“ක්‍රිකට් පරිපාලනය විතරක් නෙමෙයි ක්‍රීඩා ඇමැතිත් ෆේල්”

- අර්ජුන රණතුංග

ඉන්දියාවෙන් ඇවිත් ඉන්නේ දෙවැනි පෙළ කණ්ඩායමක්. ඒක රටට ලොකු අගෞරවයක්. ක්‍රිකට් පරිපාලනය විතරක් නෙමෙයි දැන් ක්‍රීඩා අමාත්‍යවරයාත් ෆේල්. අර්ජුන හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඊයේ (01) මේ අදහස් පළකළේය

එළැඹෙන ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ තරග කිරීමට ඉන්දියාවෙන් පැමිණ සිටින්නේ දෙවැනි පෙළ කණ්ඩායමක් බව අනූහයේ ලෝක ශූර ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අනාවරණය කරනවා. ඔහු පෙන්වා දෙන්නේ සැබෑ ඉන්දීය කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමඟ තරග කිරීමට නියමිත බවයි. එසේ සැබෑ ඉන්දීය කණ්ඩායම එංගලන්තය සමඟ තරග කරද්දී ඉන්දියාවේ දෙවැනි පෙළේ කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තරග කරවීම රටට කරන අගෞරවයක් බව ද අර්ජුන රණතුංග පෙන්වා දෙන්වා දෙනවා. ඒ හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්. ඔහු එහිදී පෙන්වා දුන්නේ මෙලෙස ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය හෑල්ලු කිරීම පිටුපස ඇත්තේ තරග විකාශන අයිතීන් මත මුදල් උපැයීමේ පටු අරමුණ බවයි.

”මේ කාලය ක්‍රීඩාව ඉතාම අවමානයට පත් වෙච්ච කාලයක්. මේ රටේ ක්‍රිකට් පරිපාලනයේ වුණු දූෂිත ක්‍රියා ගැන කෝප් කමිටුවේ දී සහ එහි වාර්තාවල දී සෑහෙන්න කතා වුණා. තරග පැරදීම සහ ක්‍රීඩකයින්ගේ විනය ගැන සාකච්ඡා කෙරුණා. නමුත් මීට වඩා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට බලපාන දරුණු දෙයක් ගැන මම පෙන්වා දෙන්න කැමැතියි. ඒ තමයි ලංකාවේ ඉන්දීය සංචාරය. මම දැක්කා ඊයේ ඉන්දියාවේ කණ්ඩායම ලංකාවට එනවා. ඒ ඉන්දියාවේ පළමු පෙළ කණ්ඩායම නෙමෙයි. ඒ දෙවැනි පෙළේ කණ්ඩායමක්. ඉන්දියාවේ ඒ දෙවැනි පෙළත් සමඟ අපේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා ඇමැතිවරයා අනුමැතිය දීලා තියෙනවා.

අද අපේ රටේ ක්‍රිකට්වල තත්ත්වය පහල බැහැලා ඇති. නමුත් අපේ රටට අනන්‍යතාවක් තියෙනවා. අපට ගෞරවයක් තියෙනවා. එහෙම තියෙද්දී අපේ ජාතික කණ්ඩායම ඇයි දෙවැනි පෙළක් සමඟ ක්‍රීඩා කරන්නේ. අඩුම ගානේ ඉන්දියාවේ දෙවැනි පෙළ ලංකාවට එද්දී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය කරන මිනිස්සුන්ට කියන්න බැරි වුණා ද අපි දෙවැනි කණ්ඩායමක් ගන්නේ නැහැ කියලා. මේ වගේ දෙවැනි පෙළ කණ්ඩායමක් සමඟ අපේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නැහැ කියලා ක්‍රීඩා ඇමැතිවරයාට කියන්න බැරි ද ? මොකද්ද මේකේ යට තියෙන්නේ. ?

අද ක්‍රිකට් පරිපාලනයට ඕන වෙලා තියෙන්නේ රූපවාහිනී ගනුදෙනුවලින් මුදල් හොයා ගන්න. අද ක්‍රීඩා ඇමැතිවරයාටත් ඒක වෙන්න ඇති ඕන වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැනුම තියෙන ක්‍රීඩා ඇමැතිවරයෙක් හිටිය නම්, දැනුම තියෙන ක්‍රිකට් පරිපාලනයක් තිබුණා නම් මේ වගේ කණ්ඩායමක් ලංකාවට කවදාවත් ගේන්නේ නැහැ. මේ අපට කරන ලොකු ම අගෞරවයක්. අපේ කණ්ඩායමේ භාගයක් ඉන්දියාවට යන්න කියන්න. එංගන්තයට යන්න කියන්න. ඒ අය භාග කණ්ඩායම් භාර ගන්නේ නැහැ.

