අල්වාරේස් ඒ නිර්භීතකම මට ලබාදුන්නා

ජුලියා අල්වාරේස් ගේ පොත් කියවීමට පෙර කිසිම පොතකට ආදරයක් හෝ ඇල්මක් නොදැක්වූ බව මම නොකියමි. ජෙසිකා ඩාලිං නම් තරුණ ලේඛිකාවක් ගැන කියවෙන මේගන් මැක්ෆර්ටිගේ කතාමාලාවට ඇල්මක් තිබූ බව මගේ මතකයේ ඇත. හොග්වාර්ට්ස් සිට ඉයන් කොෆ්ලර්ගේ භූගත සුරංගනා ලෝකය දක්වා මා නොදන්නා ලෝක වලට ඇද දැමූ පොත් වලට මම ආදරය කළෙමි.
මගේ පියා කොරෝනා හි උතුරු බොලිවාර්ඩ් නගරයේ ශීතකරණ සාප්පුවක සේවය කළේය. ක්වීන්ස් මහජන පුස්තකාලයේ කොරෝනා ශාඛාව පිහිටා තිබුනේ ශීතකරණ සාප්පුවට කෙළින්ම මුහුණලාය. එබැවින් මම පැයගණන් කියවමින් දහවල් කාලයෙන් වැඩි වේලාවක් එහි ගත කළෙමි.
පොත් සියගණනක් කියවා ඇතත් ඒ කිසිම පොතක මට කිසිම දිනෙක මා වන් ඩොමීනිකානු, ලැජ්ජාශීලි, පළමු බස ස්පාඤ්ඤ වූ සංක්‍රමණික චරිතයක් හමුව නොතිබිණි. නමුත් ජූලියා අල්වාරේස්ගේ මංගල නවකතාව වූ “ග්‍රාෂියා කෙල්ලන්ගේ උච්චාරණය අහිමි වූ හැටි” කියවූ පසු මීට පෙර පොතක් දර්පණයක් ලෙස නොව කවුළුවක් ලෙස භාවිත කළ ආකාරයෙන් මම ඉවත් වීමි.
“ග්‍රාෂියා කෙල්ලන්” ට පදනම් වන්නේ 1930 සිට 1961 දක්වා ඩොමිනිකන් ජනරජය පාලනය කළ කුරිරු ඒකාධිපතියෙක් වූ රෆායල් ටෘජිලෝ ගෙන් මිදී පළා විත් එක්සත් ජනපදයේ පදිංචි වූ පවුලක කාලා, සැන්ඩ්‍රා, යොලන්ඩා සහ සොෆියා යන සහෝදරියන් හතර දෙනෙකුගේ ජීවිත කතාවයි. 1989 දී වැඩිහිටි යොලන්ඩා (කෙටියෙන් යෝ, ඉංග්‍රීසියෙන් ජෝ) වසර පහකට පසුව පිටස්තරයකු ලෙස යළි ඩොමිනික් ජනරජයට යන තැනින් ඇරඹෙන කතාව අනුක්‍රමිකව ආපස්සට යමින් 1950දී ඩොමිනික් ජනරජයේ ඒකාධිපති පාලකයෙකු යටතේ සිය පවුල දිවිගෙවන කාලයෙන් අවසන් වේ.
මේ සහෝදරියන් ඉංග්‍රීසි බස අතපතගාමින් ඉගෙන ගන්නා විට ” ජරා ලතින්නෝ” හෝ “ආපු තැනටම මකබෑවියන්” යනුවෙන් ඇමරිකානු ළමුන්ගෙන් එල්ලවන හිරිහැර හා අඩන්තේට්ටම් දරාගන්නා ආකාරය අල්වාරේස් මෙහිදී විස්තර කරයි. මුලින්ම හිම දකින අවස්ථාව, ස්ටොකිනස් වලට ළමුන් හුරුවන ආකාරය, ශීතල දේශගුණය, කුකුල් කූඩු වන් නවාතැනක කොටුවීම වැනි අලුත්බවේ කුඩා මොහොතවල් අල්වාරේස් මනාව ග්‍රහණය කරගනී.
සත්‍යය නම් ග්‍රාෂියාවරුන්ගේ ජීවිතය මගේ ජීවිතයට වඩා බොහෝ වෙනස්ය. මා එක්සත් ජනපදයට පැමිණියේ වයස අවුරුදු තුනේදීය. එනිසා නව සංක්‍රමණියෙකුගේ කම්පනයන් සමඟ මට සම්බන්ධයක් නොතිබිණි. ඔවුන්ට මෙන් මහත් ආශාවෙන් සිහිපත් කරන්නට “මව් රටක්” ගැන මතකයක් මට නොවීය.
