පුරාවස්තු, වනජීවී ආඥාපනත්, ජාතික පාරිසරික පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, උල්ලංඝනය කරමින් හැරීමට ගිය තිස්සමහාරාම වැව

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන ලද වැව් ඉතා කෙටි කලකින් ස්වභාවීකරණයට ලක් වේ. ඒ මත ජෛව ප්‍රජාවක්, සංස්කෘතියක් හා කෘෂි ආර්ථිකයක් ගොඩනැංවේ. වැව නිර්මාණයේ දී සිදු වන පාරිසරික බලපෑමට සාපේක්ෂ ව අලුතින් පරිසර පද්ධති ගොඩනැංවී ඒ මත විශාල ජෛව ප්‍රජාවකට රැකවරණය හිමි වීමෙන් ඉදිකිරීම් කාලයේ දී ඇති වූ පාරිසරික බලපෑම් ඉතා කෙටි කලකින් හානිපූරණය වේ. මේ නිසා වැව යනු අවිවාදයෙන් ම තිරසර සංවර්ධනයට ඇති හොඳ ම උදාහරණය ලෙස පෙන්වා දිය හැකි ය.

වසර දහස් ගණනක් ස්වභාවීකරණයට ලක් වූ සුවිශේෂී ජෛව ප්‍රජාවකට රැකවරණය සලසන, කෘෂි ආර්ථිකයක් ගොඩනංවන වැව් කිසිදු සැලැසුමකින් තොර ව ජල ගබඩාවක් ලෙස සැකසීමට ගැඹුරු කිරීම සඳහා හෑරීම ඉතා ම හානි කර ය. නමුත් වර්තමානයේ මේ තත්ත්වයට ගොදුරු ව ඇත්තේ තිස්ස වැව හෙවත් තිස්සමහාරාම වැව යි. යන්ත්‍ර සූත්‍ර භාවිතා කර වැවෙහි පස් හා රොන්මඩ කැනීම සහ වැලි නිස්සාරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය එක් ව නීති විරෝධී ව චීන සමාගමකට පවරා තිබේ. මෙම කැනීම් මගින් බලාපොරොත්තු වන්නේ වැවේ ජල ධාරිතාව වැඩි කර, විශාල ජල ප්‍රමාණයක් රදවා ගැනීමයි. නමුත් මෙම ව්‍යාපෘතියේ යටි අරමුණ වන්නේ හම්බන්තොට මහ නගර සංවර්ධනය යටතේ චීන සමාගම් ගණනාවක් විසින් ක්‍රියාත්මක කරන මාගම්පුර වරාය ඇතුළු ව්‍යාපෘතිවලට හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත අක්කර 15,000 ක චීන කර්මාන්තපුරයට ජලය ලබා ගැනීමට ය.

මේ ව්‍යාපෘතිය හේතුවෙන් තිස්සමහාරාම වැවෙන් වාරි ජලය සපයන කුඹුරු අක්කර 3115 ක පමණ වී ගොවිතැනේ නිරත විශාල ගොවි ජනතාවක් අවතැන් වීමට නියමිත ය. මීට අමතර ව වැවෙහි මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත ධීවර පවුල් 200 කට වැඩි ප්‍රමාණයක් දැඩි බලපෑමට ලක් වනු ඇත. නමුත් මේ පිළිබඳ ව කිසිදු අධ්‍යයනයකින් තොර ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඇති බාධකයන් වන ගොවීන් හා මිරිදිය ධීවරයන් මේ තුළින් පහසුවෙන් ඉවත් කිරීමට හැකි වීම නිසා ය.
වැවක් යනු හුදු ජල ගබඩාවක් පමණක් නොවේ. වැව මගින් විශාල ප්‍රදේශයක භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම සිදු කරයි. ඒ මගින් වැවේ ජලය ලබා ගෙන සිදු කරන කෘෂි කර්මාන්තයට අමතර ව වැවෙන් පවත්වාගෙන යන ඉහළ භූගත ජල මට්ටම මගින් කෘෂිකර්මාන්තයට හා ජෛව සුරක්ෂිතතාවයට ලබා දෙන දායකත්වය ඉහළ මට්ටමක පවතී.