අද අපේ ක්‍රිකට්වල විනය නැති වෙලා තියෙන්නේ පරිපාලනයේ තියෙන දුර්වලතාවය නිසා. දූෂණය වැඩි වෙලා තියෙන්නේ. මේ තත්ත්වය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මම ඉතාමත් කණගාටු වෙනවා. දුක් වෙනවා. අපි බොහෝම අමාරුවෙන් ගොඩ නඟපු ක්‍රිකට් ක්‍රීඩාව පරිස්සම් නොකිරීම ගැන. මේ ඡන්දවලින් ක්‍රිකට් පරිපාලනයට පත් වන අයට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන්න අවශ්‍යතාවක් නැහැ. ක්‍රිකට්වලට ආදරයක් නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ මුදල් හම්බ කිරීම පමණයි. ඒක ඔප්පු වෙලා හමාරයි.

අද රට යන්නේ කොතැනට ද ? ක්‍රීඩාවත් අද යන්නේ එතැන්ට. අද අපි කියනවා රට ෆේල් කියලා. ක්‍රීඩාවත් අද හුඟාක් දුරට ෆේල්. ක්‍රීඩා ඇතිවරායත් ෆේල්. ක්‍රිකට් පරිපාලනයත් ෆේල්. අනිත් ප්‍රශ්න ගැන අපි පැත්තකට දාමුකෝ. අද මම මේ කියන ඉන්දිය දෙවැනි පෙළ කණ්ඩායමක් මෙරට පැමිණීමේ ප්‍රශ්නය ගැන අද එක්කෙනෙක්වත් කථා කරලා නැහැ. ක්‍රිකට් පරිපාලනය කථා කරලා නැහැ. කිසිම කමිටුවකින් කථා කරලා නැහැ. උපදේශකවරුන් කථා කරන්නේ නැහැ.

අද ලංකාවට පැමිණ ඉන්න ඉන්දීය කණ්ඩායමේ නම් ටික බලන්න. හොඳම කණ්ඩායම ඉන්නේ එංගලන්තයේ. එතොකොට ඉන්දියාව පළමු කණ්ඩායම ඉන්දියාවට යවලා ටෙස්ට් තරග ක්‍රීඩා කරනවා. මෙහෙට දෙවැනි කණ්ඩායමක් එවලා විස්සයි විස්සයි එක්දින තරගයි ක්‍රීඩා කරන්න හදනවා.

අපේ ක්‍රීඩකයෝ දැනටමත් මානසිකව වැටිලා ඉන්නේ. අපේ කණ්ඩායමේ ක්‍රිකට් තත්ත්වය බැහැලා තියෙන්නේ. මේ ඉන්දියාවේ දෙවැනි කණ්ඩායම හමුවේ අපේ කණ්ඩායම පරාජය වුණොත්, ඔවුන් ජයග්‍රහණය කරලා ගියොත් අපේ කණ්ඩායමේ මානසිකත්වය ඉතා ම පල්ලෙහාට යනවා. මේක තේරුම් ගන්න බැරි ක්‍රීඩා පරිපාලනයක් සහ අමාත්‍යාංශයක් නම් තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයෙක් නම් ඉන්නේ මෙතැනින් එහාට අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ගැන කථා කරන එක හොඳයි. ක්‍රිකට් බලන එක නවත්වන එක හොදයි. මොකද මේ පුද්ගලයින් ක්‍රිකට්වලට නෙමෙයි ආදරේ. ක්‍රීඩාවට නෙමෙයි ආදරේ. සල්ලි කොහොම ද හම්බ කරන්නේ. ටෙලිවිෂන් රයිට්ස්වලින් ගාන හොයා ගන්න එක විතරයි මේ අයට ඕන වෙලා තියෙන්නේ…”යි ද අර්ජුන රණතුංග මෙහිදී අවධාරණය කළා.
mavrata news

Leave A Reply

Your email address will not be published.

one × 4 =