නමුත් හඳුනාගත් සෑමදෙයකටම මා ගිජුබවක් හා ප්‍රියතාවයක් දැක්වීමි. ඩොමීනියානු උපභාෂාවට උරුම වූ ස්පාඤ්ඤ වචන හෝ වාක්‍ය ඛණ්ඩ වූ (“ඇන්ටජෝ, ජමෝනා,) වැනි වචන මෙන්ම සෑම කෙනෙකුටම උරුම වූ අන්වර්ථ නාමයන් (“ලොලෝ, මුන්ඩන්”) ඒ අතර විය. එමෙන්ම දෙමාපියන් ‘මාම්’ සහ ‘ඩෑඩ්’ වෙනුවට ‘මමී’ හා ‘පපී’ ලෙස හැඳින්විණි. මට වඩා පමාවී ඇමරිකාවට පැමිණි මගේ ඥාති සහෝදරියන් හා අනෙක් ගැහැණු ළමුන් නියමිත ශ්‍රේණියෙන් පහළ පංතිවලට වැටුනේ ඔවුන්ගේ ඉංග්‍රීසි බස හැසිරවීමේ දුර්වලතාවය නිසාය.
යොලන්ඩා ඩොමිනිකන් රාජ්‍යයට ගියපසු පවුලේ වැඩිමලා වන කාලා බටයක් රෝල්කර හිස මත රෝලරයක් මෙන් තබා කොණ්ඩය සකසන අයුරු දැක ඇගේ නැන්දා පවසන්නේ ඔවුන් අමෙරිකාවේ “අතරමංව” ඇති නිසා නැවත සිය රටට නොපැමිණෙන බවයි.
ග්‍රාෂියා කෙල්ලන් ජීවත් වූයේ “දූපත් ගැහැණු ළමයින් මෙන් දැඩි නීති රීති වලට යටත් ව වුවත් වෙනසක් ඇතිකරලීමට එහි දූපතක් නොවීය”. “ඇමරිකාවට තමන්ගේ ගැහැණු ළමයින් අහිමි කරගන්නට” වේයැයි ඔවුන්ගේ දෙමාපියන් කනස්සල්ලට පත්විය. විශේෂයෙන් මේ පශ්චාත් බිය මගේ ළමාකාලය පුරාම විශාලව පෙනුනේ මා ඕනෑවට වඩා නිදහස්, නිර්භීත හා ලිහිල් වනු ඇතැයි සිතාය. සීමාවෙන් ඉදිරියට පියවරක් තැබූ විට “දූපතේ සිරගතකරන බවට” මවෙත තර්ජන එල්ල වුණ ආකාරය හා සමානවම වරක් සිය දියණියගේ ඇඳුම් සකසන්නා ළඟ මරිජුවානා මල්ලක් තිබෙණු දුටු ග්‍රාෂියා කෙල්ලන්ගේ මව එය හඹා ගියාය. පොතෙහි එන පපී, රෑ සාදයකට යාමට සූදානම්ව ගැහැණු ළමුන් දෙසට හැරී මනවඩන මාන්නයකින් “බලන්න ඔයාලගේ පපී කොච්චර කඩවසම් කෙනෙක්ද” යනුවෙන් පවසන විට ඔහු , කොණ්ඩය නව විලාසිතාවකට කපාගෙන ආ විට මගේ පියාගේ හැසිරීම සිහිපත් කළේය.
“ග්‍රාෂියා කෙල්ලන්” මගේ ප්‍රජාවේ කරදරකාරී අංගයන්, විශේෂයෙන්ම වර්ණවාදය නිරූපණය කරයි. වඩාත්ම ලස්සන වූ සහෝදරිය වන සැන්ඩ්‍රාට නිල්පැහැති ඇස් මෙන්ම “පීචස් හා අයිස්ක්‍රීම් වැනි හමක්” ඇති අතර, “සරල, උස, පෘථුල හා විශාල ලක්ෂණ සහිත මුහුණුවරකින් යුත්” බාලයා වන සොෆියා “පැහැපත් ස්කැන්ඩිනේවියානු පෙනුමක්” ඇති ජර්මානු ජාතිකයෙකු සමඟ විවාහ වීමෙන් පවුලට “යහපත් ජාන” ගෙනාවාය. ගෘහ සේවිකාවන් දුඹුරු හෝ කළුවන් පැහැ වූ අතර රටින් පැමිණි ගෙවිලියන් බොහෝමයක් නැවත නැවතත් මා වැනිම විය.