වීරවිල – තිස්ස අභය භූමියේ ජෛව පද්ධතිය වැනසීම

දීර්ඝ කාලයක් ස්වභාවීකරණය වූ වැවක මිරිදිය ජලජ ජීවීන්ගේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින අතර එම ජීවීන් බෝවන
පරිසර පද්ධති බොහොමයක් නිර්මාණය වේ. එපමණක් නොව ඒ මත දේශීය හා සංක්‍රමණික ජලජ පක්ෂි විශේෂ හා උරග විශේෂ බොහොමයක් යැපෙති. වැව් ආශ්‍රිත ව පිහිටි විශාල වෘක්ෂ බොහෝ දේශීය ජලජ පක්ෂීන්ගේ බෝවීමේ ප්‍රදේශ වේ. තිස්සමහාරාම වැවේ ද මේ තත්ත්වය ඉතා හොඳින් දැක ගත හැකි වේ. මෙම වැව දේශීය නේවාසික පක්ෂි විශේෂවලින් ගහන සුවිශේෂී තෙත් බිමකි. මෙරට කුඩා ම නේවාසික ජලජ පක්ෂියා වන ගෙඹි සේරා (Little Grebe) ගේ සිට අළු පැස්තුඩුවා (Spot – billed Pelican), හංසකාවා (Indian Darter), දියකාවා (Indian Shag), පුංචි දියකාවා (Little Cormorant), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා (Purple Heron), ලතුවැකියා (Painted Stork), විවර තුඩුවා (Open bill Stork), බළල් සේරා (Pheasant – tailed Jacana) වැනි විශේෂ බොහොමයක් තිස්සමහාරාම වැව නිවහන කර ගෙන ජීවත් වේ. යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන සිදු කරන වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීම හේතුවෙන් මත්ස්‍යයින්, මිරිදිය ඉස්සන්, මිරිදිය කකූළුවන් හා මිරිදිය බෙල්ලන් බෝවන ජලජ පරිසර පද්ධති සියල්ල මුළුමනින් ම විනාශ වී යන අතර ඒ මත යැපෙන ජලජ පක්ෂීන් ද කෙටි කලකින් විනාශයට ලක් වේ.
මිරිදිය ජෛව පද්ධතියක් ලෙස තිස්සමහාරාම වැවේ සුවිශේෂත්වය හේතුවෙන් 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත නීති ගත වීමෙන් පසු ව පළමුවෙන් ම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ ප්‍රදේශයක් ලෙස මෙම වැව ආශ්‍රිත ප්‍රදේශය සැලැකේ. තිස්සමහාරාම වැව ඇතුළු ව ඒ වටා පිහිටි වීරවිල වැව, පන්නෙගමුව වැව හා දෙඹර වැව අයත් වන අක්කර 10290 ක් වන සමස්ත ප්‍රදේශය වීරවිල – තිස්ස අභය භූමිය ලෙස වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2(2) වගන්තියට අනුව 1938 මැයි මස 27 වන දින අංක 8370 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම වැව ඇතුළු භූමි ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.
ආර්. එල්. බ්‍රෝහියර් ගේ වාර්තාවලට අනුව ක්‍රිස්තු පූර්ව 307 දී රුහුණු රාජධානියේ රජ කළ මහානාග රජු විසින් කිරිදි ඔය නිම්නයේ වාරි පද්ධතිය සකස් කර ඇති අතර ඔහු විසින් තිස්ස වැව කරවන ලද බවට සඳහන් වේ. ඉන් පසු ව 1871 වසරේ දී මෙම වැව ප්‍රතිසංස්කරණය කර කුඹුරු අක්කර 3115 කට යල හා මහ දෙකන්නයේ වාරි ජලය සැපයීම සුරක්ෂිත කොට තිබේ. නමුත් වත්මන් පාලකයින් මහානාග රජු විසින් රටවැසියන් වෙනුවෙන් ගොඩනැංවූ හා අප රට යටත් කර ගෙන සිටි ඉංග්‍රිසීන් විසින් රටේ සහල් නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කර මෙරට ගොවි ජනතාව වෙනුවෙන් සුරක්ෂිත කළ තිස්ස වැව චීන සමාගම්වල අවශ්‍යතා වෙනුවෙන් ජනතාවගෙන් අහිමි කිරීම රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
තිස්සමහාරාම වැව මෙරට වැව් අතර මධ්‍යම ප්‍රමාණයේ වැවකි. කිලෝමීටර 1.2 ක් දිග වැව් බැම්මක් සහිත මෙහි මතුපිට උපරිම ජල පැතිරුම් භූමි ප්‍රමාණය අක්කර 704 ක් (හෙක්ටයාර 285 ක්) පමණ වේ. වැවේ උපරිම ගැඹුර මීටර 4.7 ක් පමණ වන අතර උපරිම ජල ධාරිතාවය ඝන මීටර මිලියන 3.9 ක් පමණ වේ. කිරිදි ඔය නිම්නයේ පිහිටි තිස්සමහාරාම වැවට කිරිදි ඔය වාරි ව්‍යාපාරය යටතේ වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙන් ජලය සැපයේ. මීට අමතර ව බිංකෙමහෙළ හා බෙරලියහෙළ කඳුවැටි මෙම වැවෙහි ජල පෝෂක ප්‍රදේශ වේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා නොගැනීම

