සමාජ මාධ්‍ය – නීතිය යනු පාලකයාගේ කැමැත්තම නොවන බව වටහාගත යුතුය

අනතර්ජාල සංනිවේදනයේ ප්‍රභලතම මාධ්‍ය සමාජජාලා මාධ්‍යයි. සමාජ ජාලා මාධ්‍ය ලොව පුරා මෙතරම් වේගයෙන් ජනප්‍රිය වුනේ ඇයි. අත්ල මත තියෙන සරල උපකරණයන් භාවිතයෙන් අනෙකුත් මාධ්‍ය අභිභවමින් තොරතුරු, රූප සැනෙකින් සංසරණය කිරීමට හැකි වීම හා සම්ප්‍රේෂණය කර ගත හැකි වීම මෙහි ඇති සුවිශේෂී ප්‍රගමනයට හේතුව කියලයි මට හිතෙන්නෙ. එලෙසින්ම එය අද වනවිට පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතා පුළුල් කරන සුවිශේෂී මාධ්‍ය භාවිතාවක් වෙල.
ගැටලුව ජනතාව මේ සමාජජාලා මාධ්‍ය සැබවින්ම නිවැරදිව තේරුම් ගත්තාද…. නිවැරදිව භාවිතා කලාද… කරනවද…. එලෙසින්ම රජය මේ සමාජජාලා මාධ්‍ය තේරුම් අරගෙන නිවැරදිව හඳුනාගෙන කටයුතු කලාද…… නිවැරදිව නියාමනයට ලක් කලාද…. රජයක් විදිහට මේ දැවැන්ත මාධ්‍ය ප්‍රචාරනය වෙනුවෙන් ඇතිකල ආචාරධර්ම පද්ධතිය කුමක්ද …. නීති පද්ධතිය කුමක්ද ….. වැරදි තොරතුරු ප්‍රචාරනය වීම වැලැක්වීමට ගනු ලැබූ පියවර කවරේද…..
රජයේ මාධ්‍යන්ගෙන් සේම මුදලාලිලාගේ මාධ්‍ය ආයතනයන්ගෙන් එලියට නොඑන්නාවූ සමාජ අසාධාරණයන්, දූෂණයන්, දූෂිතයන් මේ සමාජ මාධ්‍ය ජාලය හරහා එලිදරව් කිරීමට ජනතාවට අවස්ථාව හිමි වී ඇත.
සමාජජාලා මාධ්‍ය තුල සැරිසරන අන්තවාදීන් ජාතිවාදීන් පිටු දැකිය යුතුය. විකෘති මානසිකත්වයෙන් වෙනත් නම් වලින් පෙනී සිටිමින් සැඟවී අසත්‍ය තොරතුරු ප්‍රචාරනය කරන්නන් නියාමනය කල යුතුය. චරිත ඝාතන පුද්ගල අපහාස කිරීම් වලදී වින්දිතයාට සාධාරණයක් ඉටු විය යුතුය. පුළුල් සමාජ කතිකාවතක් ගොඩ නංවා විදිමත් ආචාරධර්ම පද්ධතියක් සේම නීති පද්ධතියකුත් ස්ථාපනය කල යුතුය. ඒ සඳහා දිගුකල් පවතින සක්‍රීය ක්‍රියාවලියක් ඇතිකල යුතුය.
වර්තමානයේ සමාජ මාධ්‍ය කෙතරම් ප්‍රභල තැනකට පත් වෙලාද. පාලකයන්ගේ හොර මැරකම් පමණක් නොවේ ඔවුන්ගේ මුග්ධ ක්‍රියාකලාපයන් සමාජ මාධ්‍ය ඉදිරියේ හෙලිදරව් කිරීමට පුරවැසියන් නොබියව ඉදිරියට පැමිණෙමින් සිටී. සත්‍ය හා සාධාරණ විවේචනයන් පිළිගැනීමට පාලකයන් හුරු විය යුතුය. අවංකව, සාධාරණව පාලනය ගෙන යන්නාවූ පාලකයන් සමාජ මාධ්‍යට බිය වි යුතු නැත.
අසත්‍ය තොරතුරු පතුරුවා හැරීමේදී, පාලකයාගේ වන්දිභට්ටයො වගේම පාලකයාට, පාලනයට එරෙහිව අරගල කරන්නන් දෙපිරිසම එක විලස කටයුතු කරමින් සිටී. සාවද්‍ය මත ප්‍රචාරනය නතර කරන්න ඕන. නීතිය සැමට එකලෙසින් ක්‍රියාත්මක විය යුතුය. අරගල කරන්නන් පමණක් සිපිරිගෙට දක්කාගෙන යෑ⁣ම නතර කල යුතුය.
වසංගත කාල සීමාවේ, මුද්‍රිත මාධ්‍ය ජනතාව අතර සංසරණය අවම වූ වකවානුවක සමාජජාලා මාධ්‍ය කරණු ලැබූ කාර්යය භාරය හඳුනා ගත යුතුය. පාලකයන් සමාජජාලා මාධ්‍යයේ ප්‍රභලත්වය හා වටිනාකම් තේරුම් ගත යුතුය. තාක්ෂණය සමාජ ප්‍රගමනය වෙනුවෙන් භාවිතා කල යුතුය. සදාචාරාත්මකව විවේචනය කරන පුරවැසියන් බිය වැද්දීම හෝ දඩයම් කිරීම නොකල යුතුය. නියාමනය හරහා මර්ධනය ඉදිරියට නොපැමිණි යුතුය. මුහුණ සමග ඇති තරහට නහය කපා ගැනීමෙන් පලක් නොවන බව වටහා ගත යුතුය.
එලෙසින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක යහගුණයන් පවත්වා ගත යුතුය. භාෂණයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය මර්ධනය නොකල යුතුය.
නීතිය යනු පාලකයාගේ කැමැත්තම නොවන බව වටහාගත යුතුය.
– චන්ද්‍ර ජයසිංහ (fb චන්ද්‍ර මඩල.15) 

Leave A Reply

Your email address will not be published.

2 × 3 =