – 2007 අතර කාලයේ ජාතික රූපවාහිනිය වෙනුවෙන් මා විසින් අධ්‍යක්ෂණය කළ වටරවුම සඟරාමය වැඩසටහනේ කේන්ද්‍රීය තේමා ව වූයේ මනුෂ්‍යත්වය (Humanity ) සහ සමාජ ප්‍රශ්න ( Social Issues ) යි.
දරු කමට හදා ගැනීමට විදේශිකයින් හට දරුවන් ලබා දීම ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල නිරතුරුව සිදුවෙයි. දරුවන් නැති මව්පිය යුවලකට ( ඔවුන් පිටරට අය වුවත්, ලංකාවේ අය වුවත්) දරුවකු හදා ගැනීමට ලබා දීම වැරැද්දක් නොවේ. එය මානුෂීය ක්‍රියාවකි. අප ආගම දහමෙන් පෝෂණය වූ, පරිත්‍යාගය උතුම් කොට අදහන ජාතිකයක් නම්, තවත් අයෙකුගේ දාරක ප්‍රේමය වෙනුවෙන් පිහිට වීම කොතරම් වූ පුණ්‍ය කර්මයක් ද? එහෙත් ලංකාව ඇතුළු ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල දරුවන්, දරුකමට හදා ගැනීම සඳහා ( Child Adoption) වෙනත් රටක දෙමව්පියන්ට ලබා දීම සිදු කෙරෙන්නේ පෙර කී පුන්‍ය කර්මය කර ගැනීම‍ෙ චේතනාවෙන් නොවේ. එය සිදුවන්නේ ලංකාවේ පසුගාමී සංස්කෘතිය නිසාම නිර්මාණය වී ඇති සදාචාරාත්මක නොවන තත්වයක් නිසාය. පියකු නැතිව දරුවකු වැදූ කළ ඔවුන් මහ මග දමා යන, ඇතැම් විට මරා දමන සමාජයක අපි ජීවත් වෙමු. ඇතැම් විට තරමක් හෝ මානුෂීය කල්පනාවක් ඇති අය අනන්‍යතාවය ඇතිව හෝ නැතිව දරුවන් දරුකමට හදා ගැනීමට ලබා දෙති. එහි අතරමැදියන් කිසියම් මුදලක් උපයන බව ද සැබෑවකි.

ඇතැම් විට ළමයින් දරුකමට හදා ගැනීමට ලබා දීම නීත්‍යානුකූලව මෙන්ම නීත්‍යානුකූල නොවෙන ලෙස ද සිදුවන බව පෙනෙයි. මෙහි ඇති සාහසික තත්වය වන්නේ උපතේදිම දරුවන්ගේ සත්‍ය තොරතුරු සැඟවීමය. එහි විපාක විඳින්නේ ලෝකයේ දියුණු රටවල හැදී වැඩී දැනුම් – තේරුම් ඇති වයසට පැමිණි පසු සිය ජීව විද්‍යාත්මක දෙමව්පියන් ( Biological Parents) සොයා යන තරුණ දරුවන්ටය. ලොකු මහත් වූ පසු සිය සැබෑ අනන්‍යතාවය (True Identity ) සොයා ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන මෙම දරුවන් නැවත ලංකාවට එන්නේ තමන්ගේ සැබෑ මව, සැබෑ පියා කවුරුන් ද කියා දැන ගැනීමේ නොතිත් ආශාවෙනි. එහෙත් අවාසනාවකට උප්පැන්න සහතික වල අසත්‍ය නම් ගම් ඇතුලත් කර තිබීම නිසා මෙම අහිංසක දරුවන්ගෙන් ඇතැම් දෙනාට ජීවිත කාලය පුරා සිය සැබෑ දෙමව්පියන් සොයා ගැනීමට නොහැකි වෙයි. නැති නම් එලෙස දෙමව්පියන් සොයා ගැනීමට බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවෙයි. මේ ක්‍රියාවලියේ දී දියුණු රටක සැප සම්පත් ඇතිව හැදී වැඩෙන දරුවන් දකින ඇතැම් ස්ත්‍රීන් විවිධ ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තමන් සැබෑ මව යයි කියමින් ව්‍යාජ ලෙස ඉදිරිපත් වෙන අවස්ථා ද වෙයි. අවසානයේ සත්‍ය නිරාවරණය වන්නේ DNA පරික්ෂණ වලිනි. තමන්ගේ ජීව විද්‍යාත්මක මව සහ පියා සොයාගෙන වසරකට දියුණු රටවල සිට යොවුන් වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ලංකාවට පැමිණෙති.