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තිස්සමහාරාම වැවෙහි පස් හා රොන්මඩ කැනීම් කටයුතු සඳහා කිසිදු අනුමැතියක් හෝ අධ්‍යයනයක් හෝ සිදු කර නොමැත. මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතු ය. ඒ මත පදනම් ව සියලු ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතු ය. නමුත් මේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන නොමැත. එසේ නමුත් 2021 මැයි මස 10 වන දින කැබිනට් මණ්ඩලය විසින් මහවැලි ජලාශවල රොන්මඩ ඉවත් කිරීම සඳහා මූලික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට හා ඒ මත පදනම් ව රෙන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු දේශීය හෝ අන්තර්ජාතික ආයතනයක් වෙත පැවරීමට වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහෙත් තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කිරීමට සහ එමගින් වැලි නිස්සාරණය කිරීමට මෙන්ම එම වැලි අලෙවි කිරීමට චීන සමාගම වෙත පැවරීමට මූලික ශක්‍යතා අධ්‍යයනයක් හෝ කැබිනට් අනුමැතියක් හෝ ලබා ගෙන නොමැති වීමෙන් පෙනී යන්නේ චීන සමාගම්වල සියලු ඉල්ලීම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව නීති රීති හා අණ පනත් ඇතුළු සියල්ල මෙන් ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් කටයුතු කරන බව ය. චීන සමාගම් සමග සිදු කරන බොහෝ ව්‍යාපෘති මේ ආකාරයෙන් නීති විරෝධී ව, නිවැරදි සැලැසුමකට අනුව සිදු නොවීම විශාල ගැටළුවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම හා වැලි නිස්සාරණය කිරීම සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කරමිනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසේ ම 14(1)(උ) ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක නිරත වීමේ අයිතිය පිළිබඳ ව සඳහන් කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ හා මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. නමුත් වීරවිල – තිස්ස අභය භූමිය හා එහි ජෛව ප්‍රජාව වනසමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් නීති විරෝධීව සියලු ක්‍රියාමාර්ග ගෙන ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාස්කම් හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පවා උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පෙනී යන්නේ චීන සමාගම් වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාත්මක වීමේ ස්වභාව යයි.

වනජීවී ආඥාපනත උල්ලංඝනය කිරීම

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත වීරවිල – තිස්ස අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන කැනීම් කටයුතු, වනජීවී වාසස්ථාන විනාශ කිරීම ඇතුළු ඔනෑ ම ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ආඥාපනතේ 67ආ1 උප වගන්තියට අනුව අභය භුමියක ඕනෑ ම නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඥේය වරදක් සිදු කරන අතර එම වැරදි සඳහා ඇප දිය නොහැකි වේ. මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ පාලනය වන අභය භූමික පිහිටි තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ ඉවත් කර වැලි නිස්සාරණය කර විකිණීම සඳහා චීන සමාගමකට අවස්ථාව ලබා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට කිසිදු නෛතික හැකියාවක් නොමැත. මෙය මෙම ආයතන මගින් සිදු කළ නීතිය අතික්‍රමණය කිරීමකි.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කිරීම

චීන සමාගම්වල ජල අවශ්‍යතාවය සැපයීමට සහ 2011-2030 හා 2018-2050 ජාතික භෞතික සැලැසුම්වලට අනුව ඉදිකෙරෙන හම්බන්තොට මහ නගරය සඳහා ජලය සැපයීමට ගොවි ජනතාව, මිරිදිය ධීවරයින් හා විශාල මිරිදිය ජෛව ප්‍රජාවක් අවතැන් කර තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීමට කිසිදු ආයතනයකට හැකියාවක් නොමැත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හෝ ඒ සඳහා වෙනත් සමාගමකට පැවරීම සිදු කළ හැකි වන්නේ ජාතික පාරිසරික පනතට අනුව ය. මෙම පනත උල්ලංඝනය කරමින් මෙරට නීතියේ ආධිපත්‍යය අහිමි කිරීමට කටයුතු කිරීමේ කිසිදු හැකියාවක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ වාරිමාර්ග අමාත්‍යංශයට නොමැත.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීමට ප්‍රථමයෙන් හා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ අර්ථ නිරූපිත හෝ එම පනතේ 71 වන වගන්තියට යටතේ ප්‍රකාශිත පොදු වැවක ඉහළ පිටාර මට්ටමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ එම වැව තුළ යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීමට ප්‍රථම පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය.