අල්වාරේස් මගේ යථාර්ථය වචන වලට ගෙනඑමින් එය වඩාත් ස්පර්ශ කළ හැකි බවට පත්කළ නමුත් එය වලංගු කිරීමකට වඩා පූර්ව නිගමනයක් බව ඔප්පු විය. මා හැදී වැඩෙන විට පොතේ එන යෝ ට ‍මෙන් “තමන්ගේ කතෝලික ධර්මයේ හා අඥේයවාදයේ1 මිශ්‍රණය මෙන්ම හිස්පැනික හා ඇමරිකානු විලාසිතාව” හඳුනා ගන්නා කිසිවෙකු හමු නොවේයැයි යන බිය, හැදී වැඩෙනවිට පාසලේදී මට ද තිබිණි. වැඩිහිටියෙකු ලෙස යෝ මෙන් මගේ කුඩා දූපතට ආපසු ගිය විට ” ඇය වසර ගනණාවක් නැතිවුණූ දෙය නැතිව තිබූ බව ඇය නොදැන සිටි” බව සොයාගන්නා යෝ මෙන් මමද එය වටහාගතිමි.
අල්වාරේස්ගේ නවකතා විකල්ප අධ්‍යාපනයක් සහිත ඒවා විය. “ග්‍රාෂියා කෙල්ලන්” හරහා සැමවිටම බොළඳ ළමා හැඟීම් ලෙස බැහැර කරන ලද ස්ත්‍රීවාදය සහ අයුක්තිය පිළිබඳ මගේ හැඟීම් යළි තහවුරු කර ගැනීමට හැකි විය. අල්වාරේස්ගේ අනෙක් කෘතීන්ද මම පරීක්ෂා කළෙමි. “සමනලුන්ගේ කාලේ” කෘතිය ටෘජිල්ලෝට එරෙහිව සටන් කළ ඔහු විසින් කෲර ලෙස මරා දැමුණු විප්ලවවාදී වීරවරියන් වූ මිරබාල් සහෝදරියන්ගේ ඓතිහාසික කතාව පදනම් කරගෙන ලියූ ප්‍රබන්ධයකි.
“සලෝමේගේ නාමයෙන්” යන කෘතිය ද්විත්ව පෞරුෂයෙන් යුත් සුප්‍රසිද්ධ ඩොමිනිකන් කිවිඳියක වන සැලෝම් යුරේනා සහ ඇගේ දියණිය කැමිලාගේ අසාමාන්‍ය රචනයන් පිළිබඳවයි.
ඒ යෝ, සැලෝමි සහ මිනර්වා, මිරබාල් සහෝදරියන්ගෙන් අයෙක් යන සියල්ලන්ම ලේඛකයන් වීම මගේ යම් කොටසක් මගෙන් ආයාචනා කළ දෙයක් බවට සැකයක් නොමැත. නමුත් මේ ග්‍රන්ථයන්හි ශ්‍රේෂ්ඨතම ත්‍යාගය වන්නේ හුදෙක් ඒවා පැවතීම නොව ඒවා ගවේෂණය කිරීමේදී ලිවීම වෘත්තීය ආමන්ත්‍රණයක් ලෙස වඩා විවෘත හා සැබෑ ලෙස මට පෙනීමයි.
“ග්‍රාෂියා කෙල්ලන්” කෘතියේ විසිවන සංවත්සර සංස්කරණයට එකතු කළ කතුවරියගේ සටහනේ අල්වාරේස් සටහන් කරන්නේ සිය ලේඛන දිවිය ආරම්භයේදී ඇය සම්මන්ත්‍රණයකට සහභාගී වූ බවත්, එහිදී ඇය අගය කළ අයෙක් පවසා ඇත්තේ “කිසිම ලේඛකයෙකුට තමන් පළමුව අම්මා කියා නොමැති භාෂාවෙන් ලිවිය නොහැකි බවයි”. මේ වචන ඉංග්‍රීසි දෙවෙන බසක් වූ තරුණ අල්වාරේස් කෙරෙහි “මන්දෝත්සාහී බලයක්” මෙන් ක්‍රියාකර ඇත. මේ වචනවල ග්‍රහණය කෙසේ වෙතත් මැක්සිං හොංග් කිංග්ස්ටන්ගේ “කාන්තා වීරවරිය” කියවූ පසු ඇය කැලිෆෝනියාවේ ස්ටොක්ටන් හි වැඩුණු චීන-ඇමරිකානු සම්භවය සහිත කිංග්ස්ටන්ගේ මතක සටහන් තුළ අල්වාරේස් තමන්ව හඳුනා ගත්තාය. “මම නිර්භීත වුනා” අල්වාරේස් ලියා තිබිණි. “මම මගේ කතාව ලියන්නට පටන් ගත්තා”
අල්වාරේස් ඒ නිර්භීතකම මට ලබාදුන්නාය.
1. අඥේයවාදය – දෙවියන්ගේ පැවැත්මත්, නොපැවැත්මත් පිළිනොගන්නා පිරිස
ඩොමිනිකන් සම්භවයක් සහිත අමෙරිකානු මාධ්‍යවේදිනියක් වන ‘කොන්සෙප්ෂියොන් ඩි ලියොන්’ විසින් ජූලියා අල්වාරේස් ගැන නිව්යෝක් ටයිම්ස් හි තැබූ සටහනක සිංහල පරිවර්තනය
– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

eleven + 2 =