පියකු නැතිව දරුවකු ලැබීම අපගේ සමාජය තුළ සැලකෙන්නේ වැරැද්දක් ලෙසය. එයට හේතුවන්නේ සමාජය තුළ තිබෙන ආගමික, සංස්කෘතික සහ සාමාජීය සිතුම් පැතුම්ය. එලෙස දරුවන් හදන ගැහැණුන් අප සමාජයේ කායික හා මානසික හිංසනයට ලක්වේ. සමාජයේ කොන් කිරීමට ලක්වේ. එවන් දරුවෙක් හදා-වඩා ගත්තත් බොහෝ විට එම දරුවන්ට ද සමාජයේ ලැබෙන්නේ යහපත් පිළිගැනීමක් නොවේ. “ අප්පා නැති එකා- එකී” යනුවෙන් පාසල තුළ, තම සාමාජීය පරිසරය තුළ නින්දාවට, අපහාසයට සහ උපහාසයට ලක්වන දරුවන් කොතෙක් වේද? එලෙස පියකුගේ අනන්‍යතාව නැතිව දරුවකු හදන ස්ත්‍රියකට නැවත විවාහ වීම ද ශ්‍රී ලාංකීය සමාජයේ එතරම් පහසු කටයුත්තක් නොවේ.

දියුණු රටවල පියෙක් නැති දරුවකු බිහි වීම අපරාධයක් හෝ නින්දාවට ලක්විය යුතු කාරණයක් ලෙස නොසැලකෙයි. වැරදීමකින් හෝ එලෙස දරුවන් හදන අය සිය බිළිදුන් මරා දමන්නේ නැත. මහ මග දමා යන්නේ නැත. එවන් රටවල එවන් දරුවන් පිළිගැනීමට සහ රැක බලා ගැනීමට දියුණු ක්‍රම නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් විවාහයට පෙර හෝ පසු ලිංගික සබඳතා පවත්වනු ලැබුවත් අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීමට ඔව්හු වග බලා ගනිති. එහෙයින් ඒ රටවල ඇතිවන සාමාජීය ප්‍රශ්න අවමය.

මේ කතාවේ දැක්වෙන්නේ මාස තුනක් වූ වයසේ දී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගිය අයරින් වයස අවුරුදු 19 දී තමන් හදා වඩාගත් දෙමව්පියන් සමග ලංකාවේ සිටින අම්මා සොයා ගෙන ආ අවස්ථාවයි. ඇය ලංකාවට පැමිණියේ නෙදර්ලන්ත මව, පියා සහ පෙම්වතා සමගය. ලංකාවට පැමිණි පසු ඇයට අම්මා බලන්නට යන්නට සාරියක් ඇඳගන්නට උවමනා වූවාය. කඳුලු පිරි දෙනෙතින් සිය සැබෑ මව ද, ඇයගේ නැගනිය හා ස‍හෝදරයන් වැළඳගත් ඇය පළ කළේ පොදුවේ අප කාටත් හිමි මනුෂ්‍යභාවයේ හැඟීමයි. නිසි වයසට පැමිණි විට තමන් හදා වඩා ගත් දරුවන්ට සත්‍ය පවසා ඔවුන්ට සැබෑ මව්පියන් සොයා ගෙන යාමට මග පෙන්වීම දියුණු රටවල දෙමව්පියන්ගේ සිරිතයි. අයිරින් ව හැදූ මව ද, ඇය වැදූ මවද, අයරින් ද එකිනෙකා බදා වැළඳගෙන කඳුලු සැලූ එම හැඟීම්බර අවස්ථාවේ නන්දා මාලිනිය ගේ “ මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා” නම් වූ ගීතය මට සිහිපත් වූයේ නිරායාසයෙනි. එය වැඩසටහන ට ද ඇතුළත් ‍කළෙමි. මේ හමුවීමේ දී කාටත් එකිනෙකා ගේ හැඟීම් කියා පාන්නට එකම බාදාව වූයේ භාෂාවයි. එහෙත් ඔව්හු සතුට සහ කඳුල මුසු වූ ඇස් වලින් දහසක් දේ කීහ. පසු කාලයේදී සිය මව සහ සහෝදර සහෝදරියන්ට අයිරින් උදව්- උපකාකර කළාය.

නෙදර්ලන්තයේ වෙසෙන අයිරින් ට ලංකාවේ සිටින ‍මව ස‍ොයා ගැනීමට උදව් කළෙ මීගමුවේ ඇන්ඩෲ ද සිල්වාය. දශක ගණනාවක් මෙවන් හමුවීම් වලට මග පාදන ඇන්ඩෲ සිල්වා ( Andrew Silva) එම මානුෂික සත්කාරයෙන් මහත් ආත්ම තෘප්තියක් ලබයි. මේ වන විටත් පිටරට සිටින දරුකමට හදාගත් ළමුන් දෙදහසකගේ පමණ ලැයිස්තුවක් ඇන්ඩෲ සතුව ඇත. ඔවුන් සියලෝම ඇන්ඩෲ මාර්ගයෙන් සිය සැබෑ මව්පියන් සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිති.

වටරවුම – සඟරාමය වැඩසටහන ( 2005) / ජාතික රූපවාහිනිය/ අධ්‍යක්ෂණය: අතුල දිසානායක/ කැමරාකරණය: සිසිර දීප්ති/පටිගත කිරීම : චන්ද්‍රා ජයසිංහ.

අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

18 + 16 =