ජාතික පාරිසරික පනතේ 33(ආ) වගන්තිය යටතේ දැක්වෙන අර්ථ නිරූපනවලට අනුව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියකින් බලාපොරොත්තු වන්නේ යෝජිත ව්‍යාපෘතියෙන් වැළැක්විය හැකි හා වැළැක්විය නොහැකි හානි කර පාරිසරික බලපෑම් හඳුනා ගැනීම සහ හානි අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමයි. නමුත් තිස්සමහාරාම වැවේ යාන්ත්‍රික පස් හා රොන්මඩ කැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් නිවැරදි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර නොමැති බැවින් එම ව්‍යාපෘතියෙන් සිදු වන හානි කර බලපෑම් හඳුනා ගැනීමට හෝ එම හානි කර බලපෑම් අවම කිරීමේ විකල්ප හඳුනා ගැනීමට හෝ ඉවත් කරන රොන්මඩ බැහැර කිරීමේ ක්‍රමවේදය හඳුනා ගැනීමට හෝ නොහැකි වී ඇත. මේ නිසා ව්‍යාපෘතිය චීන සමාගමට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමෙන් විශාල හානි කර තත්ත්වයන් ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වනු ඇත.
2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන 2006 අංක 01 දරන වැලි සහ මැණික් සඳහා ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව වැවක් තුළ හෝ වැවක උපරිම ජල මට්ටම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත වැලි ලබා ගැනීමට යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම තහනම් වේ. තිස්සමහාරාම වැවේ පස් හා රොන්මඩ කැනීම මගින් වැලි නිස්සාරණය කිරීම සිදු කරන බැවින් මෙම නීතිමය ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් චීන සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ජාතික පාරිසරික පනතේ 23 අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී හෝ ජාතික පාරිසරික නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ඒ අනුව මෙම හානි කර හා නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහි ව කටයුතු කිරීමේ බලය ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය බොහෝ පාරිසරික විනාශයන් හමුවේ මුණිවත රැකීම හෝ සාධාරණීකරනය කිරීමට කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ආකාරයට ම මෙම අවස්ථාවේ දී ද කටයුතු කිරීමෙන් සිදු වන්නේ දැවැන්ත විනාශයක් මෙන් ම වැරදි පූර්වාදර්ශ ලබා දීමකි. ඒ හේතුවෙන් ඉදිරියේ දී මෙරට වැව් පද්ධතිය හා ගොවි ජනතාව දරුණු ඛේදවාචකයකට මුහුණ දීම සිදු වනු ඇත.

පුරාවස්තු ආඥාපනත උල්ලංඝනය කිරීම

මෙරට ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව පුරා විද්‍යාත්මක ව ද විශාල වටිනාකමක් සහිත ය. මෙරට වැව් තාක්ෂණයේ විකාශනය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී ප්‍රධාන වැදගත්කමක් උසුලයි. එහි සෑම අංගයක් ම ආරක්ෂා කිරීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.
2008 ඔක්තොම්බර් 20 වන දින අංක 1572/4 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2006 ජාතික පුරා විද්‍යා ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ උරුමය ශ්‍රී ලාංකීය ජනතාවගේ අනුල්ලංඝනීය අයිතිවාසිකමක් වන අතර එය ආරක්ෂා කිරීම හා කළමනාකරණය කිරීම රටේ මානව සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලැකේ. එපමණක් නොව ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය නොකළ හැකි සම්පතක් ලෙස ද සැලැකේ. එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ඉපැරණි වැව් අතුරෙන් එකක් වන තිස්සමහාරාම වැව මේ ආකාරයෙන් යාන්ත්‍රික කැනීම්වලට ලක් නොකළ යුතු ය.
සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතේ 43අ සහ 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තොම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථමයෙන් පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීතිමය ප්‍රතිපාදනය උල්ලංඝනය කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග අමාත්‍යංශය චීන සමාගම් වෙත තිස්සමහාරාම වැව යාන්ත්‍රික කැනීම් කටයුතු සඳහා ලබා දී ඇත.

