අප ප්‍රජාවක් ලෙස සංවිධානය විය යුතු වන්නේ එනිසාය

Corona සමය තුළ ලංකාවේ පදික වෙළදාම ඉතා ඉහළ මට්ටමකට ආවේය . සුළු ගොවීන් එකතු වී ඔවුන්ගේ නිෂ්පාදනය පොඩි පෙට්ටිවල අහුරා ගෙන පාරවල් අයිනේ තබාගෙන විකුණනු දක්නට ලැබුණි . මෙය ඉතාම හොඳ තත්ත්වයකි .
ලංකාවේ එකම සමුහ ගොවිපලක් හෝ ඇත්තේ දැයි නොදනිමි . වගා කළ හැකි ඉඩම් තිබුනත් ඒවා වගා කිරීමට කැමති ගොවීන්ට හිමි වී නැත . ලංකාවේ මිනිස්සුන්ට හවුලේ වැඩ බැරිය . ඔවුන්ට ඇත්තේ තරගකාරිය අදහසකි . ගොවීන්ට හෝ වෙනත් වෘත්තිකයන්ට ප්‍රජාවක් විදිහට සංවිධානය වීමට ලංකාවේ පුරුද්දක් නැත . ඒවා දේශපාලන අතකොළු බවට පත්වේ . වෘත්තීය සමිති සේවය විධිමත් කිරීමේ අරගලයක් නොව වෘත්තිකයන්ගේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා අරගල බවට ඒවා කුඩාවේ .
විශේෂයෙන්ම Corona සමය තුළ ළමයින්ගේ අධ්‍යාපනය පිළිබඳව එම ක්ෂෙත්‍රයේ වෘත්තිකයන් තුලින් සාමූහිකව හඬක් නැගුණේ නැත. මෙයට හේතුව එබඳු ප්‍රජා සේවා පිළිබඳව අත්දැකීම් අපට නොතිබීමයි . නිවාස යෝජනා ක්‍රම තුළ ගුරුවරු හිටියත් එම නිවාස යෝජනා ක්‍රමයේ ළමයින්ට වත් සාමූහිකව ඉගැන්වීමේ ප්‍රජා සත්කාර පටන් ගත්තේ නැත . එයට හේතුව වැඩිහිටියන් අතර ඇති තරගකාරිත්වයයි .

අපි හිතන්නේ ආණ්ඩුව වෙනස් වූ විට රට වෙනස්වේ යයි කියලාය . ජනතා නියෝජිතයන් යනු හැමවිටම මේ සමාජයෙන් මතුවී සමාජය තුල පිළිගැනීමට ලක් වී ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණෙන පුද්ගලයින් ය . ලංකාවේ ජනතා නියෝජිතයින් හොරු බවට චෝදනා නැගේ . එසේ නම් මෙසේ හොරු බලයට පත්කිරීමට පත් කිරීමට ජනතාවට ඇති උවමනාව කුමක්ද ? ඉතාම සරල තර්කය වන්නේ අප හොරුන් බලයට පත් කර ගන්නේ කරගන්නේ අපට අවශ්‍ය සුළු සුළු හොරකම් කර ගැනීමටයි . ඒ සුළු සුළු හොරකම් මොනවාදැයි අප සිතා බැලිය යුතුයි . ඔය කලාකාරයෝ වගේ අය නම් දේශපාලකයන්ට කඩේ යන්නේ වරප්‍රසාද බලාගෙන බව ඉතිහාසයේ ඇති අත්දැකීමයි . වැඩිපුරම ආණ්ඩුවට බැනීමෙන් ඊගාවට බලයට පත්වෙන ආන්ඩුවේ වරප්‍රසාදයක් ලබාගත හැක . (ආණ්ඩුවට බැනිය යුතු වීම වෙනම කතාවකි. ) අප ප්‍රජාවක් ලෙස දියුණු වීමට සුළු හෝ වැඩ කොටසක් නොකර ආණ්ඩුව විවේචනය පමණක් කරන්නේ කපටින් බව පෙනේ.
අපේ කලාකරුවන් නම් ,තවමත් ආණ්ඩුවක් විදියට රට පාලනය කර නැති පක්ෂවල ප්‍රගතශීලී ක්‍රියාකාරීන් ලෙස ජනතාවට ආමන්ත්‍රණය කරමින් සිට, සුදුසු මොහොතේ බලවත් විපක්ෂයට මාරුවීම ලංකාවේ සාමාන්‍ය සිරිතයි.

මාත් ඇතුලු ලංකාවේ ඡන්ද දායකයින් සමහර විට මීළඟට ලංකාවෙි නායකත්වයට පත්කරන්නේ ලංකාවට බයි චින්තනය හඳුන්වා දුන් න්‍යායාචාර්යවරයෙක් හෝ මීට පෙර සිටි දේශපාලකයකුගේ පුතෙකු විය හැක. අපේ හැටි එහෙමය . අපි ආණ්ඩු පෙරලීම සඳහා ම උපන් ජාතියක් වෙමු . බලයට පත් ආණ්ඩු සමග සහයෝගිතා දේශපාලනයක යෙදුණු අතීතයක් අපට නැත . ජනතා නියෝජිතයෝ මේ බව දනිති . එම නිසා උන්ගේ අදහස හැකි තරම් මුදල් ඉපයීමයි .
අප ප්‍රජාවක් ලෙස සංවිධානය විය යුතු වන්නේ එනිසාය . රජයේ සහයෝගය නොමැතිව සුළු ගොවීන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීම සඳහා සංවිධානය විය හැක .

ළමුන්ට ඉගැන්වීම සඳහා පහසුකම් නැති දෙමව්පියන් ප්‍රජාවක් ලෙස සංවිධානය වී තමන්ගේ පන්තිය අනුව වත් සුදුසු ක්‍රම නිර්මාණය කර ගත යුතුව ඇත . එහෙත් එබඳු ප්‍රජාවන් තුළින් බිහිවන සම්පත්දායකයින් එබඳු ප්‍රජා සත්කාරයන් සඳහා සූදානම් ද යන්න ප්‍රශ්න කළ යුතුය . (උදා:- ගමක උපාධිධාරීන් එකතුවී ගමේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීම ). ලංකාවේ අධ්‍යාපනය තුළින් එබඳු දියුණු ප්‍රජාවක් බිහි නොවේ . මේ විභාග ක්‍රමය තුළින් මතු වන්නේ අනෙකා පරාජය කර තමන් ඉදිරියට යාමයි .
එම නිසා බොහෝ විට සිදුවන්නේ ප්‍රජාවක් ලෙස එකතු වීම නොව ජාතියක් වශයෙන් හෝ කුල වශයෙන් හෝ එකතුවීමයි . උදා. සිංහල වෙළඳ සංගමය).
එම නිසා මේ අවස්ථාවේ අප කළ යුතු වන්නේ ආන්ඩු පෙරලීමට ක්‍රියා කරන අතරම සුළු වශයෙන් හෝ ප්‍රජාවක් ලෙස එකතු වී යම් යම් ක්‍රියාකාරකම් කිරීමට සූදානම් වීමයි .
– ජයන්ත කහටපිටිය

Leave A Reply

Your email address will not be published.

nine − 2 =