නීති විරෝධී හා හානි කර ක්‍රියා අඛණ්ඩ ව සිදු කිරීම

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය කාලය තුළ මේ ආකාරයෙන් අණ පනත් උල්ලංඝනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් අවස්ථා බොහොමයකි. මෙම අණ පනත් මගින් සිදු කරන්නේ රට තුළ තිරසර ස්වාභාවික සම්පත් භාවිතාවක් ඇති කිරීම හා තිරසර සංවර්ධනයක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නෛතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම ය. නමුත් මෙම අණ පනත් උල්ලංඝනය කිරීමෙන් සිදු වන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත පරපුරට ද ජීවත් වීමට ඇති අයිතිය අහිමි කිරීමකි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස කිහිපයක් තුළ පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කරමින් වැලි, මැටි හා පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී. ඉන් පසුව රජයේ වනාන්තර ඉඩම්වලට ආරක්ෂාව ලබා දී තිබූ 5/2001 චක්‍රලේඛය අහෝසි කරන ලදී. ඉන් අනතුරු ව රක්ෂිත ප්‍රදේශ අනවසරින් බුක්තිවිදින පුද්ගලයන්ට ඉඩම් බුක්තිය ලබා දීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛයක් හා ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරින. ඒ සඳහා බලපෑම් කළ පසු එම ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සිදු කෙරින. මීට අමතර ව පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිංහරාජ රක්ෂිතය තුළින් ලංකාගම දක්වා මාර්ගයක් සංවර්ධනය කළ අතර එය නිසි ක්‍රමවේදයට ක්‍රියාත්මක නොකිරීම නිසා වර්ෂාවත් සමග කෙටි කලකින් විනාශයට ලක් වීම නිසා නැවත සකස් කිරීමට සිදු විය. සිංහරාජ අඩවියේ මාණික්කවත්ත ප්‍රධාන අලි මංකඩේ හෝටල් ඉදි කිරීමට අවස්ථාව ලබා දීම පමණක් නොව රඹකැන්ඔය වනාන්තර හා තෘණ භූමි පද්ධතිය මෙන් ම කන්දකාඩුව වනාන්තර හා විල්ලු පද්ධතියේ අක්කර දහස් ගණනක් නීති විරෝධී ව සමාගම්වලට ලබා දීම සිදු කෙරින. එපමණක් නොව ආනවිලුන්දාව අභය භූමිය, දහයියාගල අභය භූමිය, ජලගැළුම්නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු රක්ෂිත ප්‍රදේශ විශාල ගණනක් එළිපෙහෙලි කරමින් විවිධ භාවිතාවන්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී. මේ හේතුවෙන් සිදු වූ හානිය නැවත කිසිදු දිනක හානිපූරණය කළ නොහැකි ය.
මේ නිසා තිස්සමහාරාම වැවේ නීති විරෝධී කැනීම් වලට එරෙහි විය යුතු වන්නේ වනජීවී රක්ෂිත හා වනජීවී වාසස්ථාන විනාශ කරමින් කුඹුරු අක්කර දහස් ගණනකට වාරි ජලය සපයමින් ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් කරවන, ධීවර පවුල් විශාල ප්‍රමාණයක් යැපෙන සුවිශේෂී වැවක් විනාශ කරමින් වැරදි පූර්වාදර්ශ ලබා දීමට ය. එසේ නොමැති ව චීන සමාගමක් කැනීම් කිරීම හෝ හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී කැනීම් කටයුතු සිදු කිරීමට නොවිය යුතු ය. මෙවැනි පුවත් මැවීමෙන් අවසානයේ සිදු වන්නේ දැවැන්ත විනාශයක් ඇති කරන හානි කර ව්‍යාපෘතියක සැබෑ ස්වරූපය ජනතාවට අවබෝධ කිරීමට ඇති අවස්ථාව අහුරා දැමීමකි. මෙය නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැති වුවහොත් හමුදා ඇඳුමට සමාන ඇඳුමට විසදුම් ලැබුණු විට මෙම නීති විරෝධී හා හානි කර ව්‍යාපෘතිය වෙනත් බොහෝ මෙවන් අවස්ථාවල දී සිදු වූ ආකාරයෙන් ම නීත්‍යානුකූල ව්‍යාපෘතියක් යැයි සමාජය තීන්දු කරනු ඇත. එවන් තත්ත්වයක් ඇති නොවීමට මෙම නීති විරෝධී ව්‍යාපෘතියට එරෙහිව සෑම පුරවැසියෙක් ම කටයුතු කළ යුතු ය.

– සජීව චාමිකර

Leave A Reply

Your email address will not be published.

eleven